- Advertisement -

පුංචි පැටියා මොකද මේ කන ඇද ඇද අඬන්නේ… කන රිදෙනවා වත්ද?

-

දරුවෙක් අඬනකොට අම්මලාට නොහිතෙන දෙයක් නෑ. පුංචි දරුවෙක්ට හරියට තමන්ගේ අපහසුවක් කියන්න තේරුමක් නෑ. අන්න ඒ නිසාම අම්මලාට තේරුම් ගන්න වෙනවා දරුවා මොකද මේ එක දිගට අඩන්නේ කියලා. සමහර වෙලාවට බඩ රිදෙනවා ඇති. එහෙමත් නැත්නම් කන රිදෙනවා වෙන්නත් බැරි නැහැ. අපි අද දරුවන්ට ඇති වන කනේ ආසාදන ගැන කතා කරමු. 

කනේ ආසාධනයන් විදියට බොහොම වෙලාවට මැද කනේ ඇති වන ප‍්‍රදාහමය තත්ත්වය(inflammation) දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්වයට හේතුව වන්නේ බැක්ටීරියා.  ඕනෑම පුද්ගලයෙකුට කනේ ආසාධන ඇති වෙන්න පුළුවන් වුණත් දරුවන් අතර මේ තත්ත්වය වඩා සුලබයි. මැද කනේ ඇතිවන මෙම ආසාධනය මධ්‍යශ්‍රෝත දාහය (otitis media) ලෙස හඳුන්වනවා. 

- Advertisement -

ළමුන්ට හා ළදරුවන්ට ඇතිවන කනේ වේදනාව බාහිර හා මැද කනේ ආසාධන නිසා ඇතිවේ. මෙම වේදනාව දරුවා නොසන්සුන් කරන අතර සෙම්ප‍්‍රතිශ්‍යා ලක්‍ෂණ ද ඇති විය හැක. 

උදා: උගුරේ අපහසුව, සොටු දියර ගැලීම

ස්ථානය අනුව ප‍්‍රධාන ආසාධන වර්ග 2 කි. 

  1. මැද කනේ ආසාධන (Middle ear infection/Otitis media)

කන්බෙරය පිටුපස තරලය එකතු වීම නිසා කන්බෙරය ඉදිමීමකට/ඉහළට නෙරීමකට පත්වේ. වේදනාව ඇති වේ. කලාතුරකින් මෙම කන්බෙරය පුපරා යා හැක. එවිට කහ පැහැති තරලයක් කනෙන් වෑස්සේ. මෙම පුපුරා යාමෙන් පසු දරුවාට එකවර සුවපහසුවක් දැනේ. ඉදිරියට නෙරීම නවතී. පුපුරාගිය කන්බෙරය ප‍්‍රතිකාර නොමැතිව සුව වේ. මෙහිදී උණ ඇති වේ. 

2.බාහිර කනේ ආසාධන (Otitis external)

  • කනෙන් ශ‍්‍රාවයක් වෑස්සිය හැක. කන තුළ පිරුණු ස්වභාවයක් දැනේ. (කන් අගුල් වැටීම)
  • කන ඉදිමුන, රතු වූ ස්වභාවයක් ගනී
  • කන් ඇල්ලීම, චලනය වේදනාකාරියි
  • උණ ඇති විය හැක. 

කනේ ඇති වන වෙනත් ආසාදන තත්ත්ව ලෙස පහත අවස්ථා ද දැක්විය හැකියි

තීව‍්‍ර මධ්‍ය ශ්‍රෝත දාහය Haite Otitis media (AOM)

මෙය වඩා බහුලව ඇතිවන ආසාධනයකි. මැද කන කොටස මෙහිදී ආසාධනයට ලක්වන අතර මෙහිදී ඉදිමීමක් හා කන් බෙරයට පිටු පසින් තරලය එකතු වීමක් දැකිය හැක. මෙහිදී ඇති වන වේදනාව ”කනේ කැක්කුම” ලෙස (earache) පොදුවේ හඳුන්වයි. මෙහිදී දරුවාට උණ ඇතිවිය හැක. 

Otitis media with effusion

තරලය එකතුවීමත් සමග කනේ ආසාධන ඇති වේ. කන් බෙරය පිටුපස තරලය එකතු වේ. ලක්‍ෂණ නොපෙන්වයි. නමුත් විශේෂිත උපකරණයක් කනට ඇතුළු කිරීමෙන් කන් බෙරයට පිටුපස තරලය ඇති බව දැකිය හැක. 

Chronic Otitis media with effusion

තරලය එක්වීම සමග ඇතිවන කාලීන මධ්‍යශ්‍රෝත මැද කනේ දීර්ඝ කාලයක සිට තරලය එකතු වීමයි. වරින් වර තරලය එකතු වීම සිදු වේ. මෙහිදී ආසාධනයක් නොතිබුණද තරලය එකතුවීමක් දැකිය හැක. මෙහිදී ඇසීමට බලපෑම් ඇති විය හැක. 

