අපි කොයි තරම් කැපකිරීම් කළත් වෙහෙස වුණත් ඇතැම් අවස්ථාවලදී දරුවන් ඉගෙනීම පැත්තෙන් පසුබාද්දී ඒකට හේතුව දරුවාගේ උනන්දුවක් නැතිකම කියලා බොහෝ දෙනෙක් හිතුවත් එතැනදී ඒ තත්ත්වය ගැන තවත් පැත්කින් හිතන්න වැඩිහිටියන් විදියට අපිට හැකි විය යුතුයි. ඇයි දරුවෙක් ඉගෙනීමට පසුබාන්නේ. මොනවද මේ ඉගෙන ගැනීමේ අපහසුතා කියන්නේ කියලා අපි අද කතා කරමු.
දරුවෙකුට ඉගෙනීමේ අපහසුතා ඇති කිරීමට හේතු බොහොමයක් බලපානවා. නමුත් අවබෝධයක් නොමැතිකම නිසා දෙමාපියන් ඇතැම් විට මේ තත්ත්වය වටහා නොගන්නවා විය හැකියි. අන්න ඒ නිසාම ඔවුන් හිතන්නේ ඉගෙනීමට දුර්වල වීමට හේතුව දරුවාගේ මුරණ්ඩුකම, කියන දේ අහන්නේ නැති එක වගේම කිසිම උනන්දුවක් නැතිකම කියලයි. අන්න ඒ නිසාමයි අපි කොච්චර ඔයාට උදව් කරනවද, ඔයා යන්නේ හොඳම ටියුෂන් සර් ළගට, ඒත් ඔයා ඉගෙන ගන්නේ නෑනේ කියලා මව්පියන් අතින් කියවෙන්නේ බොහෝ විට තත්ත්වය ගැන අවබෝධයක් නොමැතිකම නිසයි. ඒත් තත්ත්වය හරිහැටි නොදැන දරුවාට සෘණාත්මක ප‍්‍රතිචාර ලබාදීම සුදුසු නැහැ. ඒ, බොහෝවිට දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතා ඇති වෙන්න පහත තත්ත්ව හේතු වෙන නිසයි.
- ලිවීමේ අපහසුතාවය
යම් දරුවෙක්ට ලිවීමේ අපහසුතාවයක් ඇත්නම්, යම් හෙයකින් පැන්සල අල්ලන්න හරියට දන්නේ නැත්නම් එහෙමත් නැත්නම් පැන්සල අල්ලද්දී එයාගේ ඇඟිලි රිදෙනව නම් ඒ සංවේදනය එයාට ප‍්‍රසන්න අත්දැකීමක් නොවෙනව නම් ඒ අවස්ථාව අපට ඉගෙන ගැනීමේ අපහසුතාවයකට මුල පාදන හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒවගේම තවත් දරුවෙක් නිවැරදි පැත්තට නැතිව අනෙක් පැත්තට ලියනවා විය හැකියි. උදාහරණ විදියට b වෙනුවට d ලියන අවස්ථා, ස යන්නට වෙනුවට ය යන්න ලියන අවස්ථා තියෙනවා. ඒ වගේම ත වෙනුවට න යන්න මාරු වෙන අවස්ථා තියෙනවා. මේ හේතුවත් ඉගෙන ගැනීමේ අපහසුතා යටතේ ලිවීමේ අපහසුතා කියන කොටසට ඇතුළත් වෙනවා.
- නිවැරදිව කියවීමට නොහැකි වීම
නිවැරදිව කියවීමේ නොහැකියාවත් ඉගෙනීමේ අපහසුතාවයක්. උදාහරණයක් විදියට දරුවෙක් යමක් කියවගෙන යද්දී සමහර තැන්වල නැති ශබ්ද දරුවා උච්චාරණය කරනවා. ඒවගේම තවත් සමහර තැන් වල තියෙන ශබ්ද මගහැරලා ඒ ශබ්දය වෙනුවට වෙන ශබ්දයක් ආදේශ කරනවා. එහෙමත් නැත්නම් ඒ ශබ්දය නැතුව වාක්‍යය ඉස්සරහට කියවනවා. තවත් සමහර දරුවන්ට ඒ කියවන දේ තේරුම්ගන්න බෑ. අපි එදිනෙදා ව්‍යවහාරයේ කතා කරද්දී කියනව නම් ගිරවු කියවනවා වගේ කියවනවා, හැබැයි තේරුමක් නැහැ. තමන් මොකක්ද කියෙව්වේ, තමන් කියෙව්ව එකේ අන්තර්ගතය මොකක්ද කියන එක ඔවුන්ට තේරුම් ගැනීමේ අපහසුතා තියෙනවා. මේකත් අපිට ඉගෙන ගැනීමේ අපහසුතා ඇති වීමේ තත්ත්වයක් වෙනවා.
