දරුවන්ට කියවන පුරුදු ගොඩ නගමු.

කියවීම අපේ ජීවිතයට බද්ධ කර ගැනීමෙන් ලැබෙන වාසි තිබෙන අප්‍රමාණ බැව් වැඩිහිටියන් වන අපි දන්නවා. නමුත් අපට තියෙන කියවීමේ උනන්දුව දරුවන් තුළ ඇති කිරීම පහසු නැති බවට සෑම දෙමව්පියෙක්ම මැසවිලි නගනවා.ඒ අතරම සමහර විට දරුවන් අතිරේක පොතක් පතක් කියවන විටත් ඒ ගැන එතරම් කැමැතත්ක් නොදක්වන දෙමව්පියනුත් ඉන්නවා. කථන්දර පොත් කියවන්න ගියොත් පාඩම් පොත් පත් වලට තිබෙන උනන්දුව නැති වෙන්න පුලුවන්. ඒ තවත් අයගේ අදහසක්.නමුත්…දරුවා තුල කියවන පුරුද්දක් ඇති වුනොත් ලැබෙන වාසි ගැන ඔබ දැන සිටිනවා නම් කවදාවත් දරුවා පොතක් කියවන විට අමනාප සිතක් ඇති කර ගන්නේ නැහැ..

ස්වයං ඉගෙණුමක්..

දරුවෙක් තමන් කැමැති පොත පත් කියවනවා නම් ඔවුන් ස්වයං ඉගෙනුමක් ලබනවා. අන්තර්ජාලය නිසා අද අවශ්‍ය හැම දෙයක්ම සැනින් සොයා ගත්තත් මුද්‍රිත පොතක තරම් සමහර කරුනු නිවරැදි නොවන අවස්ථා පවා තිබෙනවා. පොතක තිබෙන කරුණුවලට වගකිව යුතු කතුවරයෙන් හෝ සංස්ථාවක් තිබෙනවා. ඒ නිසා පොත පත කියැවීමෙන් දරුවා බොහෝ විෂය කරුණු පමණක් නොව බාහිර ලෝකය ගැනත් ස්වයං දැනුමක් ලබා ගන්නවා.

දරුවන්ට ඇසෙන සේ කතාන්දර කියැවීම..

බොහෝ දෙමව්පියන් දරුවන් නිදා ගන්නා විට ඔවුන්ට නින්ද යන තෙක් කතාන්දර කියා දෙනවා. ඒවාට ඇහුම්කන් දෙමින් දරුවා නිදි ගත්තත් ඔවුන් තුළ සවන්දීමේ කුසලතාවය ඇති වෙනවා. පෙරදිග ලෝකය ඇහුම්කන් දීමට බොහොම කැමැතියි. අතීතයේ හැම දෙනාම අකුරු නොදැන සිටි කාලයක පවා පණ කතා ඇසීමට අතීතයේ බණ මඩුවට එක්රැස් වුන යුගයක් තිබුනා.  මේ පුරුදු නිසා ගමක සහජිවනය වගේම බණ කතාවලින් කියා දෙන යහ සිතුවිලිවලින් තමන්ගේ චරිතය පවා ගොඩ නගා ගැනීමත් සිදු වුනා.

දරුවාගේ චරිත සංවර්ධනය ගොඩ නගා ගැනීමටත් පොත් කියවීමේ හුරුව වඩාත් උපකාරී වෙනවා.වචන දහස් ගණනකින් ලබා දෙන අවවාද වලට වඩා කතා පොතකින් ලබා දෙන ආදර්ශය ඉතා ප්‍රබලලෙසින් දරුවාගේ හදවතට ආමන්ත්‍රනය කරනු ඇත.

ධාරනය..

සමහර විට ඔබ විසින් දරුවාට යම් යම් දේවල් කොතෙක් කිව්වත් අමතක වෙනන් පුලුවනි. ඒ වුනත් පොතක් පතක් අවධානයෙන් කියවා රස විඳින දරුවාට තමා විසින් පොත කියවා ලද දැණුම ධාරණය වෙනවා විතරක් නොවෙයි, එය අවශ්‍ය අන්දමින් ගලපා ගැනීමේ හැකියාවත් දරුවන් බාල කාලයේ පටන්ම ලබා ගන්නවා.ඒ වගේම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය අතිරේක දැණුම ඔවුන් කියවන පොත් පතින් සොයා දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. 

නිර්මාශීලි චින්තනය අවදි වීම..

පොත් පත් කියවන විට දරුවාගේ වාග් කෝෂය පුළුල් වෙනු ඇත. පොත පතින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේම ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමේ නිර්මානශීලි චින්තනය  අවදි වෙනවා. නව  දැණුම තමාගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නා දරුවා සමාජයේ කැපී පෙනන චරිතයක් බවට පත් වෙනවා.

  • පොත් කියවීම පුරුදු කරන්නේ කොහොමද…?

