ආසාත්මිකතාවය- Allergy

ආසාත්මිකතාවය එහෙම නැත්නම් අප අතර හුරු පුරුදු ඉංග්‍රිසි වචනයෙන් කියනවා නම් Allergy ඇති වෙන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.

ආසාත්මිකතාවයන් ඇති කරන ප්‍රධාන හේතු

  • ආහාර
  • ඖෂධ
  • කෘමින්
  • පරිසරය

 ආසාත්මිකතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතූන් නිසා ආසාත්මිකතාවයන් ඇති වෙනවා.උදාහරණයක් විදිහට තක්කාලි  ආහාරයට ගත්තාම එක් අයෙකුට එයින් අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. නමුත් හැම කෙනෙකුටම තක්කාලි නිසා අපහසුතාවයන් ඇති වෙන්නේ නැහැ.ඒ වගේම තක්කාලි ආහාරයට ගන්නා හැම අවස්ථාවකදීම කුමන හෝ  රෝග ලක්ෂණ ඇති වුනොත් ඒ තත්වය පහසුවෙන්ම ආසාත්මිකතාවයක් විදිහට අපට හඳුන්වන්න පුලුවනි.

ආසාත්මිකතාවය ඇති වෙන්නේ…

අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරක වලට ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරනය වුනාම ඊට විරුද්ධව ප්‍රතිශක්තිය පද්ධතිය මගින් ඉමියුග්ලෝබින් ^ IgE& ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා.  මෙම ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහළ කරන්නේ නැතුව basophil සෛල සමග  සම්බන්ධ වී තිබෙන්න පුලුවන්.  මේ සෛල ඇතුලත ගබඩා වී   හිස්ටමින් preformed mediator   මුදාහරින විට ආසාත්මික  රෝග ලක්ෂණ පහළ වෙනවා. මීට අමතරව basophil හා Mast සෛල වලට අලුතින් ක්‍රියාකාරී වුන preformmediators රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්වය උත්සන්න කරන්නත් පුලුවන්.  

ආසාත්මිකතාවය කාලය සමග සම්බන්ධයි…

ආසාත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි. උදාහරණයක් විදිහට යම් හේතුවකට නිරාවරණය වීමෙන් පසුව තත්පර ගණනක සිට පැය දෙකක් වැනි කාලපරාසයකදී රෝග ලක්ෂණ ඇති වෙනවාග මේ නිසා ආසාත්මිකතාවයක් ගැන පැමිණිලි කරන රෝගියෙකුගේ රෝග තත්වය නිශ්චය කිරීමට ආසාත්මිකතාවයට තුඩු දුන් හේතුව ( රෝගියා ආසන්නව ලබා ගත් ආහාර, ඖෂධ වැනි ) සහ කාලය ගැන සලකා බැලීම සිදු වෙනවා.

ආහාර සහ ඖෂධ වැනි හේතූන් නිසා රෝගී වුන අවස්ථාවකදී කාලය ගැන සලකා බැලුවත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකදී  නම් කාලය ගැන සලකා බැලීම අපහසුයි. ඊට හේතුව මෙතැනදී ශ්වසන පද්ධතියට රෝගකාරකයන් ඇතුළු වූ කාලය ගැන අපට යම් නිවරැදි අනුමානයක් ගොඩ නගා ගැනීම අපහසු වීමයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකට උදාහරණයක් පාන්දරින්ම නිවසින් පිටට යද්දී කිවිසුම්යෑම, සොටු දියර ගැලීම වැනි තත්වයක් ඇති වෙන්න පුලුවන්. මෙහිදී විශේෂයෙන් උදේ කාලයට උෂ්ණත්වය අඩු නිසා පරාග ඝනත්වය වැඩියි. ඉර අව්ව සමග සිදු වෙන වාෂ්පීකරණය නිසා පරාග ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා රෝග දහවල් වෙන විට රෝග ලක්ෂණ අඩුවෙනවා.

1.ආහාරවලට ආසාත්මිකතාවයන් ඇති වීම.

ඕනෑම අයෙකුට ඕනෑම ආහාරයකට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විදේශ රටවල ආහාර ආසාත්මිකතාවය ප්‍රධාන වශයෙන් කිරි, පාන්පිටි , සෝයා රටකජු වැනි ආහාර සමග සම්බන්ධයි. අපේ රටේ රකජු සම්බන්ධව එතරම් පැමිනිලි නැහැ. නමුත් එළකිරි,ක්ෂිරපායී සත්ව මාංශ , සත්ව කිරි නිෂ්පාදන වෙනුවෙන් ආසාත්මිකතාවයන් දැක්වීම සාමාන්‍යයෙන් තිබෙන තත්වයක්

2.ඖෂධ

බොහෝ විට ප්‍රතිජීවක  වෙනුවෙන් ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ සම්බන්ධයෙන්  ආසාත්මිකතාවයන් ගැන රෝගීන්ගෙන් පැමිණිළි ලැබෙනවා. ඇස්ප්‍රින් වැනි වේදනා නාශක ඖෂධ වලටත් බොහෝ දෙනෙකු  ආසාත්මිතකාවයන් දක්වනවා.

