බබා ලැබුණු අම්මාට බො‍් වෙන රෝගයක් හැදුණොත් මොකද කරන්නේ?

ජීවිතයේ සුන්දරතම සිහිනය සැබෑවන මොහොතේ හෝ ඒ ආසන්නයේ මවකගේ සිහිනයේ සුන්දරතම බව සමගින් වේදනාත්මක අත්දැකීමකට මුහුණදෙන්නට සිදු වුවහොත්, නොසිතූ විරූ ලෙස පැපොල, සරම්ප වැනි බෝවන රෝගයකට මුහුණදීමට සිදු වුවහොත්, සසල සිතින් මුත් අපි ඒ අභියෝගය ජයගන්නේ කෙසේදැයි විමසා බලමු.

දරු ප්‍රසූතියත් සමග අම්මාට පැපොල, ඇස් ලෙඩ වැනි බෝවන රෝගයක් වැළඳීම දරුවාට බලපාන්නේ කෙසේද, දරුවා ආරක්‍ෂා කරගැනීමට කළ යුත්තේ මොනවාද කියා දැනුවත් වෙමු.

පැපොල, ඇස් ලෙඩ වැනි බෝ වන රෝග වෛරස් ආසාදිත රෝග වන අතරම මේවා බොහෝ විට වාතය, බිඳිති ආසාදන මඟින් බෝවන්නක් නිසා එම විෂබීජයෙන් ඔබගේ දරුවා ආරක්‍ෂා කරගන්නේ කෙසේදැයි ඔබට ඇති අභියෝගයයි. 

වර්තමානයේ ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන COVID වසංගතයද මෙසේ බෝවන රෝගයක් වන හෙයින් අද මිනිසා ඉතාමත් පීඩාවට පත්ව ඇති අතරම එය වළක්වා ගැනීමට අප අනුගමනය කරන සෞඛ්‍ය පිළිවෙත් මෙහිදී ද ඉතාමත් ප‍්‍රයෝජනවත් වනුයේ පැපොල, ඇස් ලෙඩ වැනි රෝග තත්ත්වද මේ ලෙසම පැතිර යාමට සිදු වන හෙයිනි. 

මෙවන් රෝගයකට ලක් වූ මවක් ඇගේ ශරීරය තුළ එම රෝගයට එරෙහිව ඇතිවන ප‍්‍රතිශක්තිය මවට පමණක් සීමා නොවී දරුවාටද බලපැවැත්වීම මිනිස් දිවියේ ඇති වැදගත් තත්ත්වයකි. මේ අනුව මවට වැලදුන රෝගයට එරෙහිව දරුවා තුළද ප‍්‍රතිශක්තිය ගොඩැනැගේ. මේ සිද්ධිය සිදුවන්නේ කුස තුළදී නම් පෙකණිවැල හරහා පෝෂණ ධාරාවත් සමගම ප‍්‍රතිශක්ති ගුණය ද දරුවා වෙතට ගමන් කරන අතරම දරුවා ලැබීමෙන් පසුව නම් දරුවාට ලැබෙන මව්කිරි මගින් මේ ප‍්‍රතිශක්තිය දරුවාට හිමි වේ. මේ අවස්ථාවේ දරුවා ආසාදනයට ලක් වුවහොත් ලැබී ඇති ප‍්‍රතිශක්තිය හේතුවෙන් රෝගයෙන් දරුවා අසාධ්‍ය තත්ත්වය පත්වීම වැලකේ. මේ නිසා කුඩා බිළිඳුන්ට බරපතල පීඩා ඇති නොකරයි. පැපොල වැනි තත්ත්වයකදී කුස තුළදීම පැපොල ඇති වුවහොත් මවගෙන් ලැබෙන ප‍්‍රතිශක්තිය නිසා එය අසාධ්‍ය තත්ත්වයට පත් නොවේ. කුස තුලදී පැපොල සෑදුණු දරුවකුගේ ඇති කැලල් පිහිටීම මගින් එය තහවුරු කර ගත හැකි වුවද එය එපමණක්ම පමණක් වන අතර දරුවාට හානි සිදු නොවේ. 

මේවා බෝවන ක‍්‍රම හඳුනාගෙන ඒවාට වැට බැඳීම තුලින් මවගෙන් දරුවාට රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. 

මෙවැනි රෝග බෝවන්නේ පරිසරයට නිරාවරණය වන බිඳිති ආසාධන මගින් හෙයින් මෙම බිඳිති පරිසරයට මුදාහැරීම වළක්වා ගැනීමට අවශ්‍ය ක‍්‍රමවේද භාවිත කිරීම, පරිසරයේ විසුරුණු විෂබීජ දෙ අත්ල මත තැවරීමම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම තුලින්ම මෙම රෝග වළක්වා ගත හැකිය. මේ සඳහා මවක් විසින් අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙත් මනාව හඳුනා එය ක‍්‍රියාවට නැංවීම මගින් රෝග බෝවීම පාලනය කළ හැකිය. මේ සඳහා,

සියලුම ක‍්‍රියාකාරකම්වලට පෙර දෙ අත් හොඳින් සබන් යොදා නිවැරදි ලෙස තත්ත්පර 30 ක් වත් ගලායන ජලයෙන් සේදීම. මේ මගින් අත්වල තැවරුණු විෂබීජ, අත්ල, ඇඟිලිකරු, නියපොතු, අත්ලේ රේඛා, අත්ලේ පිට පැත්ත හා වැලමිට තෙක් සබන් යොදා හොඳින් අතුල්ලා සේදීම තුලින් විෂබීජ අත්ලෙන් ඉවත්වනවා සේම ගලායන ජලයද එම විෂබීජ නැවත අත්වල තැවරීම වළකාලයි. මෙය අපගේ බොහෝමයක් බෝවන රෝග මෙන්ම පණු රෝග ද පාලනය කිරීමට කළ හැකි හොඳම පිළිවෙතයි. 

