කොරෝනා නිසා නිවසේම රුඳුණු දරුවන්ට ඇති විය හැකි ගැටලු ගැන දැනුවත්ද?

මේ දිනවල කොරෝනා වෛරසය පිළිබඳ කොතෙක් කතා කළත් එය අවසන් කළ නොහැකිය. එසේම වැඩිහිටියන් හෝ වේවා දරුවන් හෝ වේවා මේ අවාසන්වන්ත කාලය තුළ අප සැවොම සෑම පැත්තකින්ම ආරක්ෂා වන්නේ කොසේද යන්න පිළිබඳව දැනුවත් විය යුතුමයි. ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් ඔබත් මමත් අපේ දරුවනුත් සුරක්ෂිත විය යුතුමයි. අන්න ඒ නිසාම කොරෝනා වෛරසයේ පැමිණීමත් සමග වසර දෙකකට ආසන්න කාලයත් නිවසටම කොටු වී ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව සිටින අපේ දරුවන් ගැන අපි කතා කරමු.

ඔන්ලයින් අධ්‍යාපනය නිසා දරුවන්ට පෙන්නුම් කරන රෝග තත්ත්ව

  • ගෙලේ සහ කොන්දේ ඇති වන වේදනාව
  • අත දිගේ දිව යන වේදනාව
  • ඇඟිලි හිරි වැටීම්
  • මැණික් කටුව ආසන්නයේ ඇති වේදනාව
  • වැලමිට ආසන්නයේ ඇති වේදනාව 

දරුවන් හිස නවා දුරකථනය හෝ පරිගණක තිරය වෙත යොමුව සිටීම නිසා ගෙලෙහි වේදනාව සහ ගෙල අවට මාංශ පේශී වල දෘඩ බවක් (Muscle Spam) ඇති වේ. මේ නිසා අතට දිවයන ස්නායු ද තෙරපී හිරි වැටීම් ද ඇති විය හැක. ඊට අමතරව පපු ප‍්‍රදේශයට සහ හිසේ පිටුපසට වේදනාවක්ද ඇති වේ.

මෙය වැළැක්වීමට දුරකථන තිරය හෝ පරීගණක තිරය ඇස් මට්ටමට ගෙන එනම් චිත‍්‍ර ඇඳීමට යොදා ගන්නා ආනත තලය වැනි හැඩයට තිරය තබාගත යුතුය. තවද කොන්ද පුටුවේ (කෑම මේසයට තබන පුටු මේ සඳහා වඩාත් සුදුසුය) කෙලවරට වන සේ වාඩි වී හිස පුටුවේ හේත්තු කරගෙන මේසය ලඟටම පුටුව ගෙන පාඩම්වල නිරත විය යුතුය.දැනටමත් වේදනාවක් ඇත්නම් නලලට අත් තබා හිසෙන් ශක්තිය ගෙන අත් තද කරන්න. චලනය නොවන සේ වරින් වර අත් දෙක හිසේ හතර පැත්තටම තබා මෙය කරන්න. 

මෙසේ සිදුවන ඔන්ලයින් කටයුතු සඳහා භාවිත කරන ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් දුරකථන සමග කටයුතු කිරීමේදී ඇඟිලිවලින් ස්ක‍්‍රීන් එක පැත්තකට පිරිමැදීම (Swipe) කළ යුතු වේ. මේ චලනය නිසා ඒ අදාල පේශී නිරතුරු එකදිගට වැඩ ‍කොට වෙහෙසට පත් වීම හේතුවෙන් මාපට ඇඟිල්ල දාරයේ මැණික් කටුව ආසන්නයේ වේදනාවක්ද (Tenosynovitis) වැලමිට ආසන්නයේ වේදනාවක්ද (Tennis elbow) ඇති වේ. දුරකථනය Swipe කිරීමේදී එකම ඇඟිල්ල භාවිත නොකරන්න. නැතහොත් සෑම විනාඩි දහයකටම වරක්  විනාඩියකවත් විවේකයක් ලබාගන්න. 

එසේම ස්මාට් දුරකතනයේ හෝ පරිගණක තිරයේ එළිය අඩු කරගත හැකි නම් වඩාත් සුදුසුය. නිතරම එළිය විහිදුවන තිරයක් බලා සිටිනා නම් සෑම විනාඩි දහයකට වරක්වත් ඈත බලන්නට දරුවාට උපදෙස් දෙන්න. මන්ද 

බොහෝ දරුවන්ට දැනටමත් පෙනීමේ දුර්වලතා ඇති බව අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. පරිගණක තිරය ඇස් මට්ටමට වඩා ඉහළින් තබා තිබීම නිසා ඇස පිය ගැසීම අඩු වී ස්නේහණය නැතිව යන නිසා ඇස් නිතර ආයාසයෙන් විවිරය කරමින් බැලීමට සිදුවන බැවින් ඇසෙහි වියළි බවක් ඇති විය හැකිය.

මෙහිදී තවත් වැදගත්ම කරුණක් වන්නේ බිම එසේත් නැතිනම් අඳන් මත සිට දරුවන් අධ්‍යාපන කටයුතුවල නිරත වීඹයි. මේ හේතුව නිසා අද වන විට බොහෝ දරුවන් කොන්දේ යම් යම් ආබාධ තත්ත්වයන්ට ගොදුරුව සිටිනවා.  මේ හේතුන් මත කොඳු ඇට පෙළේ විකෘතිතා ඇති අතරම ඒ අතරින් කයිපෝසිස් (Kyphosis) සහ ස්කෝලියෝසිස් (Schliosis) තත්ත්ව මූලිකව දැක ගත හැකියි. ඒ නිසාම වැඩිහිටි ඔබ, ඔබේ දරුවා අධ්‍යයන කටයුතු සිදුකරන ඉරියව් සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානය යොමු කරන්න. 

