- Advertisement -

ගෙවත්තක වැදගත්කම

-

ගෙවතු වගාව ගැන හැම දෙනාගේම උනන්දුව උත්සාහය වගා වෙන්න පටන් ගත්තේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය නිසා තමන්ට අවශ්‍ය ආහාර බෝග සපයා ගැනීමේ ගැටළුව ඇති වුන පසුවයි. පුංචි ගෙවත්තක් හෝ වේවා නඩත්තු කර ගන්නා නම් එයින් ලැබෙන ආර්ථික ලාබ බොහොමයක් තිබෙනවා.ඒ මොනවාද කියනවා නම්…

  • පුංචි ඉඩ වපසරිය වුනත් කළමනාකරණයකින් පවත්වා ගැනීමට පුලුවනි.
  • පවුලේ අයට මේ පරිසරය ඉතාම සුවදායකයි. ඔවුන්ගේ විවේක කාලයේදී ගෙවත්ත සමග ගත කිරීම නිසා විවේකය  ඉතාම ඵලදායක විදිහට ගත කරන්න පුලුවනි. 
  • දර, පොහොර ආදිය ගෙවත්තෙන්ම ලබා ගන්න පුලුවනි.
  • හදිසියේ අවශ්‍ය විය හැකි ඔසු නිවස අසල තිබීමට 
  • කෘමි නාශක/වල් නාශක වැනි  ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම නිසා ඇතිවන රෝගාබාධයන්ගෙන් නිවාරණය වීම. 

ගෙවත්තක් කියන්නේ නිවසට යාබදව පවුලේ පෝෂනීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඉහල විභවයක් ඇති වගා පරිසරයෙකි’ 

- Advertisement -

අපි ජීවත්වෙන පරිසරය අනුව ඒ තත්වයන් වෙනස් වෙනවා. පර්චස් හත අටක තමන්ගේ නිවසත් සමග ගෙවත්තක් පවත්වා ගෙන යන කෙනෙකුට වඩා අක්කර බාගයක පමණ වපසරියක් තිබෙන අයෙකුගේ ගෙවත්තේ තත්වය වෙනස්. 

බඳුන්ගත වගාව

බඳුන්ගත වගාවේදී නිවසේ ඉවත දමන විවිධ භාජන යොදා ගත හැකියි. පොලිසැක් මලු වැනි දෙයින්ද බඳුන්ගත වගාව වෙනුවෙන් යොදා ගත හැකියි.බෝංචි වැනි දේ වගාකිරීමට ලීටර් 10 ක ධාරිතාවයක් ඇති භාජනද, කැරට්, රාබු වැනි දේ වෙනුවෙන් ලීටර් 5 ක් ධාරිතාවය  ඇති භාජන තෝරා ගන්න. 

සාර්ථක වගා මලු ක්‍රමය

ගෙවත්තක් වෙනුවෙන් ඉඩ වපසරිය නොමැති නම් වගා මලු වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැක.උස අඟල් පහළොවක් සහ පළල අඟල් 10 ක් පමණ වූ මෙම මලුවල වම්බටු,මිරිස්, තක්කාලි වැනි (Solanaceae) කුලයට අයත් එලවලු වගා කළ හැකියි.මෙම මල්ලට කොම්පෝස්ට් මිශ්‍ර පොහොර හා කොහුබත් මිශ්‍රණයක් දමා ගත් විට ජලයේ තෙතමනය රඳා පවතී.එක් මල්ලක පැල දෙක බැගින් සිටුවිය හැකි අතර බීට්,කැරට්, නෝකෝල් සහ ලීක්ස් වැනි වර්ග එක මල්ලක පැල හතරක් බැගින් වුව සිටුවා ගත හැකියි.

බඳුන්ගත පළතුරු වගාව

පළතුරු ගස් වගා කර ගැනීමට ඉඩකඩ නැති නාගරික ජනතාව බඳුන්ගත පළතුරු වගාව ඉතා යෝග්‍යයි.මේ වෙනුවෙන් ලීටර් 40-50 ප්‍රමාණයේ ප්ලාස්ටික් හෝ මැටි,සිමෙන්ති වැනි භාජනයක් තෝරා ගන්න.එහි පතුලේ හා පතුලට අඟල් දෙකක් පමණ ඉහළින් සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භයක් ඇති ජලවහනය වෙනුවෙන් සිදුරු හත අටක් තැබිය යුතුයි.අඟල් දෙකක් පමණ ඉහළට වන තුරු ගඩොල් හෝ උළු පුරවන්න.ඒ මත දිරාපත්වන කොළරොඩු තට්ටුවක් අසුරන්න.

වගා කුළුණු

පොහොර මළු දෙකක් එකතු කරල එය එකක් විදිහට සකස් කර ගන්න. දැන් මේ උරයට විෂ්කම්භය  මීටර් සෙ.මි 10 ක් පමණ සහිත මීටර් දෙකහමාරක් පමණ වූ උණ ලීයක් ඇතුලු කරන්න. මේ උණ ලීයේ අවසාන පුරුක පමණක් ඉතිරි වන සේ සිදුරු කරන්න. උණ ලීය මීටර් බාගයක් පමණ පොළව යටට වලලා ගන්න. එම උණ ලීයෙන් සෙ.මි 30 ක් පමණ පොහොර බෑගයට වඩා උසින් තිබීම අවශ්‍ය වෙනවා. එම වළට ගඩොල් කැබලි, වැලි සහ පස් වලින් පරවන්න. පිටතට පෙනෙන්නේ පොහොර උරය පමණි. මුලින්ම කොම්පෝස්ට්, මතුපිට පස්, සහ සියුම් වැලි කොටස් , ගඩොල් කැබලි අවශ්‍ය පරිදි සකස් කර ගෙන තබා ගන්නත දැන් පොහොර මල්ල යටටම සෙ.මි 15 ක් පමණ උසට ගඩොල් කැට අතුරා ගන්න. එයින් පසුව පොහොර මිශ්‍රණයයෙන් මල්ල පුරවා ගෙන වතුර දැමීමට උණ බටය යොදා ගන්න පුලුවනි. පොහොර උරය වටට හිල් සකස් කර ගෙන විවිධ වර්ගයේ පලා ( ගොටුකොල, කංකුං ) සිටවා ගන්න පුලුවනි.

