කොවිඩ් වසංගත සමය දරුවන්ට බලපාන්නේ කොහොමද…?

කොවිඩ් වසංගතය සමග ඇති වුන සංචරන සීමාවන් වගේම දිගු නිවාඩුව දරුවන්ට බලපාන්නේ කොහොමද..? මේ ගැන කතා කරද්දී එක් එක් දරුවන්ගේ වයස් කාණ්ඩයට අනුව බලපෑමේ ස්වභාවය වෙනස් වෙන්න පුලුවනි.

පුංචිම දරුවන්ට නම්..

පුංචිම දරුවෝ ඉන්න අම්මලාට නම් මේ නිවාඩුව නිසා තමන්ගේ දරු පැටවුන් සමග කාලය ගෙවන්න පුලුවනි. වෙනදා වගේ සතියේ දවස් පහක් දැන් කන්තෝරු යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දරුවන් සමග කාලය ගෙවන්නත් දැන් අවසරයක් තිබෙනවා.ඒ නිසා දෙමව්පියන්ට ලැබුන මේ අවස්ථාවෙන් දරුවන්ට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට නිවසේ පරිසරය නිර්මානය කර ගැනීමත් ඉතාම වැදගත්.

අම්මයි- තාත්තයි- නිතර ගැටෙනවා නම්..

වෙනදාට වඩා වැඩි කාලයක් අම්මයි තාත්තයි නිවසේ කාලය ගෙවන නිසා නිතරම ගැටුම් ඇති වෙනවා නම් පුංචි මනසට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. වෙනදා නම් දරුවන් ඉදිරියේ නිතරම ගැටුම් ප්‍රදර්ශනයට ඔවුන්ට වෙලාවක් තිබුනේ නැහැ. දැන් වැඩි කාලයක් නිවසේ රැඳී සිටින නිසා ගැටුම් ඇති වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහැ. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ නිවසේ ගෙවන මේ කාලය දරුවන්ට ප්‍රියජනක ලෙසින් ගෙවන්න අමතක කරන්නත් එපා.

ළදරු පාසල් වයසේ දරුවන්ට…

දරුවෙකු වයස අවුරුදු පහ සම්පුර්ණ වූ විට දිනපතා පාසලට යෑම අනිවාර්යයි. ඊට පෙරාතුව ළදරු පාසල දරුවාගේ පූර්ව ළමා විය සංවර්ධනයට වඩාත් වැදගත්. ජීවිතයේ දෙවතාවක් මේ කාලය ලැබෙන්නේ නැහැ. නමුත් වසංගත සමය නිසා ළදරු පාසල් යන දරුවන්ට ඒ අත්දැකීම ලබා ගන්න තිබෙන අවස්ථාව ගිලිහෙනවා. ඒ ගැන කළ යුතු දෙයකුත් නැහැ.වසංගතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනුගමනය කරන වැඩ පිළිවෙල සමග මෙවැනි අනපේක්ෂිත පරිසරයක් ඇති වීම සාමාන්‍යයි.දරුවන්ට සාපේක්ෂව බලන විට ඔවුන්ගේ පූර්ව ළමා විය සංවර්ධනයේදී අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට , දිනපතා පාසලට හුරුව ලැබීමට සහ ස්වාධීන ජීවිතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරය වසංගතය නිසා ඔවුන්ට අහිමි වීමේ අවස්ථාවක් තිබෙනවා.

වයස අවුරුදු 5 සිට 10 අතර දරුවන්ට…

පාසල් අධ්‍යාපනයේ ආරම්භයේ පටන් හතර , පහ පංති දක්වා දරුවන් සෙල්ලමට බොහොම ප්‍රියයි.ඔවුන්ගේ ළමා කාලය අපි දරුවන්ට ලබා දීම වැදගත්. අද අතිරේක පංති සහ තරඟකාරී විභාග නිසා දරුවන්ගේ සෙල්ලම් කාලය දෙමව්පියන් විසින් උදුරා ගත්තත් එය දරුවන්ගේ අයිතියක්.ඇතැම් දෙමව්පියන් දරුවන්ට සෙල්ලමට බාධා නොකළත් අද කොවිඩ් වසංගත තත්වය නිසා දරුවන්ට තමන්ගේ මිතුරන් සමග කණ්ඩායමක් විදිහට ක්‍රිඩා කරන්න, මිතුරු සමාගම් පවත්වා ගන්න සහ අවම වශයෙන් උපන් දිනයකටවත් එකතු වීම අපහසුයි. අද අපටම ස්වයං වාරන පවත්වාගෙන හුදෙකලාව ජීවත් වීමට සිදු වී තිබෙන යුගයක්.ඒ නිසා කොවිඩ් සමග ඇති වුන සීමාවන් මේ කාණ්ඩයේ දරුවන්ටත් යම් විදිහකින් බලපෑමක් ඇති කරනවා.

වයස අවුරුදු 10 සිට ඉදිරියට..

