- Advertisement -

ගර්භණීත්වය, ගර්භණී කාඩ්පත සහ රතු ලේබලය

-

කාන්තාවක් විසින් තමා ගැබ්ගත් පුවත දැනගැනීමත් සමග ඇගේ කුස පිලිසිඳගත් දරුවාගේ මෙන්ම තමාගේ නීරෝගිබව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීම සිදු වෙනවා. ඊටත් අමතරව ඇය තමා ජීවත්වෙන ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සායනයේ  ලියාපදිංචිය  ලබා ගැනීමත් ඉතා වැදගත්. පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ගර්භණී කාන්තාවකට ලබා ගත හැකි සේවාවන් රාශියක් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සායනයේදී ගර්භණී මවගේ පුර්ව ප්‍රසව සෞඛ්‍ය තත්වය, පසු ප්‍රසව සෞඛ්‍ය තත්වය වගේම දරුවා හදා වඩා ගැනීමට අවශ්‍ය උපදස් ලබා දෙනවා. 

පූර්ව ප්‍රසව සේවාවන්…

- Advertisement -

ගර්භණී මවක් වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සායනය වෙතින් උපදෙස් වගේම ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. ඒ අතර ගර්භණීත්වයේ යම් අවදානම් තත්වයක් හදුනා ගැනීමෙන් පසු එම අවදානම් තත්වය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙමින් නිරෝගී දරුවෙකු බිහි කිරීම සදහා මවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරනවා.

ඒ වගේම ගර්භණී මවක් ලෙසින් ඇගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පෝෂණය වෙනුවෙන් උපදෙස් ලබා දිම සහ ගර්භණී කාලයේදී කළ යුතු ව්‍යායාම වෙනුවෙන් දැණුවත් කිරීමත් පවුල් සෞඛ්‍ය සායනයකදී මවකට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. 

පසු ප්‍රසව අවස්ථාව වෙනුවෙන් ලබා දෙන උපදෙස්…

ගර්භණී කාන්තාවක් මව් පදවිය ලැබීමෙන් පසුවත් ඇය ගේ වගේම උපත ලද දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් හදා වඩා ගැනීම ගැන හෙවත් ”දෙමව්පියකරණය ” ගැන දැණුවත් කිරීම,  දරු ප්‍රසුතිය සමග ඇති වෙන ආසාදන, මව්කිරි දීමේ ගැටළු සහ පසු  ප්‍රසව මානසික ගැටළු හෙවත් විශාදය තත්වයට නිසා  නව ජන්ම දරුවා මෙන්ම මව ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීමත් වැදගත්.පසු ප්‍රසවයෙන් පසුව පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ගැනත් දැනුවත් වීමක් ලබා දෙනවා.

පරීක්ෂණ සිදු කිරීම

මෙම මධ්‍යස්ථානය මගින් මවගේ උස, බර පිළිබඳව සටහන් කිරීම මගින් නිරෝගි බර මටට්ම පවත්වා ගැනීමට ඇයට උපදෙස් ලැබෙනවා

  • මුලික රුධිර පරීක්ෂණ,  (රුධිර ඝනය පරික්ෂා කිරීම, රුධිරගත සීනි ,රක්තහීනතාවය හඳුනා ගැනිම, කළලය සඳහා බලපානු ලබන ලිංගාශ්‍රිත රෝග හඳුනා ගැනීම) 
  •  මුත්‍රා පරීක්ෂණ සිදු කිරීම
  • පෝෂණ සම්බන්ධ ගැටළු හඳුනා ගැනීම, දත් සහ මුඛ පරික්ෂා සිදු කිරීම
  • හෘද ඇතුළු වෙනත්  කායික,  මානසික සහ සමාජීය ගැටළු හඳුනා ගැනීම මෙම සායන වලදී සිදු කරනු ලබයි. එහිදී ගැටළු හඳුනා ගෙන ඉක්මනින්  ඒවාට පිළියම් යෙදීම සිදු කරනු ලබන අතර වැඩි දුර පරීක්ෂණ කිරීමට හෝ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්, ඒ සඳහා වෙනත් සායන හෝ රෝහල් වෙත යොමු කරනු ඇත.
  • අවශ්‍ය එන්නත් ලබා දීම ( පිටගැස්ම, කොවිඩ් )
  • ත්‍රිපෝෂ ලබා දීම.

ඖෂධ ලබා දීම

ගර්භණී මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් අවශ්‍ය විටමින්, කැල්සියම්, යකඩ වැනි ඖෂධ සායනය මගින් ලබා දීම.

ගර්භණී මවක් විවිධ අවස්ථාවන්හිදි අවදානම් විය හැකියි.

ගැබ්ගත් කාන්තාවක් එම අවස්ථාවේ පටන් දරුවා බිහි කිරීම සහ පසු ප්‍රසව අවධිය දක්වාම විවිධ අන්දමින් අවදානමට පත් විය හැකියි. එවැනි අවදානම් සාධක හදුනා ගෙන ඒ වෙනුවෙන් පුර්ව ආරක්ෂාව සලසා දීම පවුල් සෞඛ්‍ය සායනකයක් වෙතින් ලැබෙන විශේෂ වාසියක්.

