ජීවිතයට ඇවැසි බොහෝ දේ අපේ අත්දැකීම් තුලින්ම ඉගෙනීමට හැකියි. අපි ජීවිතය අත්දැකිය යුතුයි. අත්විඳිය යුතුයි. ඒ වගේම ඉගෙන ගත් දේ අනුකූලනය කළ යුතුයි.
මනෝ චිකිත්සකවරියක් වන මට, මුහුණ පොත හරහාත්, ඊමේල් වගේම යූ ටියුබ් හරහාත් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා අසන්න ලැබෙනවා. ඒ අතර මට නිතර අසන්නට ලැබුණු ගැටලු බොහොමයකට හේතුවක් වී තිබුණේ දරුවන්ගේ ජීවිත මාපියන් විසින් ගොඩනැංවීමේදී සිදුවන අඩුපාඩු මත ඇති වන ගැටලු බවයි. ශ‍්‍රී ලංකාවේ අපේ සංස්කෘතිය තුළ දුවෙකුට වඩා සුවිශේෂී තැනක් පුතෙකුට හිමි වීම මත යම් දිනක වැඩිහිටියන් වන දරුවන්ගේ ජීවිත තුළ ගැටලුමතු විය හැකි බව ඔබත් සිතන්නට නැතිව ඇති. අපි අද ඒ ගැන කතා කරමු.
දුවෙක් වුණත් පුතෙක් වුණත් දරුවෙක් කියන්නේ සම්පතක්. සුදු ඇත් පොව්වෙක් ගීතය ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අහලා ඇති. සිරිමා බෝ සාමිනේ, මං පිරිමි පුතෙක් පැතුවා කියන ගීතයත් ඔබ අසා ඇති. දුවෙක් වේවා පුතෙක් වේවා දරුවෙක් පතන අම්මලා වගේම තමාට පුතෙක්ම ඕනේ යැයි දෙවියන්ගෙන් යදින මව්වරුන් අපේ මව්වරු අතර ඉන්නවා.
ඇයි අම්මා කෙනෙක්ට පුතෙක්ම ඕනේ
මේ ගැන හිතලා බැලුවොත් අපේ සංස්කෘතියට අනුව නම් පරම්පරාව ගෙනියන්න, පවුලට ශක්තියක් ධෛර්යක් දෙන්න, අපි නැති කාලේක අපේ නම ගෙනියන්නට යන දේවල් ගොඩක් අපේ සංස්කෘතිය තුළ ගොඩනැගිලා තියෙනවා.
ඉතිං ඔබටත් ඕනේ පුතෙක්මද?
අපි මේ තුළ මීට වඩා වෙනස් දෙයක් දැකිය යුතුයි. දුවෙක්ද පුතෙක්ද කියනවට වඩා වැදගත් වෙන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් දරුවෙක් යන හැඟීමයි. ඒ වගේම මව්පියන් ලෙස අපි ඒ දරුවා ගොඩනඟන ආකාරයයි. පුතා සංකල්පයක් ලෙස ගත්තොත් ඒ චරිතය අපි ගොඩනගන ආකාරය බොහෝ සෙයින් වැදගත් වෙනවා. පුතෙක් කියන චරිතය හදන ආකාරය, ඒ චරිතයට ආකල්ප රූපණය කරන ආකාරය පිළිබඳව දෙමාපියන් ලෙස අපි බොහොම සැලකිලිමත් විය යුතුයි. අපේ සිතුම් පැතුම් යම් ආකාරයකින් වෙනස් විය යුතුයි. අපි ගෙදර වැඩක් පුතෙකුට කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්.
”ආ.. පුතේ ඔයා යන්න, ඔයා සෙල්ලම් කරන්න.. කොල්ලෝ ගෙදර වැඩ කරන්න ඕනේ නෑ”
ඒත් දුවෙක් ඉන්නව නම් උයන්න පිහන්න ඕනෑ. ගෙදර වැඩ කටයුතු ඉගෙන ගන්න ඕනේ. ඇතැම් නිවෙස්වල අම්මලා පළවෙනි බත් හැන්ද බෙදන්නේ ගෙදර තාත්තට, එහෙමත් නැත්නම් පුතාට. මොකද ඒකේ තියෙනවලු යෝධ බත් ඇටය කියලා එකක්. නමුත් විද්‍යානුකූලව හිතුවොත් ගැහැණියක් දරුවෙක් බිහි කරන්නට ඕනෑ. ඇය තුළ ශාරීරික ශක්තිය තිබිය යුතුයි. විද්‍යාත්මක කරුණු එසේ වුවත් අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ඒ ආකාරයේ අදහස් මූලික කරගෙනයි.
මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මට අහන්න ලැබුණු කතාවක්…..
එක අම්මා කෙනෙක් පුතාගේ ගෙදරට දුරකතන ඇමතුමක් ලබා දී පුතාව විමසුවාම පුතාගේ බිරිඳ ඔහු මුළුතැන් ගෙය පිරිසිදු කරන බව කියා තිබුණා. නමුත් මේ පුතාගේ මව පුතාගේ බිරිඳට බැන වැදී තිබුණේ දරුවා හැදුවේ වලං සෝදන්න නොවන බව පවසමින්.