 

කනේ ආසාධන තත්ත්වයකදී දරුවන් ළදරුවන් පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ

  • කන්පෙත්ත ඇදීම
  • සුවබර නින්දක් නොලැබීම 
  • ශරීර උෂ්ණත්වය වැඩිවීම (විශේෂයෙන් ළදරුවන්ගේ හා කුඩා ළමුන්)
  • කලබල කිරීම හා හැඩීම
  • කනෙන් තරලය ඉවතට ඒම
  • ශරීර සමබරතාවයේ ගැටලු
  • ඇසීමේ බාධාවන් ඇතිවීම

කනේ ආසාධන ඇති වීමට හේතූ

  • කනේ ආසාධනවලට බහුලවම හේතු වන්නේ බැක්ටීරියා වන අතර බොහෝ විට කනේ ආසාධන ඇතිවන්නේ උගුරේ ආසාධන, සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ ඉහළ ස්වසන කාර්ශ්වයේ ආසාධනයකින් පසුවයි. ඉහළ ස්වසන කාර්ශ්වයේ රෝග තත්ත්වයට හේතුව වූයේ බැක්ටීරියාවක් නම් මෙම බැක්ටීරියා මැද කන දක්වා පැතිරී යයි. 
  • ඉහළ ස්වසන කාර්ශ්වයේ රෝග තත්ත්වයට හේතුව වයිරසයක් නම් උදාහරණ ලෙස සෙම්ප‍්‍රතිශ්‍යාව ඊට දෙවනුව ද්වීතියීක ආසාධනයක් ලෙස බැක්ටීරියා ආසාධනයක් ඇති වේ. මීට හේතුව වන්නේ කන් බෙරය පිටුපස එක්වී ඇති තරලයෙහි මෙම බැක්ටීරියා වර්ධනය වීමයි. 

වැඩිහිටියන්ට වඩා ඉක්මණින් ළමුන්ට කනේ ආසාධන ඇතිවීමට හේතූ

  • යූෂ්ටේකීය නාලය ළමුන්ගේ වැඩිහිටියන්ට වඩා කුඩා වීම හා මට්ටම් වීම එයට හේතුවයි. මේ නිසා එහි ඇති ශ‍්‍රාවයන් ඉවතට ගලා ඒමට අපහසු වීම සාමාන්‍ය තත්ත්වයේදී වුවද මෙම පිහිටීම නිසා නොහැකි වේ. එසේම සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ වෙනස් ස්වසන රෝගවලදී ශ්ලේෂ්මය මගින් අවහිර වීම හෝ යූෂ්ටේකීය නාලය ඉදිමීම සිදුවුවහොත් එහි ඇති තරලය ඉවතට ගලා ඒමට නොහැකි වේ. 
  • ළමුන්ගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තවමත් වර්ධනය වන අවස්ථාවේ පසුවන නිසා ආසාධනයන්ට එරෙහිව සටන් කිරීමට තරමක් අසීරු වේ. 
  • ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ කොටසක් ලෙස ඇසිනොයිඩ බැක්ටීරියා නාසය හා මුඛය හරහා ගමන් කිරීම සඳහා අනුකූලතාවයක් දක්වයි. සමහරවිට බැක්ටීරියා මෙම ඇසිනොයිඩ වල රැඳුන විට එමගින් කාලීන ආසාධන ඇති කරවන අතර ඒවා යූෂ්ටේකීය නාලය හා මැද කන දක්වා ගමන් කරයි. 

රෝගය විනිශ්චය කිරීම

  1. වෛද්‍යවරයා විසින් සායනික ඉතිහාසය පිළිබඳ තොරතුරු ගැනීම
  • මෑතකදී සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ උගුරේ ආසාධන පැවතුනිද
  • කන් පෙත්ත ඉවතට ඇදීමක් කරයිද
  • නින්දට බාධා ඇතිවෙයිද

මෙම ප‍්‍රශ්න වලට ලැබෙන පිළිතුරු සලකා බලා කන පරීක්ෂා කරන උපකරණය මගින් කන් බෙරය නිරීක්‍ෂණය කොට රතු වූ, ඉදිමුණු කන් බෙරයක් පවතී නම් ආසාධන ඇති බවට නිගමනය කරයි. 

2. වෛද්‍යවරයා විසින් pneumatic otoscope නම් උපකරණය ආධාරයෙන් වායු ධාරාවක් ශ‍්‍රවණ නාලයට තුලට පිඹියි. මෙමගින් කන් බෙරයට පිටුපස තරලය ඇති දැයි දැනගැනීමට හැකිවේ. සාමාන්‍ය කන්බෙරයක ඉදිරියට හා පිටුපසට පහසුවෙන් චලනය වන අතර තරලය ඇත්නම් චලනය අපහසු වේ. 