3.කෘමි සත්තු

මීමැස්සන්, දෙබරු, බඹරුන්, කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයන් ඇති වෙනවා. මෙය අපේ රටේ ඉතාම තරමක් සුලබ තත්වයක්. මෙහිදී එක බඹරෙකුගේ දෂ්ටනයෙන් වුනත් දරුණු ආසාත්මිකතාවයන් ඇති වීමට පුළුවන්. මෙය බඹරුන් රැසක් දෂ්ට කළ විට ඇති වෙන විෂ ශරීරගත වීමට වඩා වෙනස්.කෘමිසතුන්ගේ දෂ්ටනයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත් වෙනවා. 

4.පරිසරය

පරිසරය ගැන සඳහන් කරන විට  නිවස තුළ  සහ පිටත විදිහට පරිසරය කොටස් දෙකකට  සලකන්න පුලුවනි.

අභ්‍යන්තර පරිසරයේදී දූවිලි කීටයා (house dust mite) ආසාත්මිකතාවයන් ඇති කරන හේතුකාරකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි. මේ දූවිලි කීටයා නවා තිබෙන රෙදි, ඇඳ ඇතිරිලි, කොටට් උර වැනි ස්ථානයයන්හි බහුලව සිටිනවා. ආසාත්මිකතාවයන් ඇති අයට  නැගිටින විට රෝග ලක්ෂණ වැඩියි.නිවසෙන් පිටව ගියාම රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒ වගේම නිවැසි බල්ලන්, බළලුන් වැනි සතුන්ගේ ලොම් නිසාත් ආසාත්මිකතාවයන් ඇති වෙනවා.

බාහිර පරිසරයේදී නිවස අවට ඇති මල් රේණු , පරාග, සතුන් , ආදී තත්වයන් ආසාත්මිකතාවයට හේතු විදිහට පෙන්වා දෙන්න පුලුවන්.වාහන දුම නිසා ආසාත්මිකතාවයට වඩා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ ඇති වෙන වෙනස්කම් වැඩියි.  

රබර් මිශ්‍ර පාවහන්, ඔරලෝසු පටි වැනි දේ වෙනුවෙන් ඇති වෙන ආසාත්මිකතාවයන් ඇති වෙන්නේ ඉමියුග්ලෝබින් “ ඊ’ ක්‍රියාකාරිත්වය නිසා නොවෙයි. ඒ තත්වය ඇති වෙන්නේ “zzT ZZ ” සෛල ක්‍රියාකාරිත්වය නිසයි. ඒ නිසා එවැනි රෝග ලක්ෂණ සලකා බලන්නේ මීට වඩා වෙනස් අයුරින් .

ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ

  • සම,මුඛය, කණ වැනි විවිධ ස්ථානයන්හි ඇති වෙන  කැසීම

සමේ පලු මතුවීම (කරප්පං වැනි )- නමුත් සමේ වෙනස්වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙනුත් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා හමේ ඇති වෙන වෙනස්වීම් ආසාත්මිකතාවයම කියන්න බැරි වුනත් ආසාත්මිකතාවය ඇති අයගෙන්  90% ක් පමණ පලු මතුවීම සිදු වෙනවා.  සම රතුවීම- ඇස් වටා, කණ් ආදී ස්ථානයන්හි රතු පැහැ ගැනීම.

  • ශ්වසන අපහසුතාවයන් හුස්ම ගැනීමේ අපහසුතාවය, කිවිසුම් යෑම ඇදුම, වැනි
  • ඇස් රතු වීම සහ කැසීම

ආසාත්මිකතාවයේ දරුණු තත්වය- Anaphylaxis

දරුණු මාරාන්තික ආසාත්මිකතාවය Anaphylaxis යනුවෙන් හැ‍්ින්වෙනවා.. මේ උග්‍ර තත්වය මාරාන්තිකයි. සමේ ඇති වෙන රෝග ලක්ෂණයන්ට  අමතරව 

  • හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම
  • දිව, තොල් ,උගුර ඉදිමීම නිසා ඇති වෙන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාවය 
  • රුධිර පීඩනය අඩු වීම
  • මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය,කල්පනාව අඩු වීම.
  • තද උදර වේදනාව -( Colics)
  • නොනවත්තාම ඇති වෙන වමනය, 
  • මලපහ පිටවීම.

