- Advertisement -

බලු පැටියෙක් ඇති කරනවා නම් මේ ගැනත් හිතන්න.

-

පරිසරය සමග සංවේදී වෙන දරුවන් සතුන්ට බොහොම කරුනාවන්තයි. එහි ඇත්තටම වරදක් නැහැ. එක් පැත්තකින් මෙය දරුවන් තුළ සහජයෙන්ම පිහිටන ඉතා හොඳ ගුණාංඟයක්. සතුන්ට ආදරය කරුනාව දක්වන දරුවා ලෝකයටම ආදරය දක්වනවා. නමුත් සතුන්ට ආදරය දැක්විම, සතුන් ඇති කිරීමේදී අපේ වගේම දරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්.

පසුගිය දිනක සමාජජාලා ඔස්සේ හුවමාරු වුන 16 හැවිරිදි දියනියගේ මරණය පිලිබඳව වූ සිදුවීම අසා ඔබත් මහත් සේ කම්පා වෙන්න ඇති. දරුවන් ඇති නැති , වැඩිහිටි වගේම දරුවන්ගේ පවා හිතකම්පා කළ මේ සිදුවීමෙන් අපටත් උගත යුතු පාඩම් කීපයක්ම තිබෙනවා.

- Advertisement -

බල්ලා පාරෙන් අහුලා ගෙන ඇවිත්..

දියනියගේ මරණයට හේතුව ජලභීතිකාව බැව් මරණ පරීක්ෂන වාර්තාවේ සදහන් බවත්, බල්ලා ඇය සපා කෑමක් හෝ සිරීමක් පවා නොකල බවත් එහි සඳහන් ව තිබුනා. නමුත් බල්ලා මිය ගොස් සති කීපයකින් පසුව දියනිය උණ රෝගයට ගොදුරු වීම සමග සිදු වුන ඇගේ මරණය අතර සම්බන්ධතාවය මරණ පරීක්ෂණ වාර්තාව මගින් සහතික කරන තෙක් ඇය ජලභීතිකා රෝගයට ගොදුරු වුන බවක් කවුරුත්ම හිතුවේ නැහැ.

හපා කෑම පමණක් නොවේ…

ජලභීතිකා රෝගය මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ  ක්ෂිරපායි වර්ගයේ අසාදිත සතෙකුගේ  ඛේටය (කෙළ)  මගින්. අවුරුදු දහසයක මේ දියනිය බල්ලා සමග ගත කළ කාලයේදී විෂබිජ ශරීරගත වෙන්න ඇති.නොදැනුවත්ම සහ සැලකිය යුතු නොවන තරම් මේ සිද්ධිය නිසා දියනිය ඉතාම අවාසනාවන්ත ලෙස මරනයට පත් වූ බැව් දැන් ඔබටත් ඒත්තු ගැනෙනු ඇති.

එහෙමනම්… මේ වගේ තවත් සිදුවීමක් ඇති නොවන්නට අප වග බලා ගත යුතුයි.

විශේෂයෙන් කුඩා පමණක් නොව නව යොවුන් දරුවන් පවා බල්ලන්, බළලුන් වැනි සතුන්ට බොහොම කරුණාවන්තයි. ඒ් නිසාම දැන් තමන්ගේ නිවසේ ඇති බලු . බළල් පැටවුන් නේවාසිකාගාර ඇති පාසල්, පන්සල්, වැනි ස්ථානයන්හි තබා යෑමට සතුන් ඇති කරන උනන්දුයි. ඔවුන් එසේ කරන්නේ සතුන් මේ පරිසරයේදී ආහාරපාන ලබා ගෙන තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම නිසා ඔවුන්ටත් එය යම් සහනයක් නිසාම වෙන්නත් ඇති.

ඒත්..මේ සතුන් එන්නත් කිරීමක් නැහැ..

මෙවැනි පරිසරයක හැදෙන වැඩෙන මේ සතුන් වෙනුවෙන් එන්නත් කිරීමක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ ඉතිහාසය ගැන වාර්තාවක් නැහැ. පළාත් පාලන ආයතන මගින් බල්ලන් එන්නත් කළත් අයිතිකරුවන් නොමැති බල්ලන් එන්නත් කිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් කිසිවෙකුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසාම මේ සතුන් නිදැල්ලේ හැසිරෙනවා.

යම් ලෙසකින් සපා කැමක්… හෝ සිරීමක් ඇති වුනොත්…

මෙවැනි සතුන්ට නිසි එන්නත් ලබා නොදීම නිසා ඔවුන් ආසාදිත වීම බරපතල ගැටළුවක්. ආසාදිත සතෙකුගේ ඛේටය (කෙළ) මගින් ඒ තැනැත්තා ජලභීතිකා රෝග තත්වයට පත් වීමට විහාල ඉඩක් තිබෙනවා.

බලු කපුටු දාන දෙන විටත්..

