- Advertisement -

අවවාද දෙන විට දරුවා කණ වසා ගනී. නමුත් ඔවුන්ගේ ඇස් දෙමව්පියන් වෙත විවෘතයි.

-

දරුවන්ට අවවාද දුන්නත් ඔවුන් ඒවා ගැන වැඩි අවධානයක් නොදක්වන අවස්ථාවන්හිදී ඔබ මේ විදිහට දරුවන්ට දොස් නගනු ඇති.

“”මේ ළමයින්ට කියන ඒවා හරියට බීරි අලින්ට වීනා ගායනා කරනවා වගෙයි…””

- Advertisement -

ඔබ මෙහෙම හිතුවත් දරුවන්ට අවවාද දීමේදී ඔවුන් ඒවා නොසලකා හරින්නේ ඇයි…? මේ ගැනත් හිතන්න..අවශ්‍යයි නේද… ?

ආකෘතියක් අපේක්ෂා කරන්න එපා

අපේ දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආකෘතියක් කිව්වොත් නිවරැදියි.දරුවන් කියන්නේ සාමාන්‍ය චරිතයක් බැව් ඔවුන් හිතන්නේ නැහැ.ඒ නිසාම දෙමව්පියන්ගේ හිතේ තිබෙන ආකෘතිය ඔවුන් දරුවන් වෙතින් අපේක්ෂා කරනවා.බාල වයසේ පටන්ම දෙමව්පියන් දරුවා වෙතින් බලාපොරොත්තු වෙන්නේ එවැනි පොදු ආකෘතියක්..

මුලින්ම අකුරු අත්පොත් තැබූ දවසේ පටන්ම දරුවා දෙමව්පියන් කියන විදිහට ලියන්න, කියන්න අවශ්‍ය බැව් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබේ ආකෘතිය දරුවා සමග ගලපන්න බැහැ.ඔබ කියන විදිහට කන්න, බොන්න, ඇවිදින්න,අකුරු ලියන්න, කියන්න දරුවාට නොහැකි වෙන්න පුලුවන්. ඒත් මේවා ගැන උරණ විය යුතු නැහැ.

නිතරම දොස් නගන විට

හැමදාම කියනවා…කොච්චර කිව්වත් මේස් එක අනිත් පැත්තට දාන්නේ..මේ වගේ පුංචි පුංචි වැරැදි දරුවා පුංචි කාලයේදී ඇති වෙන්න පුලුවනි. ඒවා බොහොම සාමාන්‍යයි.නමුත් එවැනි අවස්ථාවන් ගැන.අනවශ්‍ය විදිහට ආවේග ඇති කර ගනිමින් දරුවන්ට දොස් නගන්න එපා.එය අවවාදයක් විදිහට බොහොම හොදින් කියා දෙන්න. දරුවාට නිවරැදි ලෙස පාවහන් පය ලා ගැනීමට අපහසු නම් ඒ වෙනුවෙන් පුංචි උපායක් කියා දෙන්න. එසේ නොමැතිව නිතරම දොස් නගන්න එපා.මේ විදිහට නිතරම දොස් නගන විට දරුවාට ඒවා බොහොම සාමාන්‍ය තත්වයට පත් වෙනවා.

අවවාදයටත් වේලාවක් තබා ගන්න..

අපේ ජීවිතයේ හැම දෙයක් වෙනුවෙන්ම වෙලාවක් අවශ්‍ය බව ඔබ දන්නවා. ඒ වගේ අවවාද වෙනුවෙනුත් වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවා.දවසේ දරුවා අවදි වී සිටින කාලය පුරාම අවවාද කරන්න ගියොත් එයින් ඇති වෙන්නේ එපා වීමක්.ඒ නිසා දරුවාට අවවාදයක වටිනාකම පවා නොතේරෙන්න පුලුවනි.ඔබ මේ කියමන අසා ඇති කම්මලේ බල්ලා හෙණ හඬටත් බය නැහැ..අන්න ඒ තත්වය දරුවාටත් ඇති වෙනවා. නිතරම දරුවාගේ කණ පිරෙන්නේ අවවාදවලින් පමණයි.ඒ නිසා අවවාද කිරීමටත් වෙලාවක් උවමනා බැව් තරයේම මතකයේ තිබුනොත් වටිනවා.

අවවාදය සහ දෝෂාරෝපණය අතර වෙනස..

ඔබ දරුවාට අවවාද කිරීම වගේම දෝෂාරෝපණය කියන්නේ අවස්ථා දෙකක්. සැබැවින්ම ඔබ අවවාදයක් ලබා දෙන්නේ දරුවා ගැන හිතේ තිබෙන ආදරයත් සමගයි.

මගේ හොද පුතා වගේ උදෙන්ම නැගිටලා..අම්මා කියනකම් ඉන්නේ නුතුව මුහුණ හෝදලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න..හොඳ පුතාලා එහෙමනේ…කියන තැන ඇත්තටම තිබෙන්නේ ආදරය සහ අවවාදයයි.

