- Advertisement -

පොඩ්ඩන්ගේ ද්විත්ව චරිත රංගනය….

-

පුංචි පැටවුන්ගේ ගති පැවැතුම් ගැන දෙමව්පියන්ටවත් විශ්වාස තබන්න බැහැ. ඒ තරමටම ඔවුන්ගේ හැසිරීම් රටාවන් බොහොම වෙනස් වෙන්න පුලුවනි. සමහර පුංචි පැටවුන් නිවසේදී යහපත් ගති පැවැතුම් පෙන්වුවත් පිටස්තර තැන්වලදී ඔවුන්ගේ හැසිරීම නිවසේ හැසිරීමට වඩා බොහොම වෙනස්. තවත් දරුවන් කොටසක් සිටිනවා ඔවුන් නිවසේදී බොහොම දඩබ්බර ගති පැවැතුම් පෙන්නුම් කළත් පිටස්තර ලෝකයට බොහොම සුවච කීකරු දරුවන් විදිහට ප්‍රශංසා ලබනවා . සමහර විට ඔබේ දරුවාත් මේ විදිහට ද්විත්ව චරිත ලක්ෂණ පෙන්වනවා වෙන්නත් පුලුවනි.

ඔබ මෙහෙම හිතනවාද…?

- Advertisement -

අපේ පුතා ගෙදරදී නම් හරිම අමාරුකාරයෙක්. ඒ වුනත් පිටස්තර ලෝකයේදී හරිම තැන්පත් දරුවෙක්. අනේ අපිට කොහොම වුනත් කමක් නැහැ. බාහිර ලෝකයට එයාගෙන් කරදරයක් නැහැනේ…කියල හිත හදා ගන්නවාද…?

ඒ වගේම තවත් දෙමව්පියන්ට මේ විදිහට සැකයක් ඇති වෙන්න පුලුවනි. අපේ පුතා හරිම තැන්පත් දරුවෙක්. ඒ වුනත් එයාගේ පුංචි සමාජයේදී එනම් අසල්වැසි දරුවන් සමග එහෙම නැත්නම් පංතිය..පාසල වැනි තැන්වලදි හරිම කරදරකාරයෙක්…

අනේ හිතාගන්නත් බැහැ…

හැබැයි නිවසේ සිටින දරුවාගේ තැන්පත් ගති පැවැතුම් නිසා පිටස්තර අයගෙන් විවිධ පැමිණිලි ආවත් ඒවා ඔබට විශ්වාස කරන්නත් අපහසු වෙන්න පුලුවනි. අනේ කවුද දන්නේ ඔය කියන දේවල් ඇත්තද කියලා. අපේ දරුවට ඉරිසියාවට වෙන්නත් ඇති. මේ අන්දමේ සිතුවිලිවලින් ඔබ සමහර විට හිත හදාගන්නවා වෙන්නත් ඇති.

දරුවන් මේ විදිහට ද්විත්ව චරිත රංඟනයක යෙදෙන්නේ ඇයි..?

සමහර දරුවන් නිවසට බොහොම හික්මුන විලාසයක් පෙන්වන අතරවාරයේදී බාහිර ලෝකයට ඔවුන්ගෙන් හිරිහර සිදු වීම පිටුපසින් දිවෙන මානසික හේතුවක් තිබෙනවා.ඔබේ නිවසේ පුංචි වපසරියේදී දරුවා ඔබේ අණසකට යටත්ව හදා වඩා ගත්තත් එයින් ඔබ්බට තිබෙන බාහිර ලෝකයේදී හැසිරෙන ආකාරය ඔවුන්ට හිතට දැනෙන විදිහට වටහා දී නැති වීම ප්‍රධාන හේතුව විදිහට පෙන්වා දෙන්න පුලුවනි.

දරුවා පීඩනය පිටකරන ආකාරය වෙන්නත් පුලුවනි…

ඔබ නොදකින තවත් හේතුවක් මෙතැන තිබෙනවා. බිත්ති අතර සිරගතව සිටින දරුවා ඔවුන්ගේ මානසික පීඩනය මුදා හරින්නත් අවස්ථාවක් ගොඩ නගා ගන්නවා. ඒ නිසාම අසල්වැසි දරුවන් සමග සිටින විට හෝ පංති කාමරයේ සමවයස් කන්ඩායම් අතර ඔබේ දරුවා අනුන්ට බොහොම හිරිහැරකාරී චරිතයක් වීමට පුලුවනි.එය දරුවාටත් නොදනීම ඔහුගේ මානසික බලපැමෙන් සිදු වෙන ස්වයංක්‍රිය හැසිරීමක් බවත් අමතක කරන්න එපා.

