පෙනහලු ශක්තිමත් කිරීම සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමවල වැදගත්කම ඔබ දැන සිටියාද?

අපේ පෙනහලුවල ක්‍රියාකාරීත්වය ගැන විමසා බැලුවහොත් එහිදී සිදුවන්නේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ශරීරයේ සෛල ශ්වසනයට එක් කිරීමත්, සෛල ශ්වසනයෙන් බැහැර කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමයි. අපේ ආශ්වාසයේදී එනම් හුස්ම ගැනීමේදී වාතය ශ්වාසනාල හරහා පෙනහලු ගර්ත (බැලුන් වැනි) දක්වා ගමන් කරයි. එහිදී ඔක්සිජන් පෙනහලුවලට සම්බන්ධ රුධිර වාහිනීවලට උරා ගැනීම සිදුවෙනවා. එලෙසට ශරීරයෙන් බැහැර කෙරෙන කාබන්ඩයොක්සයිඩ් පෙනහලු තුළට විත් ප්‍රාශ්වාසයේදී පිට කරයි. අපි ආශ්වාස කරන්නේ පේශී ඉහිල් වීමෙන්ය.

හතිය, ඇදුම ආදී රෝග

වලදී ශ්වාස නාල පේශීවල තද ගතියක් ඇති වී දරදඬු ගතිය නිසා ශ්වාසනාල පේශී හොඳින් ඉහිල් නොවේ. එම තත්ත්වය ප්‍රාශ්වාසයට බලපායි. එම නිසා අපි ආශ්වාස කරන විට ගන්නා හුස්ම ප්‍රමාණයම ප්‍රාශ්වාස කිරීමේදී පිට නොවේ. ඇතුලේ ඉතිරි වන වාතය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වීම නිසා ශ්වසන වේගය වැඩි වේ. ඒ අපේ ශරීරයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය 100% ක් ලෙස තිබිය යුතුය.

ශ්වසන වේගය පාලනය කරන මොළයේ ඇති ශ්වසන මධ්‍යස්ථානය ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන විට එය සමබර කර ගැනීමට අදාල පුද්ලගයාට විනාඩියකට හුස්ම ගන්නා වාර ගණන වැඩි කරයි. එහිදී ශ්වසන වේගය වැඩි වේ. ප්‍රාශ්වාසයේදී අත් දෙක පපු කූඩුව මත තබා ඇතුළට තෙරපීමෙන් මේ පෙනහලු තුල ඉතිරි වී ඇති අපිරිසිදු වාතට පිට කිරීමට රෝගියාට උදව් වේ. හුස්ම හෙලන විට එනම් ප්‍රාශ්වාසයේදී පෙනහලු ඇතුලට තෙරපෙන විට අත් දෙක ගස්සවමින් නැතහොත් කම්පනය කරමින් බලයක් යොදන විට ශ්වාස නාල පේශිද ඉහිල් වේ. එවිට එහි ඇති දරදඬු ගතියද නැතිව යයි. මේ තත්ත්වයට කටින් හුස්ම එකවර පිඹීමද සුදුසුය. ගැඹුරට හුස්ම ගෙන ටිකක් දරා සිට එක්වර හුස්ම කටින් පිට කරන ගමන් පපු කූඩුව තෙරපන විට සෙම ස්‍රාවයද පිට වේ. හති ගතියද නැති වේ. හතිය ඇති විට ඔබ දන්නවා ඇති කෙනෙට කටින් පිඹීම අමාරුය. මෙය මැන ගැනීමට Peak flow meter සහ spiro meter වැනි උපකරණ භාවිත කරයි. එහිදී රෝගියා ලවා හුස්ම එහි ඇති බටයකට පිඹීමේදී ඒ බටයට සම්බන්ධ තව බට තුනක ඇති බෝල තුනක් එහි උඩට යා යුතුය. නිරෝගී කෙනෙකුට එසේ උඩටම යැවීමට හැකි වුවත් ඇදුම ඇති විට එය අපහසුය. 

කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ ව්‍යායාම කිරීමට අපහසු නිසා

  • නලා පිඹීම (මෙලෝඩිකා, බට නලා, මම්මා පප්පා නලා වැනි)
  • කඩදාසි ඔරුවක් වතුර බේසමකට දමා කටින් පිඹිමින් ඔරුව චලනය වීමට සැලැස්වීම
  • පත්තර තීරුවකට හුලඟේ යාමට පිඹීම වැනි ක්‍රියාකාරකම්ද සුදුසුය. 

