- Advertisement -

මොකද්ද මේ PCOS කියන්නේ ?

-

අද වන විට නිතර නිතර අසන්නට ලැබෙන මේ PCOS ලෙස හඳුන්වන තත්ත්වය පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් යැයි හැඟුණේ මේ පිළිබඳව දැනුවත් බව නොමැතිකම හේතුවෙන් ඇතැම් කාන්තාවන් බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටින නිසාය. මෙය රෝගයක් ලෙසම නම් කළ නොහැකි වුවත් අද වන විට මේ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන් ඉන්සියුලීන් ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව කියවේ. එනම් දරුවන් ලැබිය හැකි වයසේ පසුවන (අවුරුදු 15 – 44) කාන්තාවන් අතර බහුලව පවතින හෝමෝන අසාමාන්‍යතාවයක් නිසා ඇතිවන තත්ත්වයකි.  මෙහිදී දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවයි. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ජානමය තත්ත්වයන් ද තවත් හේතු ලෙස  නිසි ආහාරපාන රටාවක් නොතිබීම මෙන්ම නිසි ලෙස ව්‍යායාමවල නොයෙදීමත් දැක්විය හැකිය. 

PCOS තත්ත්වයේදී කාන්තාවන්ගේ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිපුර පුරුෂ හෝමෝන ශ‍්‍රාවය වේ. මෙම හෝමෝන අසමතුලිතතාවය ආර්තව චක‍්‍රය අක‍්‍රමවත් කරවන අතර ගර්භනීවීමද තරමක් දුෂ්කර වේ. මෙම රෝග තත්ත්වයේදී බලපෑම් ඇතිවන ඉන්‍ද්‍රිය වන්නේ ඩිම්බකෝෂ වේ. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිපදවයි. මෙම හෝමෝන මගින් ආර්තව චක‍්‍රය පාලනය කරන අතර ඩිම්බ කෝෂ මගින් ඉතා සුළු ප‍්‍රමාණයක් Androgen වන පුරුෂ හෝමෝනය ශ‍්‍රාවය වේ. 

- Advertisement -

ඩිම්බ කෝෂ මගින් පිරිමි ජන්මානු වන ශුකාණු හා සංසේචනය සඳහා ඩිම්බ නිපදවයි. මසකට වරක් ඩිම්බ කෝෂ දෙකෙන් මාරුවෙන් මාරුවට ඩිම්බයක් මුදාහරී. මෙය ඩිම්බනීහරණය (Ovulation) ලෙස හඳුන්වයි. පිටියුටරි ග‍්‍රන්ථිය මගින් නිෂ්පාදනය කරන කූප උත්තේජනය හෝමෝනය (FSH – Follicle Stimulating Hormone) හා ලූටෙයිනීකාරක හෝමෝනය (LH – Lutinizing Hormone) මගින් ඩිම්බනීහරණය පාලනය කරයි. FSH මගින් ඩිම්බ කෝෂයේ කූපයක් උත්තේජනය කර ඩිම්බය සහිත කූපය සාදන අතර LH හෝමෝනය මගින් මේරූ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් නිදහස් කිරීමට උදව් කරයි. 

PCOS යනු, ලක්‍ෂණ කිහිපයක එකතුවක් වන අතර එය ඩිම්බනීහරණයට බලපායි.

මෙහි ප‍්‍රධාන ලක්‍ෂණ 3 කි

  • ඩිම්බ කෝෂවල දිය පිරුණු ගෙඩි ඇතිවීම
  • රුධිරයේ අධික මට්ටමකින් පිරිමි හෝමෝන තිබීම
  • අක‍්‍රමවත් ඔපස් චක‍්‍රය

ඉතා කුඩා තරලය පිරුණු ”මසිනි – SAC” වැනි ව්‍යුහයක් ඩිම්බ කෝෂය තුළ ඇතිවන අතර මේ නිසා මේවා Polycystic (බොහෝ ගෙඩි ඇති) යනුවෙන් හඳුන්වයි. මෙම මසිනි වැනි කූපයන් තුළ නොමේරූ ඩිම්බයක් පවතී. මේවා ඩිම්බ, ඩිම්බහරණීය වීමට තරම් මෝරන්නේ නැත. ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්, FSH, LH ආදි හෝමෝනයන් රුධිරයේ පැවතිය යුතු මට්ටමට වඩා අඩු අගයක පවතින නිසා ඩිම්බනීහරණයේ අක‍්‍රමවත්භාවයන් ඇති කරයි. එසේම පුරුෂ හෝමෝනය (Androgen) ශ‍්‍රාවය වන පිරිමි හෝමෝනය මගින් ආර්තව චක‍්‍රයට බාධා ඇති කරයි. PCOS ඇති කාන්තාවන්ට ඇති වන ආර්තව චක‍්‍රයේ රුධිර වහනය සාමාන්‍ය කාන්තාවන්ට වඩා අඩුය.

