- Advertisement -

බබාගේ බඩේ පැත්තක් රිදෙනවලු‍ …. ඇපෙන්ඩිසයිටිස්වත්ද?

-

පුංචි දරුවෝ බඩ රිදෙනවා කියලා නිතර නිතර පැමිණිලි කරනවා. මේ අත්දැකීම හැම අම්මා කෙනෙක්ටම ඇති. ගොඩක් වෙලාවට බඩ පොඩ්ඩක් අත ගලා එහෙමත් නැත්නම් ග්‍රයිප් වෝටර් ටිකක් දීලා දරුවව සනසනවා. ඒත් යම් විදියකට දරුවෙක් බඩේ එක පැත්තක්, තැනක් නම් කරලා මෙන්න මෙතන රිදෙනවා කිව්වොත් නම් අම්මලා ටිකක් බය වෙනවා. ඒ ඇපෙන්ඩිසියටීස් වත් ද කියන සැකය නිසා. 

ආහාර මාර්ග පද්ධතියේ උණ්ඩුකයට (Caecum) ඇතුළු පැත්තට වන්නට පිහිටන පණුවෙකු මෙන් වූ කුඩා අවයවය උණ්ඩුක පුච්ඡය කියලා හඳුන්වනවා. ඒක 5 cm – 15cm දක්වා දිගින් යුක්ත 5cm වඩා ඝනකම් නොවේ. මෙය මහබඩවැල හා සම්බන්ධ වේ. මෙමගින් කෙරෙන කාර්යය නිවැරදිව කිසිවෙකු නොදන්නා නමුත් එය ඉවත් කිරීමෙන් ද හානියක් සිදු නොවේ. මෙම අවයවය බැක්ටීරියා ආසාධනයකට ලක්වී ඉදිමීම උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය එහෙමත් නැත්නම් ඇපෙන්ඩිසයිටිස් කියන අපි අහලා පුරුදු නමෙන් හඳුන්වනවා. මෙම උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය අවුරුදු දෙකට අඩු දරුවන්ට ඉතා කලාතුරකින් ඇති වුනත් වයස අවුරුදු 10 – 30 දක්වා දරුවන්, වැඩිහිටියන් මෙම තත්ත්වයට ගොදුරු වීම වැඩි වශයෙන් දැකගන්න පුළුවන්ය. 

- Advertisement -

ඇපෙන්ඩිසයිටීස් ඇති වීමට හේතූ

උණ්ඩුක පුච්ඡු ආස්ථරය අපද්‍රව්‍ය (ආහාර නොදිරපු කොටස)මගින් අවහිරවී එය තුළට බැක්ටීරියා ඇතුළු වී වේගයෙන් ගුණනය වී උණ්ඩුක පුච්ඡුය ඉදිමීමට ලක් කරයි. රතු වීම, වේදනාව ආදී ප‍්‍රදාහමය ලක්‍ෂණ සමග එය තුළ බැක්ටීරියා විසින් සැරව සාදයි. මෙයට ඉක්මණින් ප‍්‍රතිකාර නොකළ හොත් පුපුරා යයි. 

ඇපෙන්ඩිසයිටීස් රෝග ලක්‍ෂණ

  • දකුණු පස පහළ උදරයේ එක්වර ඇතිවන වේදනාව
  • පෙකණිය වටා වේදනාව ආරම්භ වී දකුණු පහළ උදරය දෙසට මෙම වේදනාව ගමන් කරයි. 
  • කැස්ස, ඇවිදීම වැනි චලනවලදී මෙම වේදනාව වැඩි වේ. 
  • ඔක්කාරය හා වමනය. 
  • කෑම අරුචිය.
  • මද උණ – රෝග තත්ත්වය දරුණු වන විට උණද වැඩි වේ. 
  • මළ බද්ධය හෝ පාචනය
  • වාතය පිට නොවීම
  • උදරය ඉදිමීම
  • මස්පිඬු පෙරලීම
  • මුත‍්‍රා පිටකිරීමේදී වේදනාව

රෝග විනිශ්චය

  • රෝගියා පවසන තොරතුරු හා ශාරීරිකව සිදුකරන පරීක්‍ෂණ, වෛද්‍යවරයා අත භාවිත කරමින් උදරය ඇල්ලීමේදී වේදනාව දැනීම.
  • මුත‍්‍රා පරීක්‍ෂා කිරීම මගින් මුත‍්‍රා ආසාධනයක් නොවන බව තහවුරු කරගැනීම.
  • ගුදය හරහා සිදුකරන පරීක්‍ෂණ
  • CT Scan
  • USS 
  • X-ray abdomen

සංකූලතා

  • ආසාධනය වූ උණ්ඩුක පුච්ඡුය පුපුරා යාම 

මෙසේ පිපුරුණ උණ්ඩුක පුච්ඡුය මගින් එය තුළ වූ ආසාධනය පරිතාන කුහරය (Peritoneal cavity) පුරා පැතිර පරිතාන දාහය (Peritonitis) ඇති කරයි. මෙය ජීවිතයට තර්ජනයක් ඇති කරයි. 

