- Advertisement -

ආහාර විස වෙන්නේ ඇයි…..

-

විශාල පිරිසකට ආහාර පිසින විට වගේම දුර ගමන් සංචාරයේ යෙදෙන විට අපි ගන්නා ආහාර විෂ වෙන අවස්ථාවන් ගැන නිතරම අපට අසන්නට ලැබෙනවා. පාසල් දරුවන්ගේ ආහාර වේල්, ඇගලුම් කම්හල්වල, වෙනත් උත්සව අවස්තාවන්හිදී ආහාර විෂ වීම ගැන පුවත් බොහොම සුලබයි. ඒ වගේම මේ තත්වය අද ඔවුන්ට නම් හෙට මටද විය හැකියි…ඒ නිසා ආහාර විෂ වීමට බලපාන හේතු කාරණාවන් ගැන දැණුවත් බවක් ලබා ගත්තොත් අපේ ආරක්ෂාව අපටම සලසා ගත හැකියි. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා විසින් 

ජීවත්වීමට ආහාර අවශ්‍ය බව ඇත්ත. එත් අපි ගන්නා ආහාර විෂ වීම නිසා ඇති වෙන මරණ පිලිබඳවත් අපිට නිතරම අසන්නට ලැබෙනවා. විශාල පිරිසක් එක්ව ආහාර ගැනීමේදී වගේම විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිළියෙල කරන අවස්ථාවන්හිදී මෙවැනි තොරතුරු අපිට වාර්තා වීම නිතරම සිද්ධ වෙනවා. ආහාර විෂ වීමට බලපාන කරුණු ගැන අපි දැණුවත් වුනොත් ආහාර විෂවීම නිසා ඇති වෙන ජීවිත අහිමිවීම් වලක්වා ගැනීම එතරම් අපහසු නැහැ.

- Advertisement -

ක්ෂුද්‍ර ජීවින් ආහාර සමග ශරීරගතව මුලින්ම හානි කරන්නේ මහ අන්ත්‍රවලට. මේ නිසා ආහාර ගැනීමෙන් පැය බාගයක සිට පැය තුනක් අතර කාලයේදී උදරයේ දැඩි අපහසුතාවයක් දැනෙනවා. ඒ සමගම හිසරදය,උණ , වමනය වැනි රෝග ලක්ෂණ පහල වෙන්නත් පුලුවන්. මේ තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එකම ආහාර විෂ වුනත් සමහර අය රෝග ලක්ෂණ කීපයක් පමණක් පෙන්වන අතර  තවත් අයට මරණය පවා සිද්ධ විය හැකියි.

විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිසින විට මේ තත්වය ඇති වෙන්නේ ඇයි….

විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිසීම සහ අනුභවය අතර සෑහෙන කාලයක් ගත වෙනවා. එය පැය හතරේ සිට පැය හයක් වැනි දීර්ඝ කාලයක්.මේ කාලයේදී බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ඇති වෙනවා. විශාල පිරිසකට ආහාර පිලියෙල කරන නිසා භාජන පවා ප්‍රමාණයෙන් විශාලයි. ඒවා කිලෝග්‍රෑම් පණහ හැටක් වැනි ප්‍රමාණයක්. එයින් පසුව පිසින ලද බත එම භාජනයේම නිවෙනවා. පැය කීපයක් යන විට මතුපිට බත් සිසිල් ගතියක් දැනුනත් ආහාර සමග භාජනයේ මධ්‍ය උෂ්ණත්වය ඒ ආකාරයෙන්ම පවතිනවා. සාමාන්‍යයෙන් භාජනයේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 65 ට අඩු උෂ්ණත්වයේ පිසින ලද සහල් ඒ භාජනයේම තිබෙන විට බැක්ටීරියා වර්ධනයට හිතකර තත්වයක් ඇති වෙනවා.

විනෝද හෝ වන්දනා චාරිකාවන්හිදී අපි ආහාර පිලියෙල කරන්නේ අලුයම පහට පමණ. ඒවා අනුභව කරන්නේ දවල් එකට දෙකට පමණ. මේ වෙන විට පැය දොළහක් පමණ ගත වෙලා. බොහෝ අය පිසින ලද ආහාර තබා ගන්නේ ගමන් ගන්නා වාහනයේ වහලය කොටසේ. එවිට ආහාර බහාලූ භාජනයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල නගිනවා. එතකොට බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා ආහාර නරක් වීමට පුලුවන්.

එහෙමනම්  දිගු ගමනක් යන විට සුරක්ෂිත විදිහට ආහාර ගබඩා කර ගන්නේ කොහොමද…..?