මේ වයසේ සිටින දරුවන්ටත් සමාජ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථාව කාලය විසින් අහිමි කරනවා.ඒ වගේම අධ්‍යාපනයේ රටාවත් වෙනස් වුණා. අද ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීමට සිදු වී තිබෙනවා.

මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයේ ගැටළු..

කාලයත් සමග බොහොම ආගන්තුක සහ අනපේක්ෂිත අවස්ථාවක ඔන්ලයින් ක්‍රමයට අධයාපනය ලැබීමට අපේ දරුවන්ට ලද අවස්ථාව නිසාත් යම් යම් ගැටලු ඇති වී තිබෙනවා.

  • ස්මාර්ට් දුරකථන නැති වීම.
  • අවශ්‍ය පහසුකම් සහ මුදල් පිලිබඳ ගැටලු
  • මෙම පහසුකම ඔස්සේ සම්බන්ධ වීමට දැණුවත්කමක් නැති වීම
  • ඇබ්බැහි වීම

මාර්ගගත අධ්‍යාපනය නිසාත් දරුවන් මුලින් සඳහන් කළ අන්දමේ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. එවැනි තත්වයන් සමහර දරුවන්ට මානසිකවත් ගැටලු සහගත වෙන්න පුලුවනි.

ඒ වගේම බොහෝ දරුවන් අන්තර්ජාලය සමග දිගු කාලයක් රැදී සිටීම නිසා යම්යම් රෝග තත්වයන්ටත් පත් වෙනවා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්..

වයස අවුරුදු 18 ට අඩු පිරිස අපි දරුවන් විදිහට සැලකෙනවා. නව යොවුන් වයසේ පසුවෙන මේ කාණ්ඩය හෙටක් ගැන යම් අවබෝධයකින් පසු වෙනවා. ඒ වගේම ඔවුන් මේ කාලය වෙන විට ජීවිතයේ අරමුනු සහ ඉලක්ක ගොඩ නගා ගන්නවා. නමුත් අද කොවිඩ් වසංගතය සමග පාසල, අතිරේක පංති, පැවැත්වීමට අවස්තාවක් නැහැ. අදාල විභාග අදාල දිනයන්ට පැවැත්වීම අපහසුයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයේ කාලරාමුව අද පවතින තත්වය සමග ගලපා ගැනීම අපහසුයි.විභාග කල් යෑම නිසා උසස් අධ්‍යාපනය, රැකියා අවස්ථා ආදි සියලු කටයුතුවල ඇති වෙන ප්‍රමාදය ගැන සෘනාත්මකව සිතන මානසිකත්වයක් ගොඩ නැගීම දරුවන් ලෙසින් එතරම් සුබවාදී නැහැ.

එහෙමනම් මොකද කරන්නේ..?

එක් පැත්තකින් වසංගත තත්වය..තවත් පැත්තකින් අනාගත බාරකරුවන්…මේ අතර මැද සිටින දෙමව්පියන්.වසංගතයෙන් වගේම දරුවන්ගේ පෞරෂය බිද වැටෙන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත්. 

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවා සමග ගණුදෙණු කරන්නේ කොහොමද..?

  • මේ ගෝලීය වසංගතයක් බැව් ඔවුන්ට පැහැදිලිව කියා දෙන්න. අතීතයේදීත් විටින් විට මෙවැනි ගෝලීය වසංගත තත්වයන් ඇති වූ බවත් ඒවා කාලය සමග දුරු වී ගොස් ජනජීවිතය යථා තත්වයට නැවත පත් වූ අන්දම ගැන පැහැදිලිව කියා දෙන්න.
  • ලැබුන විවේකය ආශිර්වාදයක් සේ සිතන්න…වසංගතයක් නිසා හෝ ලද විවේකයෙන් අතපසු වුන කටයුතු ඉටු කර ගැනීමට උනන්දු කරන්න. නැවත මෙවැනි විවේකයක් නොලැබෙන බවත් ලැබුන අවස්ථාව අපතේ නොයවන ලෙසින් සැලසුම් කිරීමට උපදෙස් දෙන්න.
  • විනෝදාංශයක් වෙනුවෙන් යොමු කරන්න.
  • සංචරනයට අවස්ථාව නැති බව ඇත්ත…ඒත් නිවස තුළ තිබෙන වපසරියේ ගෙවතු වගාවක් වැනි කටයුත්තක නිරත වෙන්න.
  • කාලය පිලිබඳ ප්‍රශ්න නිසා වෙනදා නොහැකි වුනත් දැන් ලැබුන කාලයේදී දරුවාගේ පෝෂණය ගැන උනන්දු වෙන්න.
  • ශාරිරික ව්‍යායාම වෙනුවෙන් දරුවන් උනන්දු කරන්න.

මේ අන්දමින් වසංගතය ගැනම දුක් නොවී වසංගතය නව ජීවන රටාවට අපේ ජීවිත අනුගත කර ගැනීමේ කලාව දරුවාට කියා දෙන්න.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහනුවර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ අරඹේපොල මහත්මිය

 

 

 


හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here