- Advertisement -

ඔබ දරුවාට මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න

-

දරුවෙකු ලෝකයට බරක් නොවන යහපත් චරිතයක් ලෙසින් දායාද කිරීමට නම් මව්පිය භුමිකාවත් කාලයෙන් කාලයට වෙනස් විය යුතුයි. පුංචි දරුවෙකු මෙල්ල කර ගැනීම පහසු වුනත් දරුවන් වැඩෙන විට සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා විට මව්පියන් ලෙස ඔබේ  භුමිකාවත් වෙනදාට වඩා වෙනස් විය යුතුයි.

නයෙක් වුනත් පෙනය පෙන්වන්න ඕන..

- Advertisement -

සාමාන්‍ය ජනවහරට අනුව කතාවක් තියෙනවා. නයෙක් වුනත් පෙනය පෙන්නුවේ නැත්නම් දර මිටියක් බදින්න වුනත් යොදා ගන්න පුලුවනිලු. එයින් කියැවෙන්නේ ”නයා ” කියන බලගතු පෞරෂය පවත්වා ගත යුතු  බවයි. දෙමව්පියන් වුනත් තමන්ගේ භුමිකාව පවත්වා ගැනීම වැදගත්. ඔබ දරුවන්ගේ හොදම මිතුරා විය යුතු බැව් ඇත්ත. ඒ මිත්‍රත්වයේදීත් යම් සීමාවක් අවශ්‍ය වෙනවා. ඔබ දරුවාගේ සමීපතමයා  වීම ඊට වඩා වැදගත්.එවිට දරුවාට ඔබ සමග ඒනෑස දෙයක් කතා කරන්න පුලුවනි. ඔබ හොඳම සවන්දෙන්නා වීමත් අවශ්‍ය වෙනවා.අන්න එතැනදී මිතුරාට වඩා සමීපතයාගේ භුමිකාව වැදගත්.

අවශ්‍ය තැනදී මව්පියන්ගේ පෞරෂයත් අවශ්‍ය වෙනවා

අම්මා,තාත්තා විදිහට ඔබ දරුවාට මිත්‍රත්වයේ දෑත දිගු කරන අතරවාරයේදීම ඇතැම් අවස්ථාවලදී දරුවන් වෙනුවෙන් යම් නීති රීති සහ සීමාවන් පැනවීමටත් සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී ඔබේ මව්පිය භුමිකාව වඩාත් වැදගත්.මිතුරෙකුට වඩා ඔබ්බට ගිය දෙමව්පියන්ගේ තීන්දු තීරණ දරුවාගේ ජීවිතය යහපත් අතට යොමු කරවන බවත් අමතක කරන්න එපා. ඒ වගේම දරුවා ඔබේ අවවාද පිලිගන්නා තැනට පත් වෙන්නේ ඔබ විසින් දරුවාගේ ලෝකයේ දෙමව්පියන් ලෙස ඔබ මුල් කර ගෙන ගොඩ නගා ඇති චිත්‍රයට අනුවයි.

හොඳම සවන්දෙන්නා වෙන්න

දරුවාගේ ප්‍රශ්නවලදී දෙමව්පියන් ලෙස ඔබ හොඳ සවන්දෙන්නෙක් බව ඇත්ත. බොහෝ විට දරුවාගේ දවසේ සියලු ප්‍රශ්න ඔබ සමග කතා කිරීමට කාලය එලැඹෙන තුරු බලා සිටිනු ඇත. ඒ නිසා දරුවා ඔබ සමග කතා බහට සූදානම් අවස්ථාවලදී ඔවුන් මග හරින්න එපා.

කාලය නැති බව ඇත්ත..

උදේ පටන් රාත්‍රිය වන තුරු ජීවිතයේ විවිධ ගැටලු සහ ගැටුම් දෙමව්පියන් විදිහට ඔබටත් ඇති.ඒ වුනත් කිසිම දිනක දරුවා දවසේ කාලය ගෙවූ අන්දම කතා බහ කිරීම මග අරින්න එපා.දරුවන්ට ඔබ සමග කතා බහට කාලයක් නොවුන තැන ඔවුන්ගේ ප්‍රශ්න හිතේ සිරගතව තිබෙන නිසා එය පුපුරා යන තෙක් දෙමව්පියන් හෝ නොදන්නා තැනට පත් විය හැකියි. ඒ නිසා දරුවාගේ මිතුරාට වඩා හොදම සමීප හිතවතා වුන තැනදී දරුවන් ඔබ සමග ඔවුන්ගේ හිතේ ඇති සියල්ල නොවලහා කීමට මැලි වෙන්නේ නැහැ.ඒ සමගම දරුවාගේ ගැටලුවලට නිසි මාර්ගයක්ද කියා දෙන්න. කළ යුතු දෙය සහ නොකළ යුතු දේ ගැන දැණුවත් බව දෙමව්පියන් විදිහට ඔබේ අත්දැකීමෙන් ලබා ඇති දැණුමෙන් දරුවන්ට යා යුතු මග නොමග කියා දෙන්න.