මෙය 

  • කෑම පිසීමට පෙර
  • කෑම කැවීමට/කෑමට පෙර
  • සියළුට වැඩපල අවසානයේ
  • වැසිකිලි යාමෙන් පසු ආදී ලෙසින් සිදු කළ යුතුමයි.

මේ මගින් අත්වල තැවරී ඇති විෂබීජ නාසය, මුහුණ හෝ අසන්නයේ ගෑවීමකට ලක් නොවන හෙයින් රෝගය බෝවීම වැළකෙයි. 

මවක දරුවාගේ සියලු කටයුතු කිරීමේදී දරුවා, දරුවාගේ ඇඳුම් ඇතිරිලි හා අනෙකුත් උපකරණ අතගෑම සිදු කරන නිසා නිතරම මේ සියලු කටයුතුවලට පෙරදී දෑත් හොඳින් සේදීම කළ යුතු වනවා. එසේම මව දරුවා හා ගනුදෙනු කිරීමේදී මුව ආවරණයක් භාවිත කිරීමද ඉතා වැදගත්. මෙවන් ආසාදන තත්ත්වයක සිටින මවක නම් තම දරුවාට කිරි දීමට ප‍්‍රථමද තම දෑත් සේදීම අනිවාර්ය සේම මුව ආවරණයක් පැලදීමද ඉතා වැදගත්. ස්වභාවිකවම මවකගෙන් දරුවාට ලැබෙන ප‍්‍රතිශක්තිය නිසා දරුවා ආරක්‍ෂිත වන අතරම කිනම් හෝ අවස්ථාවක දරුවාගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු පවතින අවස්ථාවකදී මෙවැනි රෝග හැදුනද එය බරපතල අර්බුධයක් වන්නේ නැහැ. 

ඇස් ලෙඩ පවතින විට ඇස් පිල්ලම් හා ඇහි බැම අතර රැ‍ෙඳන ස‍්‍රාවයන් මවගේ අත්වල, ඇඳුම්, කම්මුල්, නාසය හෝ හිසකෙස් වල තැවරීම මගින් ඒවා දරුවා වෙතට සම්පේ‍්‍රෂණය වීමට හැකියාවක් ඇති නිසා දෑත් හොඳින් සේදීම ඉතා වැදගත් මෙන්ම කොටස් එල්ලා නොවැටෙන සේ වඩා විශාල නොවූ සැහැල්ලූ ඇඳුම් පරිහරණය කිරීමත් හිසකෙස් අවුල්ව නොවන සේ හොඳින් පීරා තදින් ගැට ගසා ගැනීමත්, මුව අවාරණයට අමතරව මුහුණු අවරණයක් හා හිසකෙස් සඳහා ආවරණයක් පැලඳීමත් ඉතා වැදගත් වෙනවා. 

දරුවා සමග කටයුතු කරන සෑම අවස්ථාවකම මෙවන් පියවර අනුගමනය කිරීමට මව උනන්දු කරවීමත් ඒ සඳහා මවට ධෛර්ය හා සහයෝගය ලබාදීමත් නිවැසියන්ගේ යුතුකමකි. ඇස් පිස දැමීම කරන විට ඒ සඳහා වෙනමම ලේන්සුවක්/ටිෂු භාවිත කිරීමත් ඒවා පිරිසිදු කිරීම/අපහරණය කිරීම විධිමත්ව පරිසරය නිරාවරණය නොවන සේ (වැසූ කසල බඳුනකට) සිදු කිරීමත් ඉතා වැදගත් වේ. 

මේ සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම මෙන්ම මෙවන් අවස්ථාවක මවගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සිතා මවට සහයෝගය දැක්වීම, උදව් කිරීම, ඇයගේ කටයුතු සඳහා සහය පළ කිරීම ඇය අතින් සිදුවන අඩුපාඩු දයාබරිතව පෙන්වා දී නිවැරදි කරගැනීමත්, පවත්වාගෙන යන්නා වූ යහපත් දෙය අගැයීමට ලක් කිරීමත් තුලින් ඇයගේ මානසික සෞඛ්‍ය නංවාලීමට අවශ්‍ය කටයුතු කිරීමත් නිවැසියන්, ඥාතීන්, අසල්වාසීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාර්ථක ලෙස මැදිහත් වීම ප‍්‍රයෝජන සහිත වනු ඇත. 

මාතෘත්වය හා බැඳුණු සියලු තන්හිදී මවට දක්වන සහයෝගය මතු අනාගත පරපුරට සිදු කරන මහඟු ආයෝජනයක් වන බැවින් අප සියලු දෙනාම නිරෝගී මෙන්ම රෝගී අවස්ථාවන්ට පත්වූ මව්වරුනට කායික, මානසික, සාමාජීය සෞඛ්‍යයට බලපවත්නා වූ සියලු අවස්ථාවන්හිදී ලබාදී  මවක, පියකු, ලබැඳි සොයුරියක සොහොයුරියක හෝ හොඳම මිතුරකු ලෙසින් සිට දක්වාන්නා වූ යහපත් ප‍්‍රතිචාරය මතු පරපුරේ වාසනාවට හේතු වනවා මෙන්ම දීර්ඝකාලීනව මව් දරු සබඳතාව යහපත් වීමට හෝතු වීම තුලින් සමාජ ගැටළු අවම වී සියල්ලටම සැනසුම් සහගත ලොවක් උදාවනවා නියතයි. 

සැමට නිරෝගී දිවියක් ලැබේවා..

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව මහත්මිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

 

 

 


 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here