බෝග තෝරා ගැනීමේදී කුඩා ඉඩමකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බෝග වඩාත් වැදගත් වේ. නිවිති, බටු, මෑ, තක්කාලි, මිරිස් ආදිය මෙහි ලා සැලකිය හැක. ඊට අමතරව වසරේ ඕනෑම කාලයක අස්වැන්න ලබා ගත හැකි පැපොල්, කෙසෙල් වැනි බෝග වර්ගත් වැදගත් වේ.

සෙවණ අවශ්‍ය බෝග සේ ගැනෙන කරවිල, පතෝල, දඹල වැනි බෝග ගෙවතු වගාවේදී තෝරා ගැනීමෙන් ඔබට ගෙවත්ත පහසුවෙන් කළමනාකරණය කර ගැනීමෙ පහසුව ලැබේ.

විශාල ගෙවතත්ක නම් වැටක් සේ අවහිර වෙන පරිදි මායිමට අලිගැටපේර, දෙල්, අඹ වැනි ශාඛ සිටුවිය හැක. නමුත් ඉඩකඩ සීමිත නම් ඔබගේ මනාපය අනුව බෝගයට අවශ්‍ය ආලෝකය, සෙවන වැනි සාධක සලකා බලමින් තිබෙන ඉඩ වපසරියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ පහසුව සලසා ගත හැකිය.

මේ අතරටම මල් වර්ග වගා කර ගැනීමෙන් ගෙවත්තට ආකර්ශනයක් මෙන්ම ආගමික වතාවත් වෙනුවෙන් අවශ්‍ය මල් නෙලා ගත හැකිය. එමෙන්ම මල් අතරත් ආර්ථික වටිනාකම් සහිත ඇන්තූරියම්, බාබන් ඩේසියා, වැනි මල් වර්ග වගාවෙන් අතිරේක ආදායම් ලබා ගැනීමට ඔබට ස්වාධීන අයිතියක් ඇත.

අතීතයේදී වගා කිරීමේදි ඵලදාව ලැබෙන ආකාරය අනුව තෝරා ගත් සුබ දිනයන් විය. ඒ වගේම දවසේ බෝග වගාවන්ට සුදුසු කාල වේලාවක්ද විය. අල බහින බෝග සහස් වරුවටත්, ඵල දරණ බෝග උදය වරුවටත්, වගා කරන ලදී. එමෙන්ම යම් වැලක් දකුණට ඇදෙනවා නම් එය උෂ්ණ හෙවත් සුර්ය ශාඛයක් ලෙසත් , දකුණට ඇදෙනවා නම් සීතල ශාඛයක් ලෙසත්  හඳුන්වන ලදී.

ඒ වගේම දැන් බොහොම දෙනක් ඉවත දමන මෙගා බෝතල්, ටයර් වැනි දේ පවා ගෙවතු වගාවන්ට යොදා ගන්න සූදානම්. තාප්පයක පවා අලංකාර අන්දමින් වගාවෙන් අලංකාර කර ගැනීමට හැකියාව තමන්ගේම ඇස යොදවා විමසා බලන්න පුලුවනි.

නිවසේ ඉවත දමන පොල්කටු වුනත් පාත්ති ආවරණයට යොදා ගත් විට ඒවා පොළවටම දිරාපත් වෙනවා පමණක් නොව පසට පොහොර විදිහටත් ලැබෙනවා. 

බොහොම දෙනෙක් කියන්නේ අපිට ගෙවතත්ක් හදා ගන්න ඉඩක් නැති බව වුනත් තමන් ජීවත්වෙන නිවස වුනත් තාම අලංකාර විදිහට හරිත ගොඩනැගිල්ලක් බවට පත් කර ගන්න පුලුවනි.

බෝතල් උද්‍යාන

මෙම බෝතල්වලට පැල රෝපනය කිරීමෙන් ඉතා අලංකාර වගා බිමක් ගොඩ නගා ගත හැකියි. මෙම වීදුරු බෝතලයක පතුල සෙ.මි 25 ක් පමණ උසට වැලි පුරවන්න. එයින් පසුව ජීවානුහරනය කරන ලද  කොම්පෝස්ට් අතුරන්න. එය හොඳින් තද කිරීමෙන් දිගු හැඳි මිටක ආධාරයෙන් එම මාධ්‍ය මත පැල රෝපණය කිරීමට අවශ්‍ය තැන්වල සිදුරු සාදා ගන්න. වීදුරු බෝතල් වගාවේදී පරවෙන වර්ගයේ මල් රෝපනය නොකල යුතුයි. ඊට හේතුව වන්නේ පර වෙන මල් එයින් ඉවත් කිරීම අපහසු නිසාය. මේ වෙනුවෙන් වඩාත් ගැලපෙන්නේ පර්ණාංග, පිටෝනියා, හෙඩේරා සහ සෙලැජිනෙල්ලා වැනි ශාඛ වර්ගයි.

 

තොරතුරු- හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ (විශ්‍රාම)ආචාර්ය ඩබ්.එම්.පී.බී ගිරාගම මහතා

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article