 දරුවන්ට ආදර්ශමත් වෙන්න

ඔබේ දරුවා උස් මහත් වෙන විට දෙමව්පියන් ලෙස ඔබ පුර්වාදර්ශ චරිතයක් විය යුතුයි. දරුවන් බොහෝ විට ආදර්ශය ලබන්නේ දෙමව්පියන්ගෙන්. එය වචන ලක්ෂ ගණනින් වැය වෙන අවවාදයන්ට වඩා වැදගත්

ඔවා දෙනු පරහට- තමා සම්මතෙහි පිහිටා සිට

දුසිරිත දනන් දෙන- ඔවා වැද්දන් දෙසන බණ මෙන

මෙය ඔබ මුල් කර ගෙන හිතන්න. දරුවන් මෙතැනදී ඔබට ඇඟිල්ල දිගු කිරීමට ඉඩ තබන්න එපා. ඔබ දරුවාට එක් ඇඟිල්ලක් දිතු කරන විට තවත් ඇඟිලි හතරක් ඔබ වෙතට එල්ල වී තිබෙනවා. ඔබ සැබෑම ආදර්ශමත් දෙමව්පියෙකු නොවුනේ නම් දරුවා විසින්ම ඔබේ වැරදි ගැන පාරාවළල් ඔබ වෙතට එල්ල කිරීමට පුලුවනි. ඒ නිසා නිතරම අවවාදයට වඩා ආදර්ශය උතුම්. විශේෂයෙන් හය හතර තේරෙන විට දරුවා දෙමව්පියන්ගේ චරිතය පාදක කර ගෙන මවා ගන්නා ප්‍රතිරූපය ඔවුන්ගේ ජීවිතය සැලසුම් කර ගැනීමට ප්‍රබල අන්දමින් බලපාන්න පුලුවනි.

පවුලක් වුනොත් රහස් නැහැ.

පවුලක් වුනොත් අම්මා මුළුතැන්ගෙයි..තාත්තා කන්තෝරුවේ…දුවයි පුතයි ඔන්ලයින්..මෙන්න මේ හැසිරීම ඔබේ පවුලෙන් දුරස් වීම වැදගත්. පවුලේ සාමාජිකයන් විවිධ හේතු මත විවිධ අවස්ථාවල වෙන් වෙන් කාර්යන්හි නිරත වෙන්න පුලුවනි. එය සාමාන්‍යයි. ඒත් පවුලක තිබිය යුතු සහජිවනය මේ කාර්යන් සමග පවා සම්බන්ධ කර ගැනීම වැදගත්. දරුවන් කරන දේ අම්මා වගේම තාත්තා දැන ගෙන සිටිම වැදගත්. අම්මා,තාත්තාගේ කටයුතු දුව වගේම පුතාද දැන ගෙන සිටීම අවශ්‍යයි.පවුලක අම්මා නොදන්නා රහස් වගේම දරුවන් නොදන්නා රහස් තිබිම එතරම් සුදුසු නැහැ.ඒ නිසා පවුලේ හැම දෙනාම එකට එක්ව එකම මාවතක ගමන් ගැනීම ඉතාම වැදගත්.පවුලක පැවැත්ම ඇත්තේ එතැනයි.

 විශ්වාසය පෙන්වන්න හැබැයි විපරමින් ඉන්න..

ඔබ දරුවන් අවිහ්වාස නොකරන බව පෙන්වුවත් ඒ අතර විපරමින් සිටීම වැදගත්. දරුවන් වුනත් අපට සියයට සියයෙන්ම විහ්වාස කරන්න බැහැ. ඇතැම් විට ඔවුන් බොරු කියන්න පුලුවනි. පාසල අවසානයේදී මිතුරෙකු සමග වෙනත් ගමනක් යා හැකියි. ඒ නිසා පාසල අවසානයේ සහ නිවසට පැමිනෙන වේලාව අතර කාලය ගලපා ගෙන ඔබට යම් බොරුවක් කියනවා නම් ඒ ගැන සොයා ගන්න. මුලින්ම දරුවාගේ යම් වැරැදි මගක යනවා නම් එය හසු කර ගැනීමට ඔබේ උකුසු ඇස වැදගත්.

අපේ පුතා එහෙම නැහැ.

ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන උපරිම විශ්වාස තබනවා. අද සමාජය බොහොම විෂමයි. දරුවන් ගිල ගන්නා අකටයුතු දරුනුයි. විෂ මත් ද්‍රව්‍යන්ට දරුවන් ගොදුරු වෙන වාතාවරණයකදී ඔබේ දරුවා ගැන යම් පනිවිඩයක් ලැබුනොත් එය කියන ලද තැනැත්තට ස්තුතිවන්ත වෙන්න. එතැනින් පසුව ඒ ගැන සොයන්න. අනවශ්‍ය අන්දමින් දරුවන් විශ්වාස කරන්නත් එපා.

තොරතුරු දුන් අය ආරක්ෂා කරන්න

ඇතැම් දෙමව්පියන්ට මෙවැනි තොරතුරක් ලද විට එය ලබා දුන් තැනැත්තා ගැනත් දරුවා කියනවා.මේ අන්දමින් තොරතුරු දුන් අය ගැන දරුවාට කියන්න එපා. එය තවත් ප්‍රහ්නයටක මුල පිරීමක්. නව යොවුන් දරුවන්ගේ ඉවසීම අඩුයි. ඔවුන් මේ තොරතුරු ලබා දුන් පුද්ගලයන් සමග අනවශ්‍ය අන්දමින් පැටලෙන්න පුලුවනි. ඒ නිසා මේ තොරතුරු වටිනා බව පමණක් සිතන්න.සමහර විට තොරතුරු අසත්‍ය නම් දරුවාගේ ආවේග තවත් දරුණු විය හැකියි. ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව සිතා ඒ අනුව කටයුතු කරන්න. එය හොඳම විසඳුමක්.

එහෙමනම්…දරුවන් විශ්වාස කරන බව කියන්න. දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටුන විට එය ගොඩ නැගීමත් පහසු කාර්යක් නොවන බවත් කියා දෙන්න.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න. එවිට දරුවාගේ ලෝකයේ  ඔබ තරම් විශ්වාසවන්ත තවත් පුද්ගලයෙකු නොමැති බව රහසක් නොවේ.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article