මේ වෙනුවෙන් හොඳම දෙය පිසින ලද ආහාර ශීතාගාරයක තැබීමයි.ඒත් විදුලිය වගේම මේ වෙනුවෙන් පහසුකම් අපේ රටේ සීමිතයි.දියුණු රටවල විදුලි බිල අඩු නිසා විශාල පිරිසකට පිළියෙල කරන ලද ආහාර ගබඩා කිරීමට ශීතකරන දෙකක් පමණ එම ස්ථානයන්හි තබා තිබෙනවා. අපේ ආහාර කොන්ත්‍රාත් ගන්නා ව්‍යවසායකයින්ට ඒ පහසුකම් නැහැ.

ඒ වගේම බාල වර්ගයේ භාණ්ඩවල ආහාර පිසීමත් මෙම විෂ වීමට බලපාන තවත් හේතුවක්. අද බහුතරයක්ම ආහාර පිසින්නේ ඇලුමිනියම් භාජනවලයි. දෙහි, විනාකිරි, අඹ, බීට්රූට් වැනි ආහාර මෙම ඇලුමිනියම් භාජනවල පිලියෙල කරන විට ඒවා රත්වීමේදී ඇති වෙන ප්‍රතික්‍රියාවන් නිසා සිරුරට ඇතුළු වෙන ආහාර විෂ වීමට පුලුවන්.තවත් කරුණක් තමයි, මේවා ආහාර පිසීමට පෙරාතුව නිසි විදිහට පිරිසිදු නොකිරීම. තැලුන ඇලුමිනියම් භාජනවල තැලුන ස්ථානයේ රැඳෙන ආහාර පල්වී ක්ෂුද්‍ර ජීවින් රැඳෙන නිසා ඒවා ආහාර සමග ශරීරගත වීමට පුලුවන්.

ආහාර විෂ වීමට බලපාන තවත් කරුණක් වෙන්නේ ප්‍රමිතියෙන් තොර බාල අමුද්‍රව්‍ය යොදා ගැනීමයි.ආහාර වෙනුවෙන් ටෙන්ඩර් ලබා ගැනීමේදී අඩු ටෙන්ඩරයේ අමුද්‍රව්‍ය වෙනුවෙන් අනුමැතිය ලැබෙනවා.ඔවුන් ලාභයක් ලැබීමට නම් ප්‍රමිතියෙන් බාල ද්‍රව්‍ය සැපයීම සිදු වෙනවා. අඩු මිළට හාල්, තේරී ඉතිරි වුන අල, ලූණු වැනි දේ සැපයීම මෙහිදී සිද්ධ වෙනවා.

පොල් කිරි යෙදූ ආහාර ඉක්මනින් නරක් වෙන ප්‍රවනතාවයක් තිබෙනවා. අපි පොල් කිරි යෙදූ ආහාර වෙනුවෙන් කැමැත්තක් දැක්වුවත් මිරිස් යෙදූ ආහාර වලින් සිද්ධ වෙන ක්ෂුද්‍ර ජීවි පාලනය පොල්කිරි යොදා ගත් ආහාර මගින් ඇති වෙන්නේ නැහැ.

ආහාර පිළියෙල කරන විට ඇති අපිරිසිදුබව බලපාන්නත් පුලුවන් නේද…?

ඔව්…. බොහෝ විට රාත්‍රි ආහාර පිළියෙල කරන විට අපි දකින්නේ එලවලු කපන ලෑල්ලෙම මස් කපනවා. මස් කපන ලෑල්ල එලවලු කපන්න යොදා ගැනීම අහිතකරයි. ඒත් මේ තත්වය සිද්ධ වෙන්නේ නැහැ. කොත්තු පිළියෙල කරන විට ඒවා තබන්නේ ප්‍රදර්ශනයට. මේ නිසා දූවිල වහනවා. සතුන්ගේ මල, මුත්‍රා වගේම සතුන් ගැවසෙන විට ආහාර වලට එකතු වෙනවා.

අපි බොහෝ උත්සවවලදී දකිනවා මැටි භාජනවල ආහාර උණුසුම්ව තබා ගැනීමට යටින් ඉටිපන්දම් දල්වා තිබෙනවා…මේ තත්වය ආරක්ෂිතද….?

මැටි භාජනවල සිදුරු තිබෙනවා. ඒවා ඇතුලට ආහාර සාමාන්‍යයෙන් ආහාර ගමන් කරනවා. මේවායේ ආහාර පිළියෙල කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ වෙනත් භාජනවල සකස් කරල මේ මැටි භාජනවල ප්‍රදර්ශනය කිරීමක්. භාජනයේ තිබෙන ආහාර රත් වෙන්නේ බැක්ටීරියා වර්ධනයට හිතකර සෙල්සියස් අංශක 65 ට අඩු උෂ්ණත්වයකයි. ඒ වගේම බොහෝ වේලා රත් වෙන විට බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ වගේම මැටි කුහර තුලට කාන්දු වෙන ආහාර භාජනය සෝදන විට විනාශ වෙන්නේ නැහැ. නිවසකදී නම් මැටි භාජනයේ ආහාර පිසීමේදී ඉහළ උෂ්ණත්වයේ රත් වෙන නිසා බැක්ටීරියා විනාශ වෙනවා. ඒත් හෝටල්වල තිබෙන්නේ ප්‍රදර්ශනාත්මකව නිසා ආහාර අහිතකර තත්වයට පත් වෙන ප්‍රවනතාවය වැඩියි.

