- Advertisement -

දරුවාට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද?

-

අම්මා තාත්තා මට ආදරේ නැහැ….මේ බොහෝ දරුවන්ගේ හිතේ ඇති වෙන මානසික තත්වයක්. ඒ වුනත් හැම මවක් පියෙක්ම තමන්ගේ දරුවාට පණටත් වඩා ආදරෙයි කිව්වොත් නිවරැදියි.නමුත් මෙතැන ඇති හිස්තැන කුමක්ද…? දෙමව්පියන්ගේ ආදරය දරුවාගේ හදවත ආමන්ත්‍රණය නොකිරීමයි.එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ මේ වැරැදි නිවරැදි කර ගන්නේ කොහොමද…?

දරුවාට දැනෙන්න ආදරය කරන්න…

- Advertisement -

ආදරය තිබෙන්නේ හිතේ බව ඇත්ත. ඒත් හිතේ තිබෙන ආදරය දරුවාට දැනීම ඉතාම වැදගත්.ඒ නිසා නිතරම දරුවාගේ මානසික නිරෝගිතාවය වෙනුවෙන් ඔබ දරුවාට ආදරය බව දැනෙන්න ඉඩ දෙන්න. දරුවා සමග කාලය ගත කරන්න, සෙල්ලම් කරන්න. සිප වැළඳ ගන්න.

පුංචි වුනත් ගෞරවය වැදගත්…

දරුවා පුංචි වුනත් ඔවුන්ටත් ආත්ම ගරුත්වයක් තිබෙන බව අමතක කරන්න එපා. බොහෝ දෙමව්පියන් විසින් නොදැන කරන මේ කටයුතු නිසා දරුවා මානසිකව බිඳ වැටෙනවා. දරුවාට යම් ගරුත්වයක් පවුල තුලින්ම ගොඩ නැගෙන්න ඕන. ඔබ නිතරම දරුවා නිගරුවට පත් කරනවා නම් අම්මා…තාත්තා මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතේ නොදැනීම ගොඩ නැගෙනවා. එය නැවත ගොඩ නැගීමත් එතරම් පහසු නැහැ.

සහයෝගය දෙන්න..

දරුවාගේ වයස සහ ඔබේ වයස අතර ලොකු පරතරයක් තිබෙන බව ඇත්ත. නමුත් දරුවාගේ කටයුතු නිසා විටෙක ඔබ දරුවාගේ තැනට පත් වීම වැදගත්. ඒ අන්දමින් දරුවාගේ කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වීම ඉතාම වැදගත්. අපේ අම්මා…තාත්තා..මා සමග සිටින්නේ මට ආදරේ නිසා බැව් දරුවා එවිට ඒත්තු ගන්නවා. එය ඉතාම සුබවාදී  තත්වයක්.එතැනින් ඔබ්බට දෙමව්පියන් මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතට ඇති වෙන්නේ නැහැ.

දරුවාට ශක්තියක් වෙන්න…

දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවාට ශක්තියක් වීම වැදගත්. ඔවුන්ගේ ජයග්‍රහණවලදී සතුටු වීම වගේම පරාජයන් ඉදිරියේදී ඔවුන්ට වැටෙන්නට ඉඩ නොදී රැකගැනීම ඉතාම වැදගත්. පරාජය දරා ගැනීම දරුවාට අපහසුයි.

නමුත් අද බොහෝ විට සිදුවන්නේ දරුවන්ගේ පරාජයන් ඉදිරියේදී ඔවුන්ටත් පෙරාතුව දෙමව්පියන් මානසික වැටෙන නිසා දරුවන් වෙනුවෙන් ශක්තියක් ඇති කිරීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ.

දොස් නැගීම පලක් නැත..

දරුවන් බොහෝ විට ඔබ අකමැති දේ කිරීම සාමාන්‍ය තත්වයක්. ඔබේ ප්‍රතිචාර නිසා දරුවා සහ ඔබ අතර පවත්නා ආදර බන්ධනය පවා දුරස් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මනෝවිද්‍යත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්.විටෙක ඔබේ අවධානය දිනා ගැනීමට අවශ්‍ය වූ විටත් දරුවා විවිධ හැසිරීම් වෙත යොමු වෙන අවස්ථාවන් තිබෙනවා.එවන් අවස්ථාවලදී අනවශ්‍ය ලෙසින් කෝප ගන්න එපා.

අම්මා පුතාට ආදරෙයි…පුතා අම්මට ආදරෙයි නම් අම්මා එපා කියන දේවල් කරන්නේ නැහැ..ආදි ලෙසින් දරුවාගේ හදවතට සමීප වෙන්න.