PCOS ඇති වීමට හේතූ

මේ සඳහා නිවැරදි හේතුවක් නොදන්නා නමුත් අධික මට්ටමකින් යුතුව ශ‍්‍රාවය වන පිරිමි හෝමෝන මගින් ඩිම්බ කෝෂවල හෝමෝන නිෂ්පාදනය වළක්වන අතර සාමාන්‍යයෙන් ඩිම්බ සෑදීමද වළක්වන බවට විශ්වාස කෙරේ.

  1. ජාන වල බපෑම – Genus – අන්‍යයන් මගින් පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි බව පෙන්වා දී ඇත. 
  2. ඉන්සියුලින් ප‍්‍රතිරෝධය (Insulin resistance) – PCOS  සහිත කාන්තාවන්ගෙන් 70% වඩා වැඩි ප‍්‍රමාණයකට මෙම තත්ත්වය ඇති වේ. එනම් මෙම රෝගීන්ගේ ‍සෛලවලට ඉන්සියුලින් භාවිත කිරීමට (ප‍්‍රයෝජනයට ගැනීම) නොහැකි වේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශයෙන් ලැංගර්හැන් දීපිකාවලදී සෛලවල නිෂ්පානදය වන අතර මෙමගින් ආහාරවලින් ලැබෙන සීනි (ග්ලූකෝස්) ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් කිරීමට මෙම හෝමෝනය මගින් සිදු කරයි. සෛලවලට ඉන්සියුලින් ප‍්‍රමාණවත් ලෙස භාවිත කිරීමට නොහැකි විට ශරීරයෙන් ඉන්සියුලින්වලට ඇති ඉල්ලුම වැඩි කරයි. මේ නිසා අග්න්‍යාශය මගින් බොහෝ ලෙස මෙම ඉල්ලුම සමථයකට පත් කිරීම සඳහා ඉන්සියුලින් නිපදවයි. මෙසේ නිපදවන අමතර ඉන්සියුලින් මගින් ඩිම්බ කෝෂවලින් පුරුෂ හෝමෝන වැඩිපුර නිෂ්පාදනයට උනන්දු කරයි. 
  3. ප‍්‍රදාහය (Inflammation)PCOS සහිත කාන්තාවන්ගේ ඔවුන්ටත් ශරීරයේ ප‍්‍රදාහයන් ඇතිවීමේ මට්ටම වැඩි කරයි. තරබාරුභාවයද මේ සඳහා දායක වේ. අධ්‍යාපනයක් මගින් පෙන්වා දෙන ආකාරයට පුරුෂ හෝමෝන මට්ටම හා ප‍්‍රදාහයන් ඇති වීම අතර සබඳතාවයන් පවතී. එනම් පුරුෂ හෝමෝන ඇති විට ප‍්‍රදාහයන් ඇතිවීමේ හැකියාව වැඩි කරයි. (තරබාරු බව ඉන්සියුලින් ප‍්‍රතිරෝධීතාවය ඇති කරවන ප‍්‍රධාන හේතුවක් වේ. තරබාරු බව හා ඉන්සියුලින් ප‍්‍රතිරෝධීභාවයෙන් Type II වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි)

PCOS ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

සමහර කාන්තාවන්ට මෙම ලක්‍ෂණ පළමු ආර්තව චක‍්‍රයන් සමග ඇති වන අතර තවත් සමහර කාන්තාවන්ට බර වැඩිවීම හා ගර්භනී වීම අපහසු වූ විට ඇති වේ. 

  1. අක‍්‍රමවත් ආර්තව චක‍්‍රය – Irregular periods

ඩිම්බ මුදාහැරීම අඩුවෙන් සිදුවන නිසා සෑම මසකම ගර්භාෂ ආස්තරණය වීම වැළැක්වීම හෝ අඩුවෙන් ආස්තරණය කිරීම සිදු කරයි. මේ නිසා සමහර කාන්තාවන්ට අවුරුද්දකට ඔසප් චක‍්‍ර 8 කට වඩා ඇති නොවන අතර තවත් සමහරුන්ට ඔසප් චක‍්‍රය ඇති නොවේ.

2.අධික රුධිරවහනය – Heavy Bleeding

දීර්ඝ කාලයක් ගෙන ගර්භාෂ ආස්තරණය සාදන නිසා ඔසප් වීම ඇති වූ විට රුධිරවහනය වැඩි වේ. 

3. රෝම ඇතිවීම – Hair Growth

කාන්තාවන්ගෙන් 70% කට මෙම රෝගයේදී මුහුණේ, ශරීරයේ රෝම ඇති වේ. පිටුපස, බඩ, පපුව ආදී ස්ථාන වල මෙසේ අධික ලෙස රෝම ඇති වේ. (Hirsuitm) 

4. කුරුලෑ ඇතිවීම – Acne

පිරිමි හෝමෝන මගින් සමේ තෙල් ගතිය වැඩි කරවන අතර මේ හේතුවෙන් මුහුණ, පපුව, පිටුපස ඉහළ කොටසේ සමේ කුරුලෑ ඇති වේ. 

5.බර වැඩිවීම

මෙම රෝගය ඇති වන්නන්ගෙන් 80% ස්ථූල අය වේ. 

6. පිරිමින්ගේ මෙන් තට්ටය පෑදීම (Male Pattern baldness)

හිසේ ඇති හිසකෙස් තුනී වී පසුව නැතිවී යයි. 

