ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය එකම කාසියක දෙපැත්තක් වගෙයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝම්බර් පළමු වැනි දිනට යෙදී තිබෙනවා. දරුවා යනු ලෝකයට සම්පතක්. අද දරුවා හෙට ලෝකයේ වගකිය යුතු චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා දරුවා යනු සුවිශේෂී චරිතයක්.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද….?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 193 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර ඒ සඳහා තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දුන්නා.

දරුවා ගැන දාර්ශනික අදහස්

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කලේ  ‘පුත්තා වස්තු මනුස්සානං” යනුවෙනුයි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරෙක කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනිය. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන් තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොඳම දෙය බවයි. චීනයේ නිර්මාතෘ මා වෝ සේතුං කියා සිටියේ ලෝකයේ උත්තම චරිතය වන්නේ දරුවා බවයි.

ඔක්තෝබර් පළමුවැනි දිනටම ළමා දිනය සමරන්නේ නැහැ

රොමේනියාව ජාත්‍යන්තර ලමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයන්ට ඇතුළු වී විනෝද වෙන්න පුළුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා. බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගත්තේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී ඇති නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්තානයත් මේ දවසම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් යොදා ගත්තා.

ළමා දිනයක් වැදගත් ඇයි…..

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය , රැකවරණය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතාබහ කරමින් කතිකාවතක් ගොඩ නගනවා. මේ කතිකාවත තුළින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරණයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකවත ගොඩ නැගිය යුත්තේ….

දරුවෙක් යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චරිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂන කිපයක් තිබෙනවා.

දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර දර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් කර දීම අවශ්‍යයි.

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් යන දෙකම ඔක්තෝබර් පළමු වැනි දිනට යෙදී තිබිම ගැන….

අද දරුවන් හිතන්නේ බොහොම යාන්ත්‍රික විදිහටයි. දරුවන් පිළිසිඳ ගැනීම යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. ඒ නිසාම මෙතැනින් ඉදිරියට ඒ ගැන සිතීමට අවශ්‍ය නැති බව දරුවන්ගේ අදහසයි. තමන් මව් පියන් විදිහට කටයුතු කරන යුගයකදීත් දරුවන්ගෙන් ඔවුන් යමක් බලාපොරොත්තු නොවෙන බව ඔවුන් කියනවා.

වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි දිනයක් අවශ්‍යද….?

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වැඩිහිටි අවධිය කියන්නේ දෙවැනි ළමා අවධියක්. දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කොට ඒ දරුවන් සමාජයේ ස්ථානගත වුන පසුව ජීවිතයේ තිබෙන වගකීම් නිදහස් වුනත් මානසිකව ඇති වෙන හුදෙකලාවට පිලියම් අවශ්‍යයි. තමා වෙනුවෙන් ඇගයීම , ගරුත්වය සහ පිළිගැනීම ඔවුන් ඉහලින්ම අපේක්ෂා කරනවා. මේ නිසා දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ සුබ සිහින වෙනුවෙන් මග පෙන්වන ලද වැඩිහිටියන් ඇගයීම වෙනුවෙන් දිනයක් වෙන් කිරීම වැදගත් සමාජ මෙහෙවරක් වෙනවා.

ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි..

  • පරම්පරා අතර ගැටුම

අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි.එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. 

  • වැඩිහිටියා අවලංගු කාසියක් වීම.

එදා පවුල මුල් කර ගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තීරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත්ව ඇත. නමුත් අද . ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් නිවසේ තමාට ලබා දෙන නොවැදගත්කම හෙවත් අවලංගු කාසියක් බවට පත් වෙන විට අනේ….මටත් ගිය කලක් යන ආත්මානුකම්පාවෙන් වැඩිහිටියන් මහත් කම්පාවට පත් වෙනු ඇත.

පුංචි පවුල රත්තරන් වීම.

පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙකු හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නනට මැලි වූයේ නැත. අද පවුලක ඇත්තේ දරුවන් දෙදෙනෙක් පමනි. මේ රත්තරන් පවුලේ දරුවන්ද තමාගේ ස්වාධීන ජීවිතය ගොඩ නගා ගැනීමේදී ගම මුල් කර ගත් පවුල හැර දමා නගරයට විටෙක විදේශගත වන්නට පවා අවශ්‍යතාවයන් ගොඩ නැගෙනු ඇත. එවන් අවස්ථාවලදී දෙමව්පියන් රැක බලා ගැනීමට සෙසු දරුවන්ට යැයි පැවරිය හැකි කෙනෙක්ද නැත. දෙමව්පියන් නඩත්තුව බරක් වීම

දරුවන්ගේ බාලකාලයේදී ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පවා උපරිමයෙන් ලබා දීමට දෙමව්පියන් නොගන්නා උත්සාහයක් නැත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා ඔවුන් දරුවන්ගේ බත් පත වැරැද්දුවේ නැත. ඒත් අද දරුවන්ගේ ආහාරපාන තුළ දෙමව්පියන්ට කිසිදු තැනැක් නැත. දරුවන් කන බොන දෙය මිස මව්පියන් කන බොන දෙය විමසන්නේ නැත. හවසට නිවසට පැමිණ විමසන්නේ පුතා / දුව බත් කෑවාද…තාත්තා අම්මා කෑවා නොවේ. තමන්ගේ දරුවන්ගේ සුව දුක් ගැනයි.

අද වැඩිහිටි ජනගහනය සිඝ්‍ර ලෙසින් ඉහළ යමින් පවතී. මේ නිසාම වැඩිහිටි ජනගහනය සමාජයට ප්‍රශ්නයක් බවට පත්ව ඇත. පවුල තුලින් පවා තමා ප්‍රතික්‍ෂෙප වන විට මෙම වැඩිහිටි පිරිස් දරුවන්ගෙන් දුරස් වෙන ප්‍රවනතාවයක් නොදැනම ගොඩ නැගෙනු ඇත. කෙසේ හෝ වේවා වැඩිහිටි පිරිස් සිය ජීවිතයේ අවසාන කාලය ගත කරන ආකාර කිහිපයක් ඇත.

  • දරුවන් සමග මහගෙදර ජීවත්වීම.
  • මහගෙදර තුළ දරුවන් නොමැතිව වාසය කිරීම.
  • මෙහෙකරුවන් සමග හෝ ඥාතිවරයෙක් සමග ජීවත්වීම.
  • වැඩිහිටිනිවාසයන්හි ගත කිරීම.
  • මහමගට වැටිම.

එහෙමනම් දරුවා වගේම වැඩිහිටියාගේ ජීවිතයටත්  ආදරය, ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය බැව් දෙවරක් හිතන්න අවශ්‍ය සිදුවීමක් නොවේ.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here