  • උදරය තුළ සැරව සහිත කුඩා බිබිලි ඇතිවීම 

ආසාධිත උණ්ඩුක පුච්ඡුය පිපිරීමෙන් සැරව සහිත කුඩා ගෙඩි ඇති වේ. ශල්‍ය වෛද්‍යවරයා කුඩා drain නලයක් ආධාරයෙන් උදරය තුළට ඇතුළු කර සැරව ඉවතට ගලා ඒමට සලස්වයි. සති දෙකක් පමණ මෙම නලය තබා ඉවත් කරයි. ඉන්පසු ප‍්‍රතිජෛවක ලබාදේ. 

ප‍්‍රතිකාර 

  • රෝගියාගේ රෝග තත්ත්වය අනුව වෛද්‍යවරයා ප‍්‍රතිකාර සැලසුම් කරයි. 
  • ශල්‍යකර්මයක් මගින් උණ්ඩුක පුච්ඡුය ඉවත් කිරීම.
  • සැරව පිරුණු ගෙඩි ඉඳිකටුවක් අධාරයෙන් පිටතට වෑස්සීමට සැලැස්වීම. 
  • ප‍්‍රතිජෛවක ලබාදීම
  • වේදනා නාශක ලබාදීම
  • අන්ත:ශෛරික ආම්ලයික ලබාදීම
  • දියර ආහාර

වර්තමානයේ උදරයේ කැපුමක් සිදු නොකර Laparoscope නම් උපකරණය ආධාරයෙන් සිදු කරයි. උණ්ඩුක පුච්ඡුය පිපිරීමක් සිදුවී නම් පළමුව ප‍්‍රතිජෛවක ලබාදී තත්ත්වය පාලනය කර පසුව ශල්‍යකර්මය සිදු කරයි. ශල්‍යකර්මය කර සති දෙකකින් පසු රෝගියා යථා තත්ත්වයට පත්වන අතර සති හයක් පමණ යනතුරු බර වැඩ කිරීමෙන් වැළකී සිටීම සුදුසු වේ. 

ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු රෝගියාට පහත ලක්‍ෂණ පවතී නම් වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුවේ.

  • අඛණ්ඩව පවතින, පාලනය කළ නොහැකි වමනය. 
  • උදර වේදනාව වැඩිවීම
  • කරකැවිල්ල
  • ක්ලාන්තය
  • මළ හෝ වමනය සමග රුධිරය පිටවීම
  • උදරයේ ශල්‍යකර්මය සිදු කළ ස්ථානයේ රතුවීම හා වේදනාව
  • උණ
  • ශල්‍ය කෘන්තය කළ ස්ථානයේ සැරව ඇතිවීම.

පහත ආහාර ගැනීමෙන් උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය වඩාත් දරුණු විය හැක.

  • බදින ලද ආහාර – මේදය මගින් ආහා ජීර්ණ පද්ධතිය, උද්දීපනය විය හැක. 
  • ඇල්කොහොල් ගැනීම – මේවා අක්මාවට හානිකර වන අතර අක්මාව ආහාර ජීර්ණයට බලපාන බැවින් ඒ සඳහාද බලපෑම් ඇතිවිය හැක. 
  • රතු මස් – මේවායේ අධික තෙල් ප‍්‍රමාණයක් පවතින නිසා ජීර්ණය අපහසුය.
  • කේක්, පේස්ට්‍රීස් ආදියෙහි අධික ලෙස සීනි පැවතීම නිසා එයද ආහාරයට නොගත යුතුය. 

ප‍්‍රදාහයට පත් උණ්ඩුක පුච්ඡුය පිපිරීමට හේතු විය හැකි හේතූ

  • වේදනා නාශක ගැනීම
  • ප‍්‍රති ආම්ලික ඖෂධ ගැනීම
  • මළ බුරුල් කිරීම සඳහා ඖෂධ (විරේචක ඖෂධ) ගැනීම
  • උණුසුම් පෑඩයන් වේදනාව සහිත උදරය මත තැබීම

ඉහත හේතූ මගින් ප‍්‍රදාහයට පත් උණ්ඩුක පුච්ඡුයක් පුපුරා යා හැකි නිසා ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීමෙන් වැළකිය යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article