නමුත් සිදු විය යුත්තේ එය නෙවෙයි. මාගේ පෞද්ගලික අත්දැකිම්වලට අනුව කිව්වොත් මගේ නිවසේ නම් මම කාර්යබහුල වූ විට මගේ සැමියා නිවසේ වැඩ කටයුතු නොපැකිලව බාරගන්නවා. අපි හරිම අවබෝධයෙන් යුතුව ඒ කාර්යයන් ඉටුකරගන්නවා. ඒක ලැජ්ජාවට කරුණක් නොවේ. දරුවෙක්ගේ ඩයපර් එකක් මාරු කරන්න, කැත කුණු අතගාන්න පියෙක් ලැජ්ජ විය යුතු නැහැ. එය පියාගේ මවට කණගාටු විය යුතු කරුණක්ද නොවේ. දරුවෙක්ව ලෝකයට ගේන්නේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම එක්ව. ඉතිං මේ වගකීම් විතරක් ගැහැණියට පමණක් සීමා විය යුතු නැහැ. අපේ පුතුන්ට අපි ඉගැන්විය යුත්තේ එයයි.අන්න ඒ නිසාම අපි අපේ දරුවා දුවෙක් වේවා, පුතෙක් වේවා නියමාකාරයට ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කළ යුතුයි. දරුවන් අනවශ්‍ය විදියට බොලඳ මානසිකත්වයක් ඇතිව අපිට හුරු වචනයෙන්ම කියනවා නම් තොත්ත බබාලා නොකර සිටීමට වගබලා ගත යුතුයි.
දුවට වගේම පුතාටත් ජීවිත්විය යුතු ආකාරය පහදා දිය යුත්තේ ඇයි?
ඔව්. සරලම උදහරණයක් ගත්තොත්, අද වෙද්දී ගොඩක් දරුවෝ ඉගෙනීමට, රැකියා සදහා විදේශ රටවලට යනවා. එතැනදී තමන්ගේ වැඩකටයුතු තමන් විසින්ම ඉටු කරගත යුතුයි. මොකද ගෙදරින් වෙන්වෙලා විදෙස් රටකට ආවම අම්මා තාත්තා අත ළඟ නෑ, සේවකයෝ නෑ. ඉතිං තමා විසින්ම තමාගේ කටයුතු ඉටුකර ගත යුතුමයි.
මෙන්න මෙතැනදී අසරණ වෙන තත්ත්වයට අපි අපේ දරුවෝ නොහැදිය යුතුයි. දුවෙක් වේවා පුතෙක් වේවා අපි අපේ දරුවන්ට ජීවිතය ගැන වගේම ජීවත් වෙන ආකාරය ගැනත් අවබෝධ කරවිය යුතුයි. විශේෂයෙන්ම පිරිමි දරුවන්ට අපි මේ දේවල් හුරු කළ යුතුයි. ඒක පුංචි කාලේ පමණක් නෙවෙයි ඔවුන් විවාහ ජීවිතය තුළත් සාර්ථක වීමට බොහෝ සෙයින් උදව් වෙනවා. මොකද අපි විවාහ වෙද්දී පොරොන්දුවක් දෙනවා, දුකේදී සැපේදී හැම අවස්ථාවකම එකට ඉන්නා බවට. උයන පිහන එක, ගෙයක් දොරක් අතුගාන එක, පවුල් සංස්ථාව තුළ තමන් තුළ තියෙන දෙයක් බෙදා හදා ගන්න එක සාමාන්‍ය දෙයක්. අපි අපේ දරුවන් ඒ ජීවිතයට හුරු කළ යුතුයි.
අපිට පුළුවන් ගැහැනු පිරිමි භේදයකින් තොරව නිවසේ වැඩකටයුතුවලට අපේ දරුවන් සම්බන්ධ කරගන්න. ඒක දරුවන්ටත් විනෝදයක්. ඒ වගේම අම්මා තාත්තා එක්ක යම් කාලයක් ගත කරන්නත් අවස්ථාවක්. ඒ වගේම ලස්සන වගේම වටිනා අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි දරුවෙක්ට ලොකු ජයග්‍රහණය මුසු වුණු හැඟීමක් එකතු කරවන මොහොතක්.
ඔබත් මෙහෙම හිතන්න. මට ඉන්නෙ වයස අවුරුදු 7ක පුතෙක්. අපි ගෙදර පරිප්පු හොද්දක් හැදුවත් එයත් ඒකට දායක වෙනවා. අපි එයාව එකතු කරගන්නවා. මොකද මම හිතනවා, එයා ඉගෙන ගන්න අපෙන් දුරකට ගියොත් එහෙමත් නැත්නම් විවාහයෙන් පස්සේ හරි එයාගේ ජීවිතයට මේ අත්දැකීම් බොහොම වැදගත් වේවි කියලා.