පෙනහලුවල ධාරිතාව මනින මිනුම් ක්‍රම (Lung function test) රාශියකිග උදාහරණ ලෙස vital capacity, tidal volume Aspiratory reserve volume ආදී ලෙස දත්ත ගණනාවකි. මේ මිනුම් නිසි ලෙස පා කරවා ගැනීමට හුස්ම ගැනීමේ ව්‍යායාම සුදුසුය. 

අද වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් නිව්මෝනියා තත්ත්වයට පත්ව බොහෝ පිරිසක් මිය යන බව අප දන්නවා. කොවිඩ් තත්ත්වය පමණක් නොව වෙනත් වෛරස මගින්ද බැක්ටීරියා හෝ දිලීරයක් මඟින් ද නියුමෝනියා තත්ත්ව ඇති විය හැක. මෙම මරණ වළක්වා ගැනීමට නම් පෙනහලු ශක්තිමත්ව තබාගත යුතුය. මේ තත්ත්වවලදී ද හුස්ම ගැනීමේ ව්‍යායාම (Breathing exercises) වෙත යොමු වී පෙනහලු නිරෝගීව තබාගැනීමට හැකි නම් එය ඉතා වැදගත් වේ. 

Covid 19 වැනි රෝග වලදී රෝගීන්ට ඇති වන හුස්ම ගැනීමේ අපහසුතාවය පිළිබඳව ඇතැම් රෝගීන් විස්තර කරන්නේ දියේ ගිලෙන විට හුස්ම ගන්නා අපහසුවට සමාන බවයි. ඇතැමුන් හුස්ම ගන්නා විට පපුවට පිහියෙන් අනින විලාසයක් දැනෙන බව පවසයි. 

කෙසේ වුවද අද පවතින මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට හුස්ම ගැනීමේ ව්‍යායාම වෙත යොමු වී පෙනහලු ශක්තිමත් කරගැනීම වඩාත් වැදගත් වේ. සියලු දෙනා නිවසේදී පිරිසිදු වාතාශ්‍රය ඇති තැනක සිට හුස්ම ගැනීමේ ව්‍යායාම කළ යුතුය. හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් සෙම ඉවත් කිරීමද සිදු වේ. 

පෙනහලු ත්‍රිමානව ගත් විට තල තුනක් ඔස්සේ තම පරිමාව වැඩි කර ගනී. එනම් හුස්ම ගන්නා විට ශරීරයේ දෙපසට පෙනහලුවල පරිමාව වැඩි වන අතර ඉදිරියට හා පසුපසටද පෙනහලුවල බිත්ති ඇදී එම කාලයේදී පරිමාව වැඩි කර ගනී. තවද ඉහල පහළ තලය ඔස්සේ පරිමාව වැඩි කරගනී. 

අපි මේ තල 3 ම ඔස්සේ හුස්ම ගැනීමට හුරු වෙමු. 

  1. Lateral Costal breathing

තමාගේ අත් දෙක පපුව දෙපස තබා එම අත් දෙපැත්තට තල්ලු වන සේ හිතා හුස්ම ගන්න. එය දරා සිට (හැකි පමණ) කටින් හුස්ම පිට කරන්න. පිටකරන ගමන් අත් දෙකින් ඇතුළට පපු කූඩුව තෙරපන්න. මෙය වරකට 10 ක් පමණ දවසට 2 පාරක් කරන්න. 

2. Apical breathing

පපුව ඉදිරියේ අත් දෙක තබා එය ඉදිරියට තල්ලු කරමින් සිතා හුස්ම ගෙන ටිකක් දරා සිට කටින් පිට කරන්න. එවිගසට අතින් පපුව තෙරපන්න. 

3. Diaphragmatic breathing

උදරය මත අත් දෙක තබා උදරය ඉදිරියට තල්ලු වන සේ හුස්ම ගන්න. හුස්ම පිට කරන විට උදරය ඇතුලට තෙරපන්න. 

මේ හුස්ම ගැනීමේ ව්‍යායාම Localized breathing exercises ලෙසද හැඳින්වේ. 

ව්‍යායාම වෙත යොමු වී අත් හා පේශී ශක්තිමත් කරනවා මෙන්ම මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් ශ්වසන පේශී ශක්තිමත් කර ගත හැක. යම් හෙයකින් ඔබ නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වුවහොත් අසාධ්‍ය තත්ත්වයට පත් නොවී සංකූලතා අවමව සුව වීමට මේ ව්‍යායාම රුකුලකි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here