ප්‍රසිද්ධියේ සමච්චල් එපා..

ඇතැම් දෙමව්පියන්ට දරුවන්ගේ අඩු පාඩු දුර්වලකම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් විනෝදයක් ලබා ගැනීමේ දුර්වල මානසිකත්වයක් තිබෙනවා. ඔබ නොදැන කරන මේ කටයුත්ත දරුවාට යම් පිඩාකාරි තත්වයක් ඇති වීමට පුලුවනි.විකෙ දරුවාගේ ගොත ගැසීමක්…එහෙම නැත්නම් දරුවා කලුවරට…සතුන්ට දක්වන බිය ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කිරීම එතරම් සුදුසු නැහැ.

සසඳන්නත් එපා…

ඔබේ දරුවාගේ වයසට සාපේක්ෂව බලන විට සෙසු දරුවන්ට වඩා ඔබේ දරුවා ඉතාමත් දුර්වලයෙක් ලෙසින් ඔබට හිතෙනු ඇති. නමුත් එවැනි උපකල්පන ගොඩ නගා ගැනීම කොහෙත්ම නොකල යුතුය. ඔබට සාපේක්ෂව තවත් අයෙකු ගැන හිතන්න. ඔවුන් ඔබට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු ඇති.දරුවාත් ඊටම සමාන බව හිතන්න. ඒ නිසා වෙන දරුවන් සමග සසදමින් ඔබේ දරුවාගේ ආත්ම අභිමානය බිඳ දැමීම කිසිදු ලෙසින් කළ යුත්තක් නොවේ.

ප්‍රශංසාවටත් කැමැතියි…

දරුවන් ප්‍රශංසා ලබන්න කැමැති කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අගයන්න. ඒවාට ප්‍රශංසා කරන්න. දරුවා විසින් නිවස අතුගා ඇත. ඒත් බොහෝ අඩුපාඩු ඒ අතර තිබුනත් මුලින්ම අඩුපාඩු ගැන ඇගිල්ල දිගු කරන්න එපා. දරුවා විසින් කළ දේ ගැන අගයන්න. දරුවාගේ හිතේ සතුට එතැනයි.එතැනින් පසුව අඩු පාඩු කියා දෙන්න. පුතා අනිත් දවසේ අතුගාන කොටකෛාස්ස දාලා ඇඳ ඇතුලේ කුණු ටිකත් පිටතට ගන්න…පුතා ලස්සනට අතුගාලා…අම්මට හරි සතුටුයි…මේ විදිහට දරුවා අගයන්න.

පුංචි වුනත් පුංචි තීරණ ගැන අහන්න..

ඔබේ පුංචි දරුවා හැමදාම අම්මට තාත්තට පොඩිත්තෙක්. ඒ නිසා හය හතර නොතේරෙන පොඩි පැටියාගෙන් තීන්දු තීරණ ගැනීම ගැන විමසීම අවශ්‍ය නැතැයි ඔබ සිතනු ඇති.ඊටත් ඔවුන්ට ඒ ගැන දැනුමක්, තේරුමක් නැතැයි ඔබ විසින්ම උපකල්පනය කරනු ඇති.

නමුත්…පවුලේ යම් තීරණයක් ගැනීමේදී දරුවාගෙන් විමසන්න. ඒ ගැන එතරම් වෙහෙසෙන්න එපා. දවල් ආහාරය සූදානම් කරන විට අද මොනවද උයන්නේ…මෙන්න ගෙදර තියෙන එලවලු..පුතා තෝරන්න අද අපි මොනවද දවල්ට උයන්නේ..

මෙතැනදී දරුවා ගොටුකොළ සහ මුකුණුවැන්න යන දෙකම තෝරා ගත්තා යැයි සිතමුකෝ..එවැනි අවස්ථාවකදී පුතේ මේ දෙකම මැල්ලුම්.ඒ නිසා මෙතැනින් එකක් ගනිමු. දැන් මේ දෙකෙන් එකක් තෝරන්න…

මේ අන්දමින් තිරණ ගැනිමේදී දරුවා සම්බන්ධ කර ගත් විට මමත් වැදගත් චරිතයක්…මට මේ විදිහට අම්මා තාත්තා වැදගත් කමක් දෙන්නේ මට තියෙන ආදරය නිසානේ…යන ආත්ම තෘප්තිය හිතේ ගොඩ නැගෙනු ඇත.එයින් පෙනේනේ ඔබ දරුවාට දැනෙන්න ආදරය කරන මවක්…පියෙක් බවයි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article