- Advertisement -

කොරෝනා වෛසරය අපේ සිරුරේ ඇතැම් පද්ධතීන්ට සිදුකරන බලපෑම් ගැන ඔබ දැනුවත්ද?

-

අද වෙන කොට ලෝකේ පුරාම පැතිරිලා තියෙන මේ කොරෝනා වසංගතය ඇත්තටම අපි කාගේත් හිත්වලට බරක්. ගෙදරින් පිටට යද්දි වෙනදා වගේ හිතේ නිදහසින් එළියට බහින්නවත් පුළුවන්කමක් මේ වෙද්දි අපිට ඉතිරි වෙලා නෑ. මේ වසංගතයෙන් ආරක්ෂා වෙනවා ඇරෙන්න වෙනත් විසදුමක් නෑ. කොහොම කොයි දේ වුණත් කොරෝනා වෛරසය ආසාදනයෙන් පස්සේ ඇති වෙන යම් යම් සංකූලතා ගැන අපි දැනුවත් වීම වැදගත්. 

සාමාන්‍යයෙන් කොරෝනා ආසාදනය වූ විට ඇති වන රෝග ලක්ෂණ පිළිබඳව අපි මේ වන විට බොහෝ සෙයින් දැනුවත් වී අවසන්. කොරෝනා රෝගීන් 138 දෙනෙකු විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයකදී පහත දක්වා ඇති පොදු ලක්‍ෂණ පෙන්නුම් කළ ප‍්‍රතිශතය පහත ආකාරයෙන් දක්වා තිබුණා.

- Advertisement -
  • උණ – 99%
  • තෙහෙට්ටුව- 70%
  • වියළි කැස්ස – 59%
  • කෑම අරුචිය – 40%
  • පේශී වේදනාව – 40%
  • ස්වසන අපහසුතා – 31%
  • සෙම ඇතිවීම – 27%

මීට අමතරව හිසරදය, උගුරේ අපහසුතා, සොටු දියර ගැලීම, රස හා ගඳ සුවඳ නොදැනීම මෙහි ඇති වන වෙනත් ලක්‍ෂණ විදියට දැක්විය හැකියි. මෙසේ ඇති වන ආසාදන තත්ත්වය හේතුවෙන් සිරුරේ පද්ධති වෙත කෙරෙන බලපෑම ගැන අපි විමසා බලමු.

ස්වසන පද්ධතිය

ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප‍්‍රධාන බලපෑම වන්නේ වෛරස නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමයි. මෙහිදී ලක්‍ෂණ ලෙස කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, ස්වසන අපහසුව ආදී ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් ඇති වේ. තීව‍්‍ර නිවුමෝනියා ආසාදනයකදී මරණය පවා ඇතිවිය හැක.

නාසයේ හා උගුරේ අපිච්ඡද සෛලවල අධික ප‍්‍රමාණයෙන් ඇති ACE-2 (Angiotensin converting enzyme – 2) වෛරස ඇතුළු වීමට ඇති ප‍්‍රතිග‍්‍රාහකයක් ලෙස ක‍්‍රියාකරයි. මෙම ප‍්‍රතිග‍්‍රාහක මොළය, අක්මාව, අග්න්‍යාශය, වකුගඩු, තයිමස් ග‍්‍රන්ථිය, ඇටමිඳුළු, නාස ග‍්‍රසනිකාව, මුඛය, නාසයේ ශ්ලේෂ්මලය, පෙනහලු, කුඩා අන්තක, ආමාශය, මහන්තක, වසා ග‍්‍රන්ථි, සම හා ධමනි ශිරාවල පවතී. මෙම ACE-2 පවතින ශරීර පටක වෛරස ආසාධනවලට ගොදුරු වීමේ හැකියාව ඇත. නාසයේ හා උගුරේ අපිච්ඡද සෛලවල ඇති ACE-2 නිසා මෙම වෛරසවලට මෙම ස්ථාන වඩා හිතකර පරිසර වේ. මෙම වෛරස මෙම සෛල තුළ ගුණනය වුවහොත් වෛරස විශාල ප‍්‍රමාණයකින් වැසී යයි. මෙම නිසා අනෙක් පුද්ගලයන්ට පැතිරේ.  මෙම වයිරස්වල ඊලඟ ඉලක්කය වන්නේ පෙනහලුය. ඊට හේතුව පෙනහලු ACE-2 ප‍්‍රතිග‍්‍රාහක මගින් පොහොසත්ව පැවතීමය. සාමාන්‍යයෙන් Type 2 pneumocyte මගින් ගර්ත තුළ සර්ඇක්ටන්ට් නම් රසායනිකය නිෂ්පාදනය කරන අතර එමගින් ගර්තවල හා වාමග බිත්තිවල පවතින සෂ්ධික ආතතිය අඩුකර ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් අක‍්‍රීය වීම වළක්වයි. වෛරසය මෙම සෛල තුළට ඇතුළු වී ඒවායේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරමින් පෙනහලු අභිපාත තත්ත්වය (Lung collapse) පත්කරයි. මේ හේතූ මගින් පුද්ගලයෙකු මිය යා හැක. 