එසේම අධ්‍යාපන වැඩසටහන් නිමා වුවද, දිගින් දිගටම තිරයේ කාලය ගතකරන දරුවන් එයින් මගහරවා ගැනීම අත්‍යවශ්‍ය වේ. වීඩියෝ ක‍්‍රීඩාවල යෙදීමෙන් ඒවාටම ඇබ්බැහි වන දරුවන් විශාල සංඛ්‍යාවක් අද වන විට සිටින අතරම  ඔවුන් එළිමහනේ ක‍්‍රීඩාවලට කැමැත්තක් නොදක්වයි. එය එසේ වුවද එයින් දරුවන් මුදවා ගැනීම මව්පියන් වශයෙන් අපේ වගකීම බව අමතක නොකළ යුතුය. 

ශරීරයට ව්‍යායාම නොලැබී යාමෙන් දරුවන් අධික බර නැතහොත් ස්ථූලභාවය වැනි රෝගවලට ලක් වීමේ ඉඩ කඩ මෙවැනි වාතාවරණයක් යටතේ වැඩි වනු ඇත. දැනට දියවැඩියාව ඇති ළමයින්ද දක්නට ඇත. එබැවින් ඔවුන් ශරීරය වෙහෙසවන ක‍්‍රීඩාවලට යොමු කරන්න. නිවස තුළ හෝ ඔවුන්ට යම් යම් ක්‍රියාකාරකම් ලබා දෙන්න. එසේම දරුවන්ගේ ආහාර රටාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න. නිවස තුළම කොටවූ අපේ දරුවන්ට තෙල් කෑම, පැණි රස කෑම, පිටි කෑම වැඩිපුර ලබා දීම නුසුදුසු බවත් පළතුරු, එළවළු, කොළ, ධාන්‍ය වර්ග දරුවන්ට ලබාදෙන්නටත් උනන්දු වන්න. 

හිරු එළියේ නිරාවරණයට නොයන බැවින් දැනට විටමින් D ඌණතාවයක් ඇති දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඇත. විශේෂයෙන් කුඩා දරුවන්ට විටමින් D අඩු වුනොත් අස්ථි රෝග ඇති වේ. දෙපා බකල වීම ඇති දරුවන්ද විශාල වශයෙන් අපට මුණගැසේ. එබැවින් උදෑසන අව්වේ පැයක්වත් ක‍්‍රියාකාරකමක දරුවන් යොදවන්න. 

එමෙන්ම අපේ දරුවන්ට පරිසරය, සතා සිව්පාව ගැන වගේම අපේ සිරිත් විරිත්, කෘෂිකාර්මික තොරතුරු පිළිබඳව කරුණු කාරණා රැස් කරන්නට ඉගෙනීමට වැඩිහිටියන්ගෙන් අතීත රස කතා පිළිබඳව අසා දැනගැනීමට මේ කාලය යොදවන්න. ආගමික කටයුතු වැනි දේ පුරුදු පුහුණු කිරීමද මේ කාලය වඩා හොඳින් යොදා ගත හැකිය.

තවද කොරෝනා වෛසරය හෝ වෙනත් වෛරසයක් ශරීර ගත වුවොත් ශ්වසන පද්ධතියේ ආසාධන ඇති වේ. ශ්වසන රෝග, නියුමෝනියා තත්ත්ව ඇති විය හැක. යම් හෙයකින් එසේ ආසාධනයක් ඇති වුවොත් එයින් වෙන සංකූලතා අවම කිරීමට පෙනහලු ශක්තිමත් කරගෙන සිටීම වැදගත් වේ. ඒ සඳහා මේ දිනවල ගෙදරදී සියලු දෙනාටම හුස්ම ගැනීමේ ව්‍යායාම කළ හැක. එමගින් පෙනහලු ධාරිතාව වැඩි කරගත හැක. එවිට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ලබාගත හැකි බැවින් සෙම ස‍්‍රාවයන් වැනි දේ ආවත් වැඩි අවදානමකට මුහුණ දීමට සිදු නොවේ. තල තුනක් ඔස්සේ පෙනහලු ධාරිතාව වැඩි කරගැනීමට හුස්ම ගැනීමේ ව්‍යායාම තුනක් ඇත. ඉදිරියට පපුව පුම්බමින්, පැත්තට පපුව පුම්බමින් සහ උදරය ඉදිරියට එන ලෙස හුස්ම ගැනීමෙන් ලෙස ව්‍යායාම ඇත. 

දරුවන්ගේ ජීවිත එක් තැනක නතර වී ඇති ස්වභාවයක් ඔවුන්ට නොදැනෙන ලෙස මේ කාලය ගෙවා දැමීමට වැඩිහිටියන් ලෙස අප සැමවිටම කල්පනාකාරී විය යුතුය. දරුවන් ශාරීරිවත් මානසිකවත් සුවෙන් තැබීම මව්පියන් වශයෙන් අපේ පළමු යුතුකම බව කිසිවිටෙකත් අමතක කරන්න එපා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here