සමහර විට ඔබේ බාලකාලයේදී පවා පොතක් බිම වැටුන අහුලා ගත් පොතට වැදීමට වැඩිහිටියන් කියූ අන්දම මතක ඇති. පොත් පත් කියන්නේ ඒ තරමටම වන්දනීය වස්තුවක් විදිහට එදා සැලකුවා.නමුත් අද බොහෝ වැඩිහිටියන් දරුවන් පොත් පත් ඉරා නාස්ති කරයි කියන සිතුවිල්ල නිසා පොත් පත් දරුවන්ගෙන් දුරස් කරනවා.දරුවන්ට පොත් පත් ඉරා නාස්ති නොකොට ඒවා පරිස්සමින් කියවන අන්දම කියා දෙන්න.පොත් පත් අපිරිසිදු නොකොට පරිස්සමින් පාවිච්චි කිරීම ඉතා හොඳ පුරුද්දක් බව කියා දෙන්න. නමුත් අදටත් පාසල් පොත් නොමිලයේ ලබා දෙන යුගයක වසර අවසානයේදී එකම පංතියක එකම වයසේ දරුවන් පොත් පත් පරිසස්ම් කිරීමේදී දක්වන විවිධ ප්‍රතිචාර ගැන ඔබටත් අත්දැකීම් ඇති. ඇතැම් දරුවන් ඒවා තමන්ගේ පොත් පත්වලටත් වඩා පරිස්සමින් පාවිච්චි කරනවා විතරක් නොවෙයි, හොදින්ම ඉගෙනුම් කටයුතුත් කරන අතර තවත් දරුවන් කොටසක් පොත් පත් අපිරිසිදුව සහ අප්‍රවේසමෙන් පාවිච්චි කරන්නට පෙළඹී තිබේ. ඒ අතරම මෙවැනි අප්‍රවේසමින් පොත් පත් පාවිච්චි කරන දරුවන් ඉගෙනුමටත් එතරම් උනන්දු නැති වීම සමග පොත හා දරුවන්ගේ අධ්‍යාපනයේ දක්වන පසුගාමි බව අතරත් සාජු සම්බන්ධතාවයක් තිබෙන බැව් පෙනේ.

දරුවන්ට පොත් පත් ලබා දෙන්න..

ඔබේ දරුවාට ලැබෙන ආහාරපාන ,ඇදුම් පැළදුම් සහ වෙනත් තැගි බෝග අතරටම පොත් පත් අරගෙන දෙන්නත් අමතක කරන්න එපා. අඩුම වශයෙන් දරුවා වෙනුවෙන් පුවත්පතක් හෝ මිලට ගැනීමට උනන්දු වෙන්න. හැකි නම් නිවසේ පුංචි පුස්තකාලයක් ආරම්භ කරන්න.ඒ වෙනුවෙන් එක්වර වැයබරක් අවශ්‍ය නැහැ. විටින් විට මිලට ගන්නා පොත් එකතුවෙන් පුංචි පුස්තකාලය පටන් ගන්න.

පුස්තකාලයන සාමාජිකත්වය…

ඔබේ නිවසට සමීප පලාත් පාලන ආයතනයක ඇති පුස්තකාලයේ සාමාජිකත්වය දරුවාට ලබා දෙන්න.පාසල් පුස්තකාලයෙන් පොත් පත් ගැනීමට දරුවා උනන්දු කරන්න. පුස්තකාල පොත් ප්‍රවේසමෙන් අදාල දිනයට හෝ ඊට පෙරාතුව නැවත භාරදීමේ වගකීම සිතට ලබා දෙන්න.

පුංචි දැනුම මිනුම තරඟ…

ඔබ විවේකව සිටින දවසක දරුවන් සමග දැණුම මිනුම තරගයක් පවත්වන්න. ඒ වෙනුවෙන් දරුවාගේ පුස්තකාලයේ ඇති පොත් පත්වලින් ප්‍රශ්න සකස් කිරීමට පුලුවන්. ඒ වගේම පොතක කොටසක් ගෙන එතැනින් ඉදිරියට කතාවක් ගොඩ නැගීමේ නිර්මානශීලි ක්‍රියාකාරකම් ලබා දෙන්න.අපේ රටේ වගේම විශ්ව සාහිත්‍යධරයන්ගේ ජීවන චරිත ගැන තොරතුරු එක්රැස් කිරීමට දරුවන් උනන්දු කරන්න.ඔවුන්ගේ ජීවිතයේ රසවත් සිදුවීම් ගැන දරුවාත් යම් ආශ්වාදනීය අත්දැකීමක් ලබනු ඇති.

එසේනම්… වෙනදාට සෑම තැනින්ම  ඇසෙන සාහිත්‍ය වසන්තය දැන්  අපට නෑසුනත් දරුවාගේ ජීවිතයෙන් කියවීමේ පුරුදු දුරස් කරන්න එපා. කියව උණක් ඇති දරුවෙක් නිර්මානය කිරීම අද දවසේ වැඩිහිටියන්ගේ වගකීමයි.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here