3. Tympanometry

මෙහිදී ශබ්ද ධ්වනියක් (sound tune) සහ වායු පීඩනයක් මගින් පරීක්‍ෂණ සිදු කරයි. මෙය සිදු කරන්නේ ඉහත ක‍්‍රම දෙකම ආසාර්ථක වූ විටය. Tympanometer යනු කුඩා මෘදු පේනුවක් වන අතර එහි කුඩා මයික්‍රෝෆෝනයක් හා ස්පීකරයක් අඩංගු වේ. එමගින් කන තුල විවිධාකාරයේ වායු පීඩනයන් යවා විවධ පීඩනයන් යටතේ කන් බෙරයෙන් නම්‍යතාවය පරීක්‍ෂා කරයි. 

කනේ ආසාදන තත්ත්වවලදී ලබා දෙන ප‍්‍රතිකාර

  • පවතින තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් Amoxicillin වැනි ප‍්‍රතිජෛවක ඖෂධ නියම කරයි. ඒ වගේම ප‍්‍රතිජෛවක බිංදු ලෙස කනට දැමීමට ද ලබා දිය හැකියි. 
  • වේදනා නාශක ලබාදීම. කනට බිංදු දැමීම (ear drops) මෙමගින් උණ හා වේදනාව අඩු කරයි. 

කනේ ආසාදන තත්ත්ව වළක්වා ගැනීම

  • එන්නත් කිරීම – (pneumococcal conjugate vaccine)
  • අත් හොඳින් සේදීම- සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ ඇතිවීම වළක්වයි. 
  • දරුවන් සිගරට් දුමට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම (අධ්‍යයනයක් මගන් ඔප්පු කර ඇත්තේ දුම් බොන්නන් ආශ‍්‍රිතව සිටින දරුවන්ට කනේ ආසාධන වැඩි බවයි) 
  • රෝගී දරුවන්ගෙන් ඔබේ දරුවා ඈත් කර තබන්න. 
  • කෙටි නින්දකට වුවද බිම නිදි කරවීමෙන් වළකින්න. 
  • දරුවාට මව්කිරි ලබාදීම – මව්කිරිවල අඩංගු වන ප‍්‍රතිදේහ මගින් කනේ ආසාධන ඇතිවීමේ අවදානම අඩු කරයි. 

කනේ ආසාධන ඇතිවීමට වැඩි අවධානමක් ඇත්තේ, 

  • වයස අවුරුදු 5ට අඩු දරුවන්
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැදෙන දරුවන් (සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමේ ප‍්‍රවණතාවය වැඩි නිසා) 
  • ආසාත්මිකතා ඇති දරුවන්
  • සිගරට් දුමට නිරාවරණය වන දරුවන් 
  • මව්කිරි ලබා නොදෙන දරුවන්
  • බෝතලය මගින් කිරි බොන දරුවන්
  • විදිලිත තල්ල (Cleft palate) සහිත දරුවන්

වෛද්‍ය උපදෙස් ගත යුත්තේ

  • තදබල ලෙස වෛද්‍යමය ගැටලු පවතී නම්
  • රෝගී ස්වභාවය
  • වරින්වර වමනය ඇති වේ නම්
  • මාස 6 ට වඩා අඩු දරුවෙකු නම්
  • පැය 48 වඩා උණ පවතී නම්
  • කන පිටුපස ඉදිමීමක් තිබේනම්
  • දරුවා තදබල ලෙස නිදිමත ගතියකින් පෙළෙයි නම්
  • දරුවා නුරුස්සනා ස්වභාවයක් පෙන්වයි නම්
  • සමේ දදයක් පෙන්වයි
  • ශ්‍රවණ ගැටලු ඇත්නම්

ප‍්‍රතිකාරවලදී ප‍්‍රතිජෛවක ලබාදෙන්නේ, 

  • 390C ට වඩා ශරීර උෂ්ණත්වය අධික නම්
  • තදබල වේදනාවක් පවතියි නම්
  • පැය 48 ගත වූවත් මෙම තත්ත්වයේ වෙනසක් නොමැති නම්
  • ශ‍්‍රවණ නාලයේ අලුතින් තරලය ඇත්නම්

 

තම වේදනාව, අපහසුව පැවසීමට නොහැකි දරුවෙක්ට හේතුවක් නොපෙන්වා උණ ඇති වේ නම් නොසන්සුන් බව/කලබල පෙන්වයි නම් වෙනදා මෙන් එක දිගට නිදා නොගෙන වරින් වර අවදි වේ නම් කන් පෙත්ත ඉවතට අදියි නම් කන් ඇසීමේ අඩු බවක් පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article