- Advertisement -

දරුවන්ගේ මාලිමාව අහිමි කරන්න එපා

-

දරුවන්ගේ පරිකල්පන ලෝකය තේරුම් ගැනීමේදී ඔවුන් වටා තිබෙන සංකේත ලෝකය තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ සංකේත ලෝකය පුළුල් වෙන්න පුළුල් වෙන්න පරිකල්පන ලෝකයේ සීමාව පුළුල් වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සතුට වැඩියි. මන්ද වැඩිහිටියෝ වගේ ඔවුන් සිතන පතන කිසිම දෙයක් කප්පාදු නොකරන නිසයි. ඒ කියන්නේ සංස්කරණය වූ සිතුවිලිවලින් තොර මේ දරුවන්ගේ  රූප පිරිසිදු විදියට එකට සමපාත වෙනවා. උදාහරණයක් විදියට කුඩා දරුවෝ පාට පෙට්ටියෙන් වැඩියෙන්ම ගන්නේ දීප්තියෙන් වැඩි වර්ණ. ශෝකජනක සිදුවීමක් වුවත් ළමයින්ට දීප්තියෙන් වැඩිම වර්ණ ඕනේ වෙනවා එය නිර්මාණය කරන්න. චිත්‍ර අඳින පොඩි දරුවන් සමග වැඩ කිරීමෙන් කුඩා දරුවන් හිතන විදිය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ දරුවන් සතුට අනුභව ආකාරය හරිම රසවත්. ලෝකයේ දියුණුම වැඩේ වෙන්න ඕනේ දරුවන් සම්බන්ධව තීරණ ගැනීමයි, ළමා මනසේ විද්‍යාව අනුව, එය දියුණු ආකාරයට තේරුම් නොගත්තොත් පරම්පරා ගණනාවක් මුල් අහිමි වූ පරම්පරාවක් වී බිහි විය හැකියි. 

දරුවන් කුරුටු ගාන විදිය සහ සංකල්ප රූප මවන ආකාරය අවධි හයකට බෙදිය හැකියි.

- Advertisement -

(01).අවරුදු 2 සිට 4 දක්වා – Scribbling

(02) අවරුදු 4සිට 7දක්වා – Pre – schematic 

(03)අවරුදු 7සිට 9දක්වා – Schematic 

(04) 9 සිට 11 දක්වා – Drawing realism 

(05) අවරුදු 11 සිට 13 දක්වා – Pseudo-realism 

(06)අවරුදු 13 සිට 17දක්වා – Stage of decision 

 

පැබ්ලෝ පිකාසෝ වරෙක මෙසේ ප්‍රකාශ කළා.

මට වයස අවුරුදු 16දි රෆායල් වගේ අදින්න පුළුවන් වුණා , ඒත් දරුවෝ චිත්‍ර අඳින්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මට මගේ මුළු ජීවිත කාලයම අවශ්‍ය වුණා. “

පිකාසෝ කියන්නේ කලා ඉතිහාසය තුළ ඇකඩමියාව තුළ පිළිවෙළට දේවල් හදාරලා ඔහු විසින්ම එය විසංයෝජනය කරපු සිත්තරෙක්. නිදහසේ සිතීමත්, නිදහසේ ඇඳීමත් එකතු වූ තැන දරුවෙකුගේ ළමා මනස හරි අපූරුවට ඒ තුළ අන්තර්ගත වෙනවා.

දරුවෙකුගේ සංකේත ලෝකය තුළ සුන්දර වස්තු වැඩියි. සතුට වැඩියි. අපි අපේ හිත් වල පුරෝගෙන ඉන්න බර පැස්ටල් කූරුවලින් එළියට එනවා. පොඩි පැටවුන්ගේ හිත් හරිම නිර්මලයි, බලෙන් දාර්ශනික වෙන්න යන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රකාශනාත්මක බව පැහැදිලියි. චිත්‍ර වගේ විෂයක් දරුවන් සමග හුවමාරු කරගැනීමේ දී සිදු විය යුත්තේ ඉගැන්වීමට වඩා ඒ දරුවාට අදාල පරිසරය සකස් කර දීමයි.

දරුවා, කලාව සම්බන්ධ පරිසරයකට ඇතුළු වී එහි සැරිසරනවා. ඔවුන්ට ඒ තුළ නිදහසේ සැරිසරන්න ඉඩ හරින්න ඕනි. තීන්ත ඇගේ ගාගන්න, කොළ ඉරන්න, කපන්න, අලවන්න,දේවල් ගොඩනගන්න, පාට තවරන්න, මඩ අතගාන්න මෙන්න මේ වගේ ව්‍යූහයකට ඇතුළු කළාම ඒ ව්‍යූහයේ ගුණයන් ටික ඇඟට එනවා. ඊට පස්සේ ඒ ව්‍යූහයේ ගුණයන් ඔවුන් කරපින්නා ගන්නවා. ඊට පස්සේ ඔවුන් හීන දකින්නේ ඒකෙන්. නිදහස් ඇඳීමත් නිදහස් සිතීමත් තුළ තිබෙන නිදහසමයි, පොඩි දරුවන්ගේ චිත්‍රවල තියෙන්නේ. ඒ කියන්නේ පිරිසිදු අර්ථයෙන්ම තියන බව අපට කිව හැකියි. චිත්‍රය කියන්නේ දරුවාගේ ජීවිතය කියවන කැඩපත. සමහර වෙලාවට ගෙදර බිත්තිවල දරුවෝ චිත්‍ර අඳින එක වැරැද්දක් හැටියට දකින්න  වැඩිහිටියෝ පෙළඹෙන අවස්ථා තියෙනවා. ඒක ටිකක් බරපතල කාරණාවක්. 