- වටහා ගැනීමේ අපහසුතා
ඒවගේම ඇතැම් දරුවන්ට ගුරුවරයා කියන දේ වටහා ගැනීමට අපහසුයි. ගුරුතුමිය පාඩමක් කියා දෙන විට කියන වචන ඔක්කොම ඇහුනත් ඒ වචන ටික ගලපලා ගුරුවරයා කිවූ දේ නිවැරදිව ගලපගන්න අපහසු දරුවොත් ඉගෙන ගැනීමේ අපහසුතා තියෙන කොටසට ඇතුළත් වෙනවා.
- උච්චාරණයේදී ප්‍රකාශනයේදී ඇති වෙන ගැටලු
උච්චාරණයේදී ප්‍රකාශනයේදී ඇති වෙන ගැටලු ද ඉගෙනීමේ අපහසුතා ලෙස දැක්විය හැකියි. වචන උච්චාරණ අපහසුතා තියෙන දරුවන්ගේ පසුකාලීනව ඉගෙන ගැනීමේ අපහසුතා ඇතිවීමේ අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට යම් කිසි දරුවෙක් ට වෙනුවට ත යොදා කියනව නම්, එය මුල් අවධියෙම නිවැරදි නොකළොත් අට සහ අත යන වචන දෙකම එකක් විදියට දකිනවා. අසා ලිවීමකදී වුවත් අට කියලා ලියන්න දුන්නත් දරුවා ලියන්නේ අත ලෙසයි. මෙය සුළු වැරැද්දක් වුවත් එය නිවැරදි නොකළහොත් ඉතා විශාල ලෙස බලපෑම් කළ හැකියි.
- අවධානයේ මට්ටම අඩු වීම
ඒවගේම දරුවගේ අවධානයේ මට්ටම අඩු වීම තවත් ඉගෙනීමේ අපහසුතාවයක් ලෙස දැක්විය හැකියි. කිසිම දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්න නොහැකි වීමයි. මේ නිසා යම් කිසි ක‍්‍රියාකාරකමකදී දුන්නොත් අපි ඒක හැකි ඉක්මනින් අවසන් කළ යුතුයි. පරිබාහිරව එන උත්තේජන හේතුවෙන් ඉතා ඉක්මනින් අවධානය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ හේතුවෙන් ක්‍රියාකාරකම සමග සම්බන්ධ වීමට බාධා වෙනවා. ඒ වගේම ඇතැම් දරුවන් තුළ මතකය සම්බන්ධ ගැටලු දැකිය හැකියි.
මෙවැනි තත්ත්ව අවබෝධ කරගනිමින් අවශ්‍ය චිකිත්සක ප්‍රතිකාර වෙත දරුවන් යොමු කිරීම මව්පියන්ගේ වගකීමක්. මෙහිදී මනෝ චිකිත්සක ප‍්‍රතිකාර හෝ දරුවාට අවශ්‍ය විශේෂ අධ්‍යාපන පහසුකම් හෝ ලබා දී දරුවා පිළිබඳව තක්සේරුවකට පැමිණ දරුවාගේ කුසලතා මෙන්ම අපසුතා හඳුනා නිසි මල පෙන්වීම යටතේ අවශ්‍ය නිවැරදි ප‍්‍රතිකාර ලබාදී ඉගෙනීමේ අපහසුතා මග හරවා ගත හැකියි. දරුවා වෙනත් දරුවන් සමග සන්සන්දනය කිරීම, දරුවාගේ වැරදි අඩුපාඩු නිතර නිතර අන්‍යයන් ඉදිරියේ පවා පැවසීම කිසිසේත්ම සුදුසු නොවේ.
මව්පියන් විදියට අපි මේ තත්ත්වය හඳුනා ගන්නේ කොහොමද ?