7.සම අඳුරු පැහැගැනීම (Darkening of the skin)

බෙල්ල, ඉකිලි, කිහිලි වැනි සමේ නැවෙන ස්ථාන අඳුරු පැහැයක් ගනී. 

8.හිසරදය (Headache)

හෝමෝන වෙනස්කම් නිසා ඇති වේ. 

PCOS  මගින් ශරීරයට සිදුවන බලපෑම

  1. නිසරුභාවය/වඳභාවය (Infertility)

ගර්භනී වීම සදහා ඩිම්බහරණය වීම අවශ්‍ය වේ. මෙහිදී ක‍්‍රමානුකූල ඩිම්බහරණය නොවන අතර සංසේචනය සඳහා බොහෝ ඩිම්බ නිපදවන්නේ නැත. මේ නිසා දරුවන් බිහිකිරීම අපහසු විය හැක. 

2. පරිවෘත්තීය රෝග – Metabolic Disorder 

80% කාන්තාවන් තරබාරු/බර වැඩිවීම නිසා

  • රුධිර ගත සීනි ප‍්‍රමාණය වැඩිවීම
  • අධික රුධිර පීඩනය
  • යහපත් කොලෙස්ටරෝල් (HOL) අඩුවීම (Good Cholesterol)
  • අයහපත් කොලෙස්ටරෝල් (Bad Cholesterol වැඩිවීම – LOL)

ඉහත සියලු සාධක එකට ගන්නා විට එය පරිවෘත්තිය රෝග සහලක්‍ෂණයන් වේ. මේ නිසා හෘදරෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ.

3.Sleep Apnea

රාත‍්‍රියේ නින්දට බාධා ඇති කරමින් වරින් වර ස්වසනය නැවැත්වීම සිදුවේ. බර අධික අයට (කාන්තාවන්ට) මෙම තත්ත්වය බහුල වේ. PCOS සහිත කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීම PCOS නොමැති කාන්තාවන්ට වඩා වාර 5 – 10 ගණනින් වැඩි වේ. 

4.ගර්භාෂයේ අන්තෝචක්වාලයේ පිළිකා (Endometrial Cancer)

ඩිම්බනීහරණය කාලය තුලදී ගර්භාෂයේ ඇතුලත ආස්ථරයේ ආස්ථරණය වීම ඩිම්බනීහරණයක් සිදු නොවුනද සෑම මසකම සිදු වේ. මෙසේ එම ආස්තරණය ඝනකම් වීම තුල මෙම පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරයි. 

5.මානසික අවපීඩනය (Depression)

හෝමෝන වෙනස්කම් හා අනවශ්‍ය රෝම වර්ධනය වැනි ලක්‍ෂණ හේතුවෙන් මානසික අසහනයකට පත් වේ. මේ නිසා මෙම රෝග තත්ත්වය සමග මානසික අවපීඩනය හා කාංසාව (anxiety) ඇති වේ. 

රෝග විනිශ්චය කිරීම

කාන්තාවන්ට ඇති වන පහත ලක්‍ෂණ 2 – 3 මගින් වෛද්‍යවරයාට සායනික ලෙස මේ තත්ත්වය විනිශ්චය කළ හැක. 

  • පුරුෂ හෝමෝන මට්ටම වැඩිවීම. 
  • අක‍්‍රමවත් ආර්තව චක‍්‍රය
  • ඩිම්බ කෝෂවල තරලය පිරුණු ගෙඩි ඇති වීම. එසේම මෙම ලක්‍ෂණ සමග කුරුලෑ ඇතිවීම, ශරීරයේ අනවශ්‍ය රෝම ඇති වීම, බර වැඩිවීම ආදිය පිළිබඳව විමසයි.

එසේම පහත පරීක්ෂණ මගින් මේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට ලක්කිරීම සිදු කරයි.

  1. ශ්‍රෝණී පරීක්‍ෂණ – Pelvic exam

මෙහිදී වෛද්‍යවරයා අත් වැසුමක් යොදා ගනිමින් යෝනි මාර්ගය හරහා ඇඟිලි ඇතුළු කර එහි වර්ධනයක් (ඩිම්බකෝෂ හා ගර්භාෂයේ)ඇති දැයි පරීක්‍ෂා කරයි. 

2. රුධිර පරීක්‍ෂණ

මෙහිදී සාමාන්‍ය ප‍්‍රමාණයන්ට වඩා පුරුෂ හෝමෝන ප‍්‍රමාණය (Androgen level) වැඩි වේ.

එසේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, ඉන්සියුලින් හා triglyceride level මට්ටම සොයාගනී. ඒවා වැඩි නම් හෘද රෝග හා දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි වේ. 

3. Ultrasound ස්කෑනින් පරීක්‍ෂණ 

මෙමගින් අසාමාන්‍ය කූපයන් හා වෙනත් ඩිම්බකෝෂයේ හා ගර්භාෂයේ ගැටළු හඳුනාගත හැක. 

PCOS තත්ත්වය හා ගර්භණී බව පිළිබඳව ලිපියකින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article