ගර්භණීත්වයට පෙර පටන් පවතින අවදානම

  • මවගේ වයස අවුරුදු 19 ට අඩු වීම හෝ 35 ට වැඩි වීම.
  • ගර්භණී මව බෝනොවන රෝග හෙවත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්මාරය,
  •  රුධිරයේ රිසස් සාධක වැනි අවදානම් කාණ්ඩයකට අයත් වීම
  • මවගේ බර අඩුවීම වැඩිවීම, , උස අඩු වීම , රක්තහීනතාවය, වැනි තත්වයන්

පෙර ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව දරු ප්‍රසුතියක් සිදු කර ඇත්නම් ඒ අවස්ථාවේදී ඇගේ දරු ප්‍රසුතිය සමග ඇති වුන පෙර ප්‍රසව තත්වයන් ගැනත් සලකා බැලීම සිදු වෙනවා.

  • මීට පෙරාතුව ගැබ් ගත් අවස්ථාවන්හිදි සිදු වුන ගබ්සා වීම.
  • පෙර දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් සිදු වීම.
  • නොමේරූ දරු උපත්
  • මළ දරු උපත්.

වර්තමාන ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව අවදානම් කාණ්ඩයකට අයත් නොවී දරු ප්‍රසුතියක් සිදු කළත් මේ අවස්ථාවේදී ඇය යම් සංකුලතාවයකට පත්ව සිටින්නට හැකියි.

  • දරුවා පමණට වඩා විශාල වීම.
  • දරුවා පමණට වඩා කුඩා වීම
  • තට්ටමෙන් පිහිටිම.
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව, වැනි බෝ නොවන රෝගයකට ගොදුරු වීම
  • නිවුන් දරුවන් පිහිටීම.
  • ගර්භණි සමයේ ඇති වෙන රුධිර වහනය

පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ලැබෙන ගර්භණී කාඩ්පත 

ගර්භණී කාන්තාවක් අදාල පවුල් සෞඛ්‍ය සායනයේ ලියාපදිංචිය ලැබීමෙන් පසුව ඇයට කාඩ්පතක් ලබා දෙනවා. මේ කාඩ්පතේ අදාල කාන්තාවගේ සියලු විස්තර ඇතුලත් කරනු ලබනවා.

. මෙම ගර්භණී කාඩ්පතේ කුළුදුල් දරු ප්‍රසුතිය ලබන මවක් නම් නිල් ලේබලයක් අලවනවා. ප්‍රථම දරු ප්‍රසුතියේ වුනත් අවදානමක් ඇත්නම් නිල් ලේබලයට අමතරව එහි රතු ලේබලයක්ද අලවනවා.

රතු කියන්නේ අනතුරක් නොවේ…

මෙම රතු ලේබලයෙන් හැඟෙන්නේ ඔබේ දරු ප්‍රසුතිය අවදානම් බවක් නොවේ. නමුත් ඔබේ ඉතිහාසයේ ඇති යම් යම් රෝග තත්වයන් සහ ගර්භණිත්වය සමග ඇති යම් ගැටලු සහගත බවක් එයින් දන්වා තිබෙනවා. මේ නිසා ගර්භණී කාන්තාව පරීක්ෂා කරන තවත් වෛද්‍යවරයෙකුට හෝ දරු ප්‍රසුතියේදී රෝහල්ගත වීමෙන් පසුව ඇය පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම ඇගේ තත්වය ගැන වැඩි අවදානයක් යොමු කිරීම නිසා දරුවා ප්‍රසුත කිරීමේදී මවගේ සහ දරුවාගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමත් සිදු වෙනවා.

ගර්භණී කාඩ්පත ළඟ තබා ගන්න…

ගර්භණී මවක් විසින් මෙම ගර්භණී කාඩ්පත නිතරම තමා  සමීපයේ තබා ගැනීම වැදගත්.දරු ප්‍රසුතිය ආසන්න නොවුනත් යම් යම් ගැටළු ඇති වූ විට ඇගේ රෝග ඉතිහාසය මේ කාඩ්පතේ දක්වා තිබෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී කාඩ්පත රැගෙන යෑම ඉතාම වැදගත්. ඒ වගේම දරු ප්‍රසුතියට ආසන්න නොවුනත් ඔබ දුර ගමනක් හෝ  යන විටත් මේ කාඩ්පත රැගෙන යෑමට අමතක කරන්න එපා. හදිසියේ හෝ ඔබට පදිංචි ප්‍රදේශයෙන් බැහැර රෝහලක රෝහල්ගත වීමට සිදු වුනොත් ඔබේ වෛද්‍ය ඉතිහාසය මෙහි සටහන් වී තිබීම වඩාත් පහසුවක් වෙනු ඇති. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ ගාමිනී පෙරේරා මහතා

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article