දැන් කාලයේ බොහෝ දෙනා බලු කපුටු දාන වෙනුවෙන් දක්වන කැමැත්ත නිසා නිදැල්ලේ යන බල්ලන්ට ආහාර ලබා දීමට වැඩි උනන්දුවක් දක්වනා. එහි කිසිම වරදක් නැහැ.නමුත් තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ආහාරපාන ලබා දීම ඉතාම වැදගත්. නිදැල්ලේ යන බල්ලන් ආහාර ලබා ගැනීමට පොර අල්ලන විට එයිනුත් ඔබට අනතුරු වෙන්න පුලුවනි. ඔබේ යහපත් චේතනාවම විටෙක ඔබට මාරාන්තික වෙන්නත් පුලුවනි.

සතුන් ඇති කරන්න කාටවත්ම තහනමක් නැහැ..

මේ අන්දමේ අවදානම් සාධක නිසා ඔබට නිවසේ බල්ලකේ, බළලෙක් හෝ වෙනත් ක්ෂිරපායි සතෙකු ඇති කිරීමට යම් බියක් ඇති වෙන්න පුලුවනි. එවැනි බියක් ඇති කර ගැනීමට නොව සතුන් ඇති කිරිමේදී එම සතුන් වෙනුවෙන් ආදරය, කරුණාව දැක්වීම වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ගැනත් අවදානය දක්වන්න.

එන්නත් පිලිබඳව වාර්තාවන් තබා ගන්න..

ඔබ සුරතල් සතෙකු ඇති කිරීමට උනන්දුවක් දක්වනවා නම් මුලින්ම සුනඛයා වෙනුවෙන් අවශය එන්නත් ලබා දෙන්න. ඒ සදහා පශු වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් ඔබට ලබා ගත හැකියි. ඒ වගේම සුරතලා වෙනුවෙන් ලබා දෙන වාර්තා පොත තබා ගැනීමත් වැදගත්.

සුනඛයෙකුට ලබා දියයුතු එන්නත් වර්ග 3ක් තියෙනවා .

1.Parvo

2. DHL

3. Rabies

මව නිසි පරිදි එන්නත් කර තිබේ නම්

මවගේ එන්නත් සටහන් ඉතිහාසය ගැන ඔබ හොදින් දැනුවත්නම් ,මව නිසි පරිදි එන්නත් කර තිබේ නම් එයින් සෑහීමට පත් වෙන්න එපා.

බලු පැටියට මුලින්ම සති 5-6 වයසේදී පාවෝ (Parvo)එන්නත ද දෙවනුව සති 8 දී DHLඑන්නත ද තෙවනුව සති 10 දී රේබීස් (Rabies)එන්නත ද ලබා දී වයස මාස 3 සම්පුර්ණ වූ පසු නැවත එම එන්නත් තුන ම පශු වෛද්‍ උපෙදෙස් අනුව ලබා දිය යුතුය. මෙම එන්නත් තුනම වාර්ෂිකව නැවත ලබා දියයුතුය. ඒ සදහා පශු වෛද්‍ය  උපදෙස් ඔබට ලබා ගත හැකියි.

නිදැල්ලේ යන බලු පැටවෙකු නම්..

ඔබේ පුංචි දුව,පුතාගේ කැමැත්තට හෝ නිවසේ ඇවිදින් පදිංචි වුන බලු පැටවෙකු ඇති කරනවා නම්  පශු වෛද්‍ය  උපදෙස් අනුව මාසයක් තුළ රේබිස් එන්නත ලබා දීම වැදගත්.වයස මාස තුන සම්පුර්ණ වූ පසු  දෙවැනි ජලභීතිකා මාත්‍රාව ලබා දීය යුතුය.

නිදැල්ලේ යන බලු පැටවෙකු පාවෝ සහ DHL එන්නත් ලබා දීම ද පශු වෛද්‍ය  උපදෙස්  අනුව කලයුතු වෙනවා.

එන්නත ලබා දුන් සැනින් ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ.

ඔබේ සුරතලා අද එන්නත් කළ පමනින් ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දින 28 ක් පමණ ගත වෙනවා. ඒ නිසා බලු පැටවා එන්නත් කළ පමනින්ම සෑහීමට පත් වෙන්න එපා.

බල්ලාගේ වෙනසක් දුටුවොත්..

පාචනය සමග රුධිරය පිටවීම / පමණට වඩා දුගඳක් සහිත පාචනය / සුනඛයා අධිකව විජලනයට ලක් වීම / අධික වමනය / අධික ලෙස මළපහ පිටවීම/ උදාසීන ගතිය / ආහාර අරුචිය / මුඛයෙන් සෙම/කෙළ වැටීම/ නාසයෙන් දියර ගැලීම / සෙම සහිත කැස්‌ස / ඇස්‌වලින් කබ ගැලීම, වලිප්පුව/සිරුරේ පසුපස කොටස අප්‍රානික වීම ලක්ෂණ ඇතොත් දරුවන්ගෙන් පැටවා ඈත් කරන්න.අදාල පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ඔබත් පවුලත් සුරක්ෂිත වේවි. තවත් මෙවැනි අවාසනාවන්ත මරණ ගැන අනාගතයේදී වාර්තා  නොවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article