මෙලෙස ශරීරයේ ඉන්ද්‍රියයන්  දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුනොත් එය මාරාන්තික මාරාන්තික ආසාත්මිකතාවය යනුවෙන් හැඳින්වෙනවා.

ආසාත්මිකතාවය නිශ්චය කරන්නේ කොහොමද…?

  • රෝග ඉතිහාසය 

රෝගියාගේ දැනීමේ හැටියට මට ඇලජි එකක් කිව්වත් සමහර විට මේ තත්වය ඊට වෙනස් වීමට පුළුවනි. ඒ නිසා රෝගියාගේ ඉතිහාසය ගැන ලබා ගන්නා විස්තර ඉතාම වැදගත්.

  • සමේ පරීක්ෂාව 

මෙහිදි රෝගියා ආසාත්මිකතාවය දක්වන ආහාර හෝ ඖෂධ යම් මාත්‍රාවක් සමට ඇතුලු කරනවා. ඊට පසුව විනාඩි 15 කින් පසුව ප්‍රතිචාර ගැන වාර්තාව ලබා ගන්න පුලුවනි. සමේ පරීක්ෂාවට සමගාමීව පාලක පරීක්ෂාවන් දෙකක් සිදු කරනවා.

 ( අ) Positive control

හෙිදී අපි “හිස්ටමින් ” පාවිච්චි කරනවා.අදාල පරීක්ෂනයට සති කීපයක පටන් රෝගියාට ලබා දෙන ප්‍රති- හිස්ටමින් කාණ්ඩයේ ඖෂධ නවත්වනවා. මෙය රෝගියා නිසි ලෙස කර නැත්නම් මෙමගින් හඳුනා ගත හැකියි.

( ආ) Negaitive control

ඇතැම් පුද්ගලයන්ගේ සම සංවේදී නිසා සමේ වෙනස්වීම් වෙන්න පුලුවන්. සේලයින් යොදා ගෙන සංවේදී බව හඳුනා ගන්නවා.

හමේ ගැටළු ඇති අයට , ප්‍රති ආසාත්මික ඖෂධ නැවැත්වීමට නොහැකි රෝගීන් වෙනුවෙන් නම් රුධිර පරීක්ෂාවට යොමු වීමට සිදු වෙනවා.

  • රුධිරයේ ඇති ප්‍රතිදේහ පරීක්ෂාව 

ආසාත්මික කාරක  උපයෝගී කර ගෙන රුධිර පරීක්ෂාව කර හැකියි.

ආසාත්මික රෝග තත්වයට ප්‍රතිකාර…

කෙසේ වුනත් ආසාත්මිකතා රෝග තත්වයන් ඇති වුනොත් වහාම .ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනෑම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. 

රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතාම වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතාවය තවත් නරක අතට හැරෙනවා පමණක් නොවෙයි, ජීවිත හානියට පවා ඉඩ තිබෙනවා.ඒ නිසා රෝගියා හැකිතාක් විවේකීව වගේම සන්සුන්ව තබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නොවුනොත් හෘදයාබාධ තත්වය වැනි අතුරු අවදානම් තත්වයටත් ඉඩ තිබෙනවා.

ඒ නිසාම ආසාත්මිකතාවයන් ඇති අයෙකු සිටිනවා නම් ඒ වෙනුවෙන් පවුලේ අය තුළ  සැලසුමක් තිබෙන්න ඕන. 

මාරාන්තික ආසාත්මිකතාවය වෙනුවෙන්  දැන් හඳාුන්වා දී තිබෙන ඇඩ්රිනලින් ස්වයං නික්ෂේපනය මගින් මාරාන්තික තත්වයේ ආසාත්මිකතාවයකදී ජීවිත ආරක්ෂාව ලබා ගත හැකියි. 

  • ඇඩ්රිනලින් පෙන් Adrenaline pen

මෙය සාමාන්‍යයෙන් රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම එය නික්ෂේපනය කළ යුතු අවස්ථාව සහ එය නික්ෂේපනය කරන ආකාරය ගැනත් දැණුවත්ව සිටීම අවශ්‍යයි. එවිට මාරාන්තික තත්වයෙන් මිදෙන්න පුලුවන්.. මෙය භාවිතා කර රෝගියා සුව අතට හැරුනත් රෝහලට ගෙන ඒම වැදගත්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය

 

 

 


හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here