අපි ගොඩක් වෙලාවට හිතනව අපේ දරුවගේ කන හොඳට ඇහෙනව නම් ඒවගේම දරුවට හොඳට පේනව නම් ඒවගේම දරුවගේ අත් ඇඟිලි හොඳට වැඩ කරනව නම් දරුවගේ කට හොඳට වැඩ කරනව නම් දරුවට ඉගෙන ගැනීමේ අපහසුතාවයක් තියෙන්න බැහැ කියලා. ඒත් ඇත්තටම අපි බැලූවොත් ඇස අපිට දකින දේවල් ලබාදෙනවා, කන අපිට ඇහෙන දේවල් ලබාදෙනවා, එතකොට අතින් අපි අකුරු ලියනවා, එහෙමත් නැත්නම් චිත‍්‍ර අඳිනවා. කටින් අපි ප‍්‍රකාශ කරනවා, කියවනවා, කතා කරනවා. හැබැයි මේ හැමදේටම central processing unit එකක් තියෙනවා. අපි බැලූවොත් අපේ සිරුරේ හැමදෙයක්ම පාලනය වෙන්නේ මොළයෙන්. හැබැයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ අපේ දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතා වලදී මෙන්න මේ මොළයේ යම් අපහසුතාවයක් තියෙනවා කියලා. අන්න ඒ නිසයි අපි ගොඩක් වෙලාවට කියන්නේ ඇස් දෙක පේනව නම්, කන් දෙක ඇහෙනව නම්, දරුවගේ අත වැඩ කරනව නම්, කට වැඩ කරනව නම් ඇයි මේ දරුවට වැඩ කරන්න බැරි කියලා. ඒත් ඇත්තටම එතන ප‍්‍රශ්නය වෙන්නේ කිසිවකත් නොව මොළයේ ක්‍රියාකාරීත්වයයි. මෙහිදී භාෂාව, මතකය, සංකල්ප යන දේවල් සාමායෝජනය කොට ඉදිරිපත් කිරීමට දරුවාගේ මොළය නිවැරදිව පණිවිඩය වටහා ගැනීම මෙන්ම එය නිවැරදිව ප්‍රකාශ කිරීමට අපොහොසත් වනු ඇත. මෙය ඉගෙනීමට බාධා ඇති කරනු ඇත. දෙමව්පියන් මෙවැනි අවස්ථාවකදි ඉතා කාරුණිකව දරුවන්ට අවශ්‍ය සහය ලබාදිය යුතුය.
අවධාන මට්ටම ඉතාම අඩු මට්ටමක ඉන්න දරුවෙක් නම් බාධක අවම වටපිටාවක් සමග ඉගෙනීමට සලසා දෙන්න. අද වෙද්දී දරුවෝ ඉගෙනීම් කටයුතු සිදුකරන්නේ දුරකතනය, පරිගණකය හෝ ටැබ් ආධාරයෙනි. විශාල බෝඩ් එකක් ආධාරයෙන් පන්ති කාමරය තුළ ඉගෙන ගත් දරුවන් අද වෙද්දී දුරකතනයේ කුඩා තිරය සීමා වී සිටී. මේ දිනවල පවතින ඔන්ලයින් අධයාපන ක්‍රමය ඉගෙනීමේ අපහසුතා ඇති දරුවෙකුට සුදුසු නොවේ. එවැනි දරුවෙකුට දෙමාපිය සහය අනිවාර්යෙන්ම අවශ්‍යය. දරුවාට බාහිර පරිසරයෙන් ආ හැකි සෘණාත්මක බලපෑම්, උත්තේජන පුහැකි තරම් අවම කරමින් සහය ලබා දිය යුතුය. ගුරුවරු සමග නිතර දරුවා සම්බන්ධව සාකච්ඡා කළ යුතුය. දරුවන්ගේ ඉගෙන ගැනීමේ අපහසුතාවලදී ඉතාම ප‍්‍රායෝගිකව සහය විය හැක්කේ එවිටයි.
ඔබ, මේ හා සම්බන්ධව දැනුවත් වෙන්න. එවිට ඔබේ දරුවාගේ ගැටලුව ඔබට අවබෝධ වනු ඇත. එවිට ඔබ දරුවාට උදව් කළ යුතුතේ කෙසේද යන්න වටහා ගත හැක. අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සහිත පලපුරුදු වෘත්තිකයන් හමු වී අවශ්‍ය සහය ලබාගන්න.
සමාජය ඔබට මොන දේ පැවසුවත් අඔබගේ දරුවා යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කිරීම, ඒවගේම ඔබේ දරුවා සවිමත් කෙනෙක් කිරීමේ වගකීම ඇත්තේ ඔබටයි. ඔබට හැර අන් කිසිවෙකුටත් ඔබේ දරුවගේ අධ්‍යාපනයට උදව් කිරීම, දරුවගේ අපහසුතා අවම කිරීම කළ නොහැකියි. අන්න ඒ නිසා සමාජයට බියේ දරුවන්ට උදව් කළ යුතු මග අවහිර කර නොගත යුතුයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ආචාර්ය නිමීර වීරරත්න මහතා
භාෂා හා කථන ව්‍යාධිවේදී
පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