දරුවෝ ගෙදර බිත්තිවල චිත්‍ර අඳින එක වැරදිද?

කොහොමද ඒක වැරදි වෙන්නේ? දරුවෝ කියන්නේ දරුවන්ට. වැඩිහිටියෝ නිසා මේ ලෝකෙට ආපු අහිංසක පිරිසිදු කොට්ටාශයක් තමයි දරුවෝ කියන්නේ. ඉතිං අපි දෙමව්පියන් හැටියට ඒ දරුවන්ට බිත්තිය කිළිටි කරන්න එපා කියනවා නම් ඒ වෙනුවෙන් වෙන යම් මතුපිටක් සකස්කරන්න වෙනවා. කුඩා කාලයෙන් පස්සේ දරුවා බිත්තිවල හෝ තමන්ගේ උසට සරිලන සෑම තැනකම බලි කුරුටු ගාන එක නවත්වනවා. නමුත් ඒ වයසේදී ඔවුන්ගේ ආශාව කප්පාදු කළොත් ඔවුන්ට අහිමි වන දෙයට අපිට කවදාවත් වන්දි ගෙවන්න බැරි වෙයි. කුඩාම කාලයේ රේඛාවලින් කුරුටු ගාන දරුවා පසුව වර්ණවලින් ලස්සන චිත්‍ර හදන්න පුරුදු වන වැඩ බිම තමයි ගෙදර බිත්තිය හෝ කුමන හෝ අවකාශයක් කියන්නේ. බිත්ති කිළිටි වුනාට දරුවා පිරිසිදු වෙනවා, දියුණු වෙනවා, සතුටු වෙනවා. බිත්ති කිලිටි වෙනවා නම් ඒ වෙනුවෙන් විකල්පයක් සකසන්න වෙනවා. සමහර වෙලාවට පුංචි කාලයේ දරුවන් තුළ එකතු වන දේවල් පොලා පනින මොහොත හා ස්වරුපය තමන්ට පුංචි කාලයේ අහිමිවන දේවල් අනුව වෙනස් වෙනවා.

කලාවට ආශාවක් තියන අයට උත්තේජනයක් ලබා දීම වැදගත්. ඒ නිසාම අපි ඔවුන්ට අවකාශයක් නිර්මාණය කළ යුතුය. ලොකු පොඩි හැමෝටම art සහ life දෙස රසයක් ඇතිව බලන්න පුරුදු කරන අවකාශයක් හැදීම ඉතා වැදගත්. ඒ අවකාශය තුළ තමයි දරුවන් නිදහස් වන්නේ . විශේෂයෙන්ම වැදගත් වන්නේ දරුවන් දෙස දරුවන් ලෙස දකින්න උත්සහ ගැනීමයි. ගොඩක් වැඩිහිටියෝ දරුවන් දෙස බලන්නේ වැඩිහිටියන්ගේ මානසික ලෝකය හරහා. අපිට දරුවන්ව තේරුම් ගන්න නම් ඔවුන් හිතන විදිය ස්පර්ශ කළ යුතු වෙනවා. අපේ ආශාව අයින් කරලා දරුවන්ගේ ආශාව දෙසට අපි හැරෙන්න ඕන. ඒ වෙනුවෙන් කාලයක් හදාගැනීම ඔක්කොටම වඩා වැදගත්. මේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා තේරුම් ගන්න අමාරුයි. ක්‍රමය බලවත් වෙලා දේවල් වෙනස් කරලා තියෙන්නේ. වැඩිහිටියන්ගේ ආශාව දරුවන් තුළින් දකින්න උත්සහ ගන්න කාලයක් මේක. ඉතිංදරුවන්ගේ ළමා කාලය වැඩිහිටියන් වෙනුවෙන් තරග කරන කාලයක් බවට පත් කරලා. සමහර දෙමව්පියන් දරුවන්ට චිත්‍ර උගන්වන්න හදන්නේ චිත්‍ර තරගවලින් ජයග්‍රහණ ලබා දෙන්න. තේරෙනවා නේද ප්‍රශ්නය කෙතරම් බලවත්ද කියල? ගොඩක් වැඩිහිටියන් සහ ගුරුවරුන් දන්නේ නෑ දරුවන්ව අගයන්න. එයාලව වර්ණනා කරන්න. ඒක පුංචි දරුවෝ වෙනුවෙන් විශේෂ කාරණාවක් බව අමතක කරන්න එපා

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන

 චිත්‍ර කලාවේදී ප්‍රගීත් රත්නායක මහතා

 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චිත්‍ර කලාවේදී ප්‍රගීත් රත්නායක මහතා

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article