කිසිම කරදරයක් නැති දරුවෙක්…

ඔබේ ඇසුරේ සිටියදී ඉතාම නොහික්මුණ ඔබේම දරුවා බාහිර සමාජයේදී ඉතාම හික්මීමක් ඇති දරුවෙක් ලෙසින් ඇගයුම් ලැබීමටත් හේතුවක් තිබෙනවා.පිටස්තර උදවිය මේ අන්දමින් ඔබේ දරුවාට ප්‍රංශසා කරන විට එය අදහා ගත නොහැකි වුනත් ඇත්තටම එකම දරුවා තුලින් මේ අන්දමින් පරස්පර ගති පැවැතුම් ප්‍රදර්ශනය වෙන්නේ ඇයි…?

දෙමව්පියන්ගෙන් නොලැබෙන මානසික අවශ්‍යතාවයන් ලැබෙනවා ඇති.

පවුලක් වෙතින් දරුවාට ලැබෙන රැකවරනය සහ සුරක්ෂිත බව ලැබුනත් සමහර විට දරුවාට ලැබෙන ආදරය, දරුවාට ඇගයුම් ලැබීම, සහ දරුවා ගැන දක්වන අවධානය පිළිබඳව දරුවා තුළ තිබෙන හිස්බව නිසාම මෙවැනි තත්වයන් ඇති විය හැකියි.

ඒ නිසාම බාහිර සම්බන්ධතාවයන්හිදී දරුවාට පුංචි ඇගයුමක් ලැබුනත් ඔහු ඒ ගැන මහත් තෘප්තියට පත් වෙනු ඇති. ඔබේ බාලකාලය ගැන සිතන්න. පංතියේදී ලැබෙන රතු ලකුණ ගැන ඔබේ සිතට දැනෙන අභිමනාය ගැන ඔබටත් අත්දැකිම් ඇති. ඒ වගේම කළු ලකුණක් ලද තැන ලෝකයම බිඳ වැටුනා සේ  දැනෙන කම්පනය ගැනත් ඔබේ ජීවිතයේ අත්දැකීම් ඇති.මේ අවස්ථාවන් ගැන ආවර්ජනය කරද්දී ඇගයුමට සහ චෝදනාව ගැන ළමා සිත දක්වන ප්‍රතිචාර ගැන ස්වයං අවබෝධයක් ඔබටත් ඇති.

අද ඔබේ දරුවා සිටින්නේ එතැනයි..

ඒ නිසාම පවුලක් වෙතින් දරුවාට ලැබෙන ගරුත්වය. ඇගයුම නොමැති තැන දරුවා මෙවැනි ගුනාංගයන්ට දැඩි සේ ඇළුම් කරන්න පටන් ගන්නවා. ඒ නිසාම බාහිර සමාජයෙන් ලැබෙන පැසසුම් පසුපසම ලුහුබඳිමින් ඒ අනුව තමාගේ ජීවිතය හැඩගසා ගැනීමට දරන උත්සාහය නිසා බාහිර සමාජයේදි ඔබේ දරුවා යහපත් යන ආකෘතිය මත පිහිටා කටයුතු කිරීමත් මනෝවිද්‍යාත්මක තත්වයක් බැව් අමතක කරන්න එපා.

ද්විත්ව රංගනයක් නැති දරුවෙකු දකිනු රිසි නම්…

මේ අන්දමින් බාහිර සමාජයේදී හොඳ සහ නරක අතර දෝලනය වන ද්විත්ව රංගනයක් නොමැති සුවච දරුවෙකු දකින රිසයෙන් පසුවෙන දෙමව්පියන් විදිහට ඔබේ දරුවා සමග බොහොම ප්‍රවේසමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

දරුවෙක් ලෙසින් හොඳ යන සංකල්පයෙන් ඇගයුම ලැබීමට සුදුසු වන සේ බාල කාලයේ පටන්ම දරුවා හැඩ ගසන්න. අතීතයේදී දෙමව්පියන් දරුවන්ට කියා දුන්නේ

”දහ දෙනෙක් හොඳයි කිව්වොත් දෙවියොත් හොදයි කියනවා…යන සංකල්පයයි. ඒ නිසා දෙමව්පියන් දරුවන්ට දැනමුතුකම් දුන්නේ නිවසේදී වගේම බාහිර සමාජයෙන්ද ඇගයුම් ලැබෙන සේ දරුවා ගොඩ නැගීමටයි.

”හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී..”‘

දරුවාට මෙවැනි ආදර්ශ පාටයක් අනුව ජීවිතය ගොඩ නගා ගැනීමට උපදෙස් දෙන්න. අම්මා..තාත්තා…ආච්චි..සීයා වගේම ගම..රට ආදරය කරන දරුවෙක් ලෙසින් ජීවත්විය යුතු බව කියා දෙන්න.ඒ වගේම බාහිරව ලබන ඇගයුම වගේම දෙමව්පියන්ට සුවචව සිටිය යුතු බැව් දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න. එවිට මෙම ද්විත්ව රංගනය වෙනුවට සැබෑ ලෙසින්ම සුවච කීකරු දරුවෙකුගේ දෙමව්පියන් වීමේ වාසනාව ඔබටත් ලැබෙනු ඇත.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article