රුධිර සංසරණ පද්ධතිය

රුධිර සංසරණ පද්ධතිය, විශේෂයෙන් හෘදය, ධමනි, ශිරා ආදියේද මෙම ACE ප‍්‍රතිග‍්‍රාහකය පවතින නිසා මෙම වෛරසය මගින් හානිවීමට ලක්වේ. චීනයේ වූහාන් රෝහලේ කොවීඩ් ආසාධිතයන් 416 කින් 19.7% කට හෘදයට අනතුරු වී ඇත. හෘද අකරණිය තත්ත්වය (Heart failure) මෙහිදී ඇතිවන භයානක තත්ත්වයකි. කොඩිඩ් රෝගීන් 46,248 ගෙන චීනයේ සිදු කරන ලද අධ්‍යනයකදී ඉන් 17% අධික රුධිර පීඩනය, 8% දියවැඩියා රෝගය, 5% කට රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග වැළඳුන බවට අනාරවරණය වී ඇත. එසේ රුධිර පීඩනයේ වෙනස්කම්, හද ගැස්මේ රිද්මය වෙනස්වීම (Arrhythmias), අභිස්පන්දනය (Palpitation), හෘදයෙන් පිටවන රුධිරය ප‍්‍රමාණවත් නොවීම (Cardiac insufficiency) හා හෘදය විශාල වීම (cardiomegaly) ආදී අහිතකර තත්ත්වයන් රුධිරවාහිනී පද්ධතියට කොරෝනා වෛරසට හේතුවෙන් ඇතිවී ඇත. 

එසේම තවත් අධ්‍යයනයකදී කොවීඩ් වැළඳුන රෝගීන් 184 කින් 31% කට රුධිර කැටි ගැසීමේ අවධානමක් ඇති වූ බව හෙලිවී ඇත. මෙම තත්ත්වයන් ධමනි හා ශිරා දෙකෙහිම ඇතිවන අතර මෙම රුධිර කැටි පෙනහලු, මොළය, හෘදය තුළට ගමන් කර අවහිර කර අනතුරු ඇති කරවයි. පෙනහලු තුළ දී Pulmonary embolism, හෘදයේ කන්තුක ඇණ හිටීම (Cardiac arrest) හා මොළයේ අඝාතය (stroke)  තත්ත්වය ඇතිවී රෝගියාගේ ජීවිතය අනතුරට ලක්විය හැක. 

ආහාර ජීර්ණ පද්ධතිය

චීනයේ Sun Yat Sen University hospital හි කොවීඩ් – 19 රෝගය වැළඳුණු රෝගීන් 58 දෙනෙකුගෙන් කරන ලද අධ්‍යයනයක් මගින් ආමාශය අශ‍්‍රිතව ඇතිවී ඇති කෑම අරුචිය, පාචනය, ඔක්කාරය, වමනය ආදී ලක්‍ෂණද මේවා දරුණු වූ විට අන්තශ්‍රෝතය ආශ‍්‍රිතව රුධිර වහනයන් ඇති වූ බවට වාර්තා වී ඇත. නමුත් මෙම තුවාල ඇතිවීම පිළිබඳව තවම පර්යේෂණ මට්ටමේ පවතී. ආමාශය, අන්තශෝතය, ග‍්‍රහනිය හා ගුදය ආශ‍්‍රිත පටකවලද මෙම වෛරසය හමුවී ඇත. නමුත් මෙම පටක වලින් බෝවීමේ හැකියාවන් ඇතිමුත් එසේ අනාවරණය වී නැත. ACE ප‍්‍රතිග‍්‍රාහක කුඩා අන්තක, මහාන්තක, ආමාශයේ පවතින නිසා මෙම ආසාධන බෝ වීමේ ප‍්‍රවණතාවයක් ඇත. නමුත් පර්යේෂණවලින් ඔප්පුකර නැත. 

මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය

චීනයේ කොවීඩ් – 19 රෝගීන් සිටින විශේෂ ප‍්‍රතිකාර ඒකකවල  කොවීඩ් – 19 වැළඳුන රෝගීන් 214 කගෙන් 36.4%ට ස්නායුගත ආබාධ ලක්‍ෂණ පෙන්වයි. ඔවුන්ට මස්තිෂ්ක වාහිනි අනතුරු (cerebrovascular accident මොළයට අනතුරුවීම), අපස්මාරය (වලිප්පුව), ශරීරයේ අතපය හැසිරවීම පාලනය කිරීමට අපහසු වීම (ataxia), සිහි තත්ත්වයේ වෙනස්කම්, හිසරදය, කරකැවිල්ල, සැකිලි පේශිවලට හානි වීම, ගඳ සුවඳ රස දැනීමේ වෙනස්කම්, දෘශ්‍යාබාධ ආදී ලක්‍ෂණ ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීමෙන් ඇති වේ. මධ්‍ය ස්නායු පද්ධතියේ ACE – 2 ප‍්‍රතිග‍්‍රාහක පවතින නිසා කොවීඩ් වලින් ඇති වන හානිය වැඩිවේ. 

අක්මාව

ALT (Alanine Transaminase), AST (Aspartate Amino Transpera) යනු අක්මාවට හානි වූ විට ඒ බව පෙන්වා දෙන සංඥා වේ. මේවායේ අගයන් ඉතා ඉහළ මට්ටමකට යාම තුළ අක්මාවට බලපෑමක් ඇත. බිලිරූබන් ප‍්‍රමාණයද සුළුවෙන් වැඩිවේ. 

ඇස

ඇස් රතුවීම/ ඇසේ ආසාධන (conjunctivitis), ඇසෙන් කඳුළු ගැලීම ආදී ලක්‍ෂණ පෙන්වයි. 

වකුගඩු

ගුච්ඡුක්‍ෂණ හා අවිදුර සංවලිත නාලිකාවේ ACE-2 ප‍්‍රතිග‍්‍රාහක පැවතීම නිසා වකුගඩුද කොවීඩ් – 19 හි ඉලක්කයක් වී ඇත. මේ නිසා කොවීඩ් රෝගීන්ගේ මුත‍්‍රා සමග ප්‍රෝටීන පිටවීම (Proteinuria) මුත‍්‍රා සමග රුධිරය පිටවීම (Haematuria), රුධිරයේ යූරියා, නයිට‍්‍රජන් හා ක‍්‍රියටීනින්වල අගයන් ඉහළ යාම බහුලව නිරීක්‍ෂණය කළ හැකි ලක්‍ෂණ වේ. ප්ලාස්ම ප්‍රෝටීන සාමාන්‍යයෙන් උරාගනු ලබන්නේ අවිදුර සංවලිත නාලිකාව හරහාය. මෙයට හානි වූ විට මුත‍්‍රා සමග ප්‍රෝටීන පිටවේ. 

සම

ආසාධනය ඇති වී සති 3 – 4 කාලයක් ගිය පසුව සමේ අත්, පා, ඇඟිලි ආදියෙහි තුවාල ඇති වේ. 

ඉහත ආකාරයට ශරීරයේ සෑම පද්ධතියක්ම ආසාධනය කිරීමේ හැකියාව ‍කොරෝනා වෛරසය සතුයි. මේ පිළිබඳ තවත් තොර‍තුරු පර්යේෂණ මට්ටමේ පවතී. මේ සියලු අවදානම් තත්ත්වයන්ගෙන් මිදී අපේත් අපේ ආදරණීයන්ගේත් ජීවිත සුරක්ෂිතව පවත්වා ගනිමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජීවත් වීමට අප සිතට ගත යුත්තේ මෙවැනි අවදානම් තත්ත්වවලින් වැලකී සිටීමටය. ඒ නිසා ඔබත් අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිවසින් පිටතට නොයන්න. සැම  විටම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article