ඒත්…කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හැමදාම උදේට නැගිට්ටවන්න ඕන මේ ළමයා නම් පුදුම කරදරකාරයෙක්..අනිත් දවසේ නම් හොඳ වේවැල් පාරක් දීලා තමයි මම ඔයාට උදේට කතා කරන්නේ..

ඔබ දරුවාගේ මේ අන්දමින් ආමන්ත්‍රණය කරනවා නම් එතැන ඇත්තේ දරුවා මුල් කර ගත් කෝපයයි.ඔබ දරුවාට එය මුදාහරින්නේ අවවාදයක් මිසක නොව දැඩි දෝෂාරෝපනයක් ලෙසයි. 

මෙතැනින් දරුවා කැමැති..

ඔබම මේ ගැන හිතන්න. එකම සිදුවීම මුල් කර ගෙන දෙමව්පියන් ප්‍රතිචාර දක්වන වෙනස් ස්වරූප අතරින් දරුවා වඩාත් කැමැත්තක් දක්වන්නේ ආදරයෙන් සිදු වෙන ආමන්ත්‍රණයට නොවේද..?නමුත් දෙමව්පියන් ලෙසින් ඔබ ඒ බැව් මුලින්ම හදුනා ගැනීමට සමත් විය යුතුයි.එහෙම නොමැතිව තල් අත්තට බොරලු වැටෙන්නා සේ නිතරම අනවශ්‍ය අන්දමින් දුම්මල වරම අතට අරගෙන සිටීම නම් එතරම් සුදුසු නැහැ.

හැබැයි අවවාද අවධාරනයෙන් කියන වෙලාවකුත් අවශ්‍යයයි

ඇත්තටම සමහර දරුවන්ට කොතරම් ආදරයෙන් අවවාද කළත් ඒවා කළයක් මුනින් අතට  නවා ඒ මතට ජලය වත් කරනවාට සමානයි. දරුවන් ඒ ගැන කැමැත්තක් දක්වන්නේ නැහැ.ඔවුන්ට ආදරයෙන් අවවාද ලබා දුන් පසුවත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වනවා නම් ටිකක් තදින් අවවාද ලබා දීමත් වැදගත්. එය දරුවාගෙන් දරුවාට වෙනස්.ඒ නිසා මුලින්ම ඔබ දරුවා අවවාද වෙනුවෙන් ප්‍රතිචාර දක්වන ආකාරය හොදින් හදුනා ගන්න. ඒ අනුව අවවාද ලබා දීම වඩාත් ඵලදායකයි.එසේ නොමැතිව අවවාද යනු වචන පමණක් වුනොත් එය සැබැවින්ම නිරර්ථක කාර්යක්. එය ඔබේ වචන නාස්තිය පමණයි.

අවවාදවල අගය ගැන කථාන්දර කියා දෙන්න..

ඔබ දරුවා සමග නිතර ගැවසෙන විට දෙමව්පියන්ගේ අවවාදවලට අවනත වීමේ වැදගත්කම ගැන දරුවාට කියා දෙන්න.රාහුල පුංචි හාමුදුරුවෝ සෑම උදෑසනකම වැලි දෝතක් උඩ දමා මේ තරමට මට අවවාද ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ ආදර්ශමත් චරිතය ගැන දරුවාට කියා දෙන්න.ඒ වගේම දෙමව්පියන්ගේ අවවාදවලට ඇහුම්කන් නොදී විනාශයට පත් ”අවලස්සන තාර පැටියා ” විපතට පත් ආකාරය දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න.

අම්මා,තාත්තා කියන දේ නාහන දරුවන්  විවිධ විපත්වලට පත් විය හැකි බැව් කියා දෙන්න.ඒ වගේම අවවාදවලට අනුව ජීවිතය හැඩ ගසා ගන්නා දරුවාට ඊට වඩා වෙනත් ආහිර්වාදයක් නොමැති බැව් පෙන්වා දෙන්න.

අවවාදයට වඩා ආදර්ශය..

  • ඔබ මේ කථාව අසා තිබෙනවාද..?

අවවාද දෙන විට දරුවා කණ වසා ගනී. නමුත් ඔවුන්ගේ  විවෘත ඇස් දෙමව්පියන් වෙත යොමු වී තිබෙනවා.එය ඇත්ත. ඔබ වචන දහසකින් විස්තර කරමින් ලබා දෙන අවවාදයට වඩා ආදර්ශමත්ව හැසිරෙන විට එයින් දරුවා බොහෝ දේ ඉගෙන ගනී. නිවසට අමුත්තෙකු පැමිණි විට ඔබ සංග්‍රහශීලිව සලකන අන්දම දකින විට දරුවාට අනාගතයේදී ගෙදරට කවුරුත් ආවාම අඩුම ගානේ වාඩිවෙන්න කියන්න…පුලුවන් නම් තේ එකක් හදලා දෙන්න..යනුවෙන් අවවාද අවශ්‍ය නැත. ඒ පුහුණුව ඔබ අවවාදයට වඩා සාර්ථක ලෙසින් දරුවාට ලබා දී අවසානයි.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article