මතු දිනක ඔහු විවාහයක් වූ පසු දරුවොත් එක්කලා හැම තිස්සේම ඔහුගේ බිරිඳට උයන්නට බැරි වේවී. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තියේවි. අන්න ඒ නිසා පුතෙක් වුණත් ඕනෑම ජීවන රටාවකට හුරු කළ යුතුයි. ඒ නිසයි අපි විවෘත මනසක් ඇති දරුවෙක් හැදිය යුත්තේ.
පුතුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වන ඔබෙන් පුතුට සිදුවන්නේ යහපතක්ද?
පුතුන්ට සුවිශේෂ සැලකිලි දක්වමින් ඇතැම් මව්පියන් මේ කරන දේ තුළ, ඔවුන්ගේ ජීවිත අසාර්ථකත්වය කරා ගෙන යාමට එය හේතු විය හැකි බව ඔබ සිතිය යුතුමයි. අතට පයට හැමදේම සපයලා දීලා ඔවුන් විවාහ වූ දිනක මව මෙන් ඇතැම් විට ඔහුගේ බිරිඳ අතට පයට සියල්ල සම්පූර්ණ කිරීම නොකළ හැකියි. එවැනි අවස්ථා දිගින් දිගටම සිදුවන විට ඒ කුල ගෙය දෙදරා නොයයිද? ඒ කුල ගෙය සාර්ථක වෙයිද ? කියා ඔබ සිතන්න. තමන්ගේ ආදරණීය පුතාගේ ජීවිතයේ අසාර්ථකත්වය ඔබ වගකිව යුතු නොවේද?
සැමියාට ආදරනේ තේ කෝප්පය ගෙනත් දීම, ඔහුගේ වැඩ කටයුතු ඉටු කර දීම ආදරයෙන් බිරිඳක් විසින් කළත් ඒ අන්‍යෝන්‍ය අවබෝධය වගේම ආදරය යන කරුණු මතයි. නමුත් තමන් ගැන හැඟීමකින් කටයුතු නොකරන සියලුම වැඩ තමා මතම පටවන සැමියෙකුට එවන් ආදරණීය බිරිඳක් සිටීම පුදුමයකි. එකිනෙකාගේ ආශාවන් හඳුනාගෙන ඒ සඳහා උදව් උපකාර කළ යුතුයි.
ජීවිතය යනු,
අත් අල්ලා යා යුතු ගමනක් මිස එක් අයෙක් පමණක් හැල්මේ දුව යා යුතු ගමනක් නොවේ. පවුල යන සංකල්පය එයයි. පවුලක සාර්ථකත්වය සඳහා විවාහයක සහකරුවන් දෙදෙනාම සිටිය යුතුයි. නිදහස, සාමකාමී බව, ආදරය, අවබෝධය, ගෞරවය ඇති පවුලක සැබෑ සතුට බාහිර ඕනෑම අයෙකුට දැක ගත හැකියි.
මෙතැනදී පුතෙකුට පැවරෙන වගකීම වැඩියි. අන්න ඒ නිසාම පුතුන් ඉන්න මව්පියන් තමන්ගේ පුතා ඇතිදැඩි කිරීමේදී ලොකු මහත් වූ පසුත් නොවෙනස් වන අයුරින් ඔවුන්ගේ භූමිකාව ගොඩනැංවිය යුතුයි. ඔබ, ඔබේ පුතා මිනිසෙකු ලෙස ගොඩනැංවිය යුතුයි. එය පුංචිම පුංචි වයසේ සිට ආරම්භ කළ යුතුයි.
ඔබේ පුංචි පුතාටත් කියා දෙන්න,
පුතේ ජීවිතේ කියන්නේ මෙන්න මේකයි. අපි ඉස්සරහදී මෙන්න මේ දේවල් කළ යුතුයි. ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයා බලන්න. වත්තක් කොටන කොට දුවෙකුටත් වත්ත කොටන්න පුළුවන්. වගා කරන්න පුළුවන්. ඒ වගේම උයන්න පිහන්න දුවෙකුට පුළුවන් නම් ඒක පුතෙකුටත් පුළුවන්. මේවා සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතා. ඔබ කනවා බොනවද? ඔව් එහෙම නම් පුතාටත් උයන්න පුළුවන්. ඔබ ඇදුම් අඳිනවාද? එනෙම් පුතාටත් රෙදි ටික හෝදගන්න පුළුවන්. ඒ නිසා දුවෙක් වුවත් පුතෙක් වුවත් ඔවුන් තුළ අනාගතයට මුහුණ දිය හැකි සාර්ථක චරිතයක් ගොඩ නැංවීම දෙමාපියන් ලෙස අප මත පැවරෙන විශාල වගකීමක් බව අමතක නොකරන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
බලපත‍්‍රලාභී සායනික මනෝචිකිත්සක සුගන්ධිකා සුභවික‍්‍රම
ඇමරිකා එක්සත් ජනපදය