මස් වර්ග පහසුවෙන් නරක් වෙන්න අවස්ථාව ඉහල නිසා බොහෝ දෙනෙක් පිටස්තර ස්ථානවලදී මස් ආහාරයට ගැනීමට බියක් දක්වනවා….එය සාධාරණද..?

මස් වර්ග පහසුවෙන්ම නරක් වෙන්න පුලුවන්.ඒවා පෝෂණ ඝනත්වයෙන් ඉහල නිසා ක්ෂුද්‍ර ජීවින් ආකර්ශනය වෙනවා. මස්, මාලු, කිරි, බිත්තර ආහාර ඉක්මනින් නරක් වෙන්නේ ඒ නිසයි. ඒ වගේම මේවායේ ආම්ලිකතාවය අඩු නිසාත් ක්ෂුද්‍ර ජීවින්ට හිතකරයි. අපි රාත්‍රි රසාදවලදී ආහාර ගැනීම බොහෝ වේලාවක් ගෙවන විට අනුභවයට සුදුසු තත්වය නොදැනීම නැතිව ගිහින්.

ඒ වගේම උත්සවයක් කියල අහිතකර විදිහට ආහාර අනුභවය එතරම් සුදුසු නැහැ. මගුල් ගෙවල් වගේම අපේ උත්සවවල කැවුම් කොකිස්, අලුවා  වගේම වෙනත් රසකැවිලි තිබෙනවා. මේවායේ තිබෙන්නේ පිෂ්ඨ, සීනි., පැණි, තෙල් වැනි සිරුරට අහිතකර දේවල්. මේවා ආහාරයට ගත්තාම ග්ලුකෝස් සාන්ද්‍රනය ඉහල යනවා.පොල්තෙල්වල තිබෙන්නේ 90% ත් සංතෘප්ත මේදය. කැවිලි බැදීමට පොල් තෙල් අනෙක් තෙල්වලට වඩා හොඳයි. රසය, වගේම වැඩි ප්‍රමාණයක් බැද ගන්න පුලුවන්. ඒත් එකම තෙලේ දහ දොළොස් වතාවක් බදින ආපනශාලා තිබෙනවා. 

උත්සවයකින් පසුව නිවසේ පිලියෙල කරන කැවිලි වර්ග අපි කල් තබා ගෙන ආහාරයට ගැනීමත් නුසුදුසුද…?

අපි කැවිලි වර්ග කල් තබා ගැනීමේදී ඒවායේ ඇති වෙන පුස් පිලිකා කාරකයි. ලෝකයේ අක්මා පිලිකාවන්ට හේතුවෙන ප්‍රධාන විෂ කාරකයක් වන aflatoxin පොල් ආශ්‍රිත නිෂ්පාදනයනගේ ඇති පුස්  මගින් ශරීරගත වෙනවා.කැවිලි මුට්ටියේ පුස් තිබුනොත් හොඳම දේ සියල්ලම ඉවත් කිරීමයි. අපි පුස් දැක දැක ඒ කොටස ඉවත් කරල ආහාරයට ගන්න අවස්ථා තිබෙනවා.පුස්වල තිබෙන බීජාණු ඇසට පෙනේනේ නැහැ. ඒවා කැවිලිවල සිට භාජනයේ පුරාම තිබෙන්න පුලුවන්. අපිට පෙනෙන්නේ පුස් මතුපිටට ආවිට පමණයි. ඒනිසා නොපෙනීම රසකැවිල්ලේ තිබෙන්න ඉඩ කඩ ඉහලයි. ඒ වගේම අපි දොදොල් , වඩේ වැනි කැවිලිවල තිබෙන තෙල් ගතිය ඉවත් වෙන්න පත්තර පිටුවක දවටන අවස්ථා තිබෙනවා. කිසිම වෙලාවක මුදි්‍රත අකුරු සහිත කඩදාසි ඒ සඳහා යොදා ගැනීම නුසුදුසුයි. මුද්‍රිත කඩදාසි අකුරු මගින් බැරලා්හ ශරීරගත වීමට පුලුවන්. ඒ නිසා නිතරම හිස් කඩදාසියක් ඒ වෙනුවෙන්  යොදා ගන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article