- Advertisement -

කෝවිඩ් රෝගයෙන් දරුවන් රැක ගැනීම සඳහා උපදෙස්

-

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇත. වැඩිහිටියන්ට සාපේක්ෂව කෝවිඩ් වැළඳීමේ හැකියාව දරුවන්ට අඩු නමුත් ඕනෑම දරුවකුට මෙම රෝගය වැළඳිය හැකිය. බොහෝ දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, තවත් බහුතරයක් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් දරුවන් ද උග්‍ර කෝවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා සහ මරණ පවා ඇතිවිය හැකිය. පෙනහලු රෝග, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා, වෙනත්  නිදන්ගත රෝග වලින් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් හට අවදානම වැඩිය.

සමහර දරුවන්ට කෝවිඩ් රෝගය හා සබැඳිව Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නම් බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතා තත්ත්වය ද ඇති විය හැක. මෙම තත්වය ඇති වන්නේ ඇයිද කියා තාමත් නොදනී. මෙයින්ද  දරුවා අසාධ්‍ය විය හැකියි. බොහෝ දෙනා සුවවේ. ඇතැම් විට මාරාන්තිකයි.

- Advertisement -

මේ නිසා අපගේ දරුවන්ට කෝවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ සහ සියලු වැඩිහිටියන්ගේ වගකීම වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් ජනතාවගෙන් පහත උපදෙස් පිළිබඳව අවධානය යොමුකොට ඒවා අනුගමනය කිරීමට මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

සියලු සෞඛ්‍ය පුරුදු ඔබ විසින්ම ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ඒ සඳහා යොමු වීමට දරුවන්ටද ආදර්ශය ලබා දෙන්න.

  • දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් පිටතට රැගෙන යාමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් සහභාගී කර නොගන්න.
  • අවුරුදු දෙකට වැඩි සෑම දරුවකුටම මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයි. අවුරුදු දෙකට අඩු දරුවන් අනෙකුත් පුද්ගලයින්ගෙන් ඈත්කර තබා ගන්න. සිප ගැනීමට හෝ තුරුළු කර ගැනීමට ඉඩ නොදෙන්න.
  • සබන් හෝ විෂබීජ දියරයකින් නිතර දැන්  සෝදවන්න.
  • කැස්ස හෝ කිඹුහුන් යාමේදී වැලමිට, ලේන්සුවක් හෝ ටිෂු එකක් භාවිතා කරන්න.
  • විෂබීජ නාශකවලින් දරුවන් නිතරම අල්ලන ස්ථාන සහ අනෙකුත් දේවල් පිරිසිදු කරන්න.
  • අනෙකුත් දරුවන් සමග දුරස්ථ ක්‍රමවේද මගින් සම්බන්ධ වීමට උදව් කරන්න.
  • දරුවන්ගේ ඇති විය හැකි මානසික අසමතුලිතතා අවම කර ගැනීම සඳහා ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම්වල නිතරම නියැලෙන්න.
  • නිවසේ කෝවිඩ් රෝගියකු හෝ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් සිටී නම් දරුවන් එම පුද්ගලයා ගෙන් ඈත් කර තබන්න.
  • පවුලේ කිසියම් අයෙක් නිවසින් පිටතට ගොස් ආපසු පැමිණි විගසම දරුවන් තුරුළු කර ගැනීමෙන් හෝ සිප ගැනීමෙන් වලකින්න.
  • දරුවන් තුළ කෝවිඩ් රෝගයට අදාළ යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

 

ඔබගේ දරුවාට කොවිඩ් නොවන වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවුවද වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න. මෙම උපදෙස් අනෙකුත් දෙමාපියන් සමඟ ද හුවමාරු කරගන්න.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article