වාචික නොවන ඔටිසම් තත්වය සහිත දරුවන් සමඟ සන්නිවේදනය

අද බොහෝ දෙනෙකු ඔටිසම් තත්වය පිළිබඳ යම් තරමකින් හෝ දැනුවත් බව කිව යුතුමය. ඊට හේතු ලෙස කිව හැක්කේ මෙම තත්ත්වය පිළිබඳ සමාජ කතිකාවතේ ව්‍යාප්තිය වැඩි වීම හා මේ සඳහා ඇති ප්‍රතිකාර හා චිකිත්සක ක්‍රම වල දියුණු වීමයි. 

ඔටිසම් තත්වය සහිත දරුවන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ හා ගැටලු ද විවිධාකාර වන බව කිව යුතුය. සරලව ම කිව්වොත් මෙම තත්ත්වය  බින්දුවේ  සිට සියය දක්වා රේඛාවක් තුළ විහිදී ඇත්නම් ඔටිසම් තත්වය සහිත දරුවන් මෙම රේඛාවේ යම් යම් ස්ථාන වල නැවතී සිටිය හැකියි.

ඔටිසම් තත්වය සහිත දරුවන් හඳුනා ගැනීමට මෙන්ම ප්‍රබල ලෙස පෙන්නුම් කරන ගැටලුවක් වශයෙන් ඔවුන් තුළ පවතින සන්නිවේදන ගැටලු හේතු වන බව හොඳින් දන්නා කරුණකි. ඇතැම් විට මෙම දරුවන් කුඩා කල සාමාන්‍ය ලෙස කතාව ආරම්භ කර ක්ෂණික ව කතාව හා භාෂාවේ පසුබෑමක් පෙන්නුම් කිරීම හෝ ඇතැම් විට පෙර  භාෂා කුසලතා හා කතාව, භාෂාව මෙන්ම සන්නිවේදනයේ  ප්‍රමාදයක් මුල සිට ම පෙන්නුම් කල හැකි අතර මෙම ලක්ෂණ හේතු කරගෙන දෙමව්පියන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගනිති.

දරුවෙකුට ඔටිසම් තත්වය පවතින බව විනිශ්චය වූ පසු දෙමාපියන් මේ සඳහා ඇති  ප්‍රතිකාර සඳහා යොමුවීම සුලබ කරුණකි. නමුත් චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වුවද ඇතැම් විට දරුවන් මෙම තත්වයේ ඇති ප්‍රබල බව, හඳුනා ගන්නා වයස, දරුවා හට ඇති අනෙකුත් ගැටලු ආදී බොහෝ දේ මත චිකිත්සාවන් තුළින් ලැබෙන ප්‍රතිඵල සඳහා විවිධ කාලයන් ගත වනු ඇත. 

අද වන විට කථන චිකිත්සාව ඔටිසමි තත්වය සහිත දරුවන් නිතැතින් ම යොමුවන චිකිත්සාවකි. කථන චිකිත්සාව සඳහා යොමුවන සියලුම දරුවන් ගේ කතාව, භාෂාව හා සන්නිවේදන එක හා සමාන නොවන අතර ඔවුන් පෙන්නුම් කරන ගැටලු ද එකිනෙකාට වෙනස් බැවින් ඒ සඳහා සුවිශේෂී ලෙස සකස් කළ චිකිත්සක ක්‍රම උපයෝගී කරගත යුතුවේ. ඒ අනුව ඇතැම් ඔටිසම් තත්ත්වය සහිත දරුවන් ශබ්ද නැගීම, ඇතැම් දරුවන් තනි වචන භාවිතා කිරීම, ඇතැම් දරුවන් සරල වැකි ප්‍රකාශ කිරීම, තවත් දරුවන් ප්‍රශ්න වලට පිළිතුරු දීම/නොදීම, මෙන් ම සංවාදයේ නොයෙදෙන දරුවන් විය හැකි අතර ඇතැම් දරුවන් මුළුමනින්ම අවාචික වීමට ද ඉඩකඩ පවතී. එනම් වාචික සන්නිවේදනය නොයෙදෙන ඒ වෙනුවට අවාචික සන්නිවේදන ක්‍රම ලෙස සිනාසීම, දුක ප්‍රකාශ කිරීම,  අත දිගු කර පෙන්වීම, ශරීරය ආධාරයෙන් අවශ්‍යතා පෙන්නුම් කිරීම වැනි අංග චලන යොදා ගනිමින් සන්නිවේදනය කරන දරුවන් ද බහුලව දැකගත හැකිය.

මෙම මට්ටමේ ඔටිසම් තත්වය සත දරුවන් සිටින දෙමව්පියන් හට මහත් පීඩාකාරී සිතුවිලි පැමිණෙන්නේ තම දරුවා කොපමණ චිකිත්සාවන් ලබා දුන්නද  අවාචික වීම හේතුවෙනි. නමුත් මෙම තත්ත්වය තුළ වුවද ඔබට ඔබේ දරුවාගේ සමග සන්නිවේදන කුසලතා දියුණු කිරීම සිදුකර ගත හැකිය. ඒ සඳහා ඔබගේ කතා චිකිත්සකවරුන් උපදෙස් ලබා දෙනු ඇත. තවද දෙමාපියන් වශයෙන් ඔබ ද අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් සාකච්ඡා කරමු.

  • දරුවා සමඟ සෙල්ලම් කරන්න.

දරුවන් සෙල්ලම් කරන විට බොහෝ දේ ඉගෙන ගනිති. මේ තුළින් ඉගෙන ගන්නා දේ අතර භාෂාව, කතාව සමග සන්නිවේදනය ද පවතී. දරුවා කැමති ලෙස සෙල්ලම් කිරීම තුළින් දරුවා හට විනෝදාත්මකව සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව ගොඩනැගේ. එපමණක් නොව සමාජානුයෝජනය වීමටද එය බලපානු ලබයි. මෙම සෙල්ලම් කරන අවස්ථාවේදී ඔබ නිතර දරුවා ඉදිරිපිට වාඩි වීම දරුවාගේ ඇස් මට්ටමට ඔබ ළඟාවීම තුළින් දරුවාට ඔබ පැහැදිලිව දැකීමට, ඇසීමට මෙන්ම අනුකරණය කිරීමට ද අවස්ථාව සැලසේ. 

  • දරුවාව අනුකරණය කරන්න. 

දරුවා අවාචික සන්නිවේදනය යෙදුණ ද ඇතැම් විට දරුවා ශබ්ද නගන්නේ නම් ඔබ ද එය අනුකරණය කරමින් දරුවා හට ඊට තවත් ශබ්ද නැගීමට උනන්දු කරවීම ඔබට කළ හැකි දෙයකි. ඒ හරහා දරුවා අනුකරණය මෙන්ම වාර ගැනීම ද උගනි. උදාහරණ ලෙස ඔබේ දරුවා කාරයක් ගෙන ශබ්ද නගමින් තල්ලු කරන්නේ නම් ඔබත් එය අනුකරණය කරන්න. මෙය තවත් එක් සෙල්ලමක් ලෙස ඔබට කළ හැකියි.

  • දරුවාගේ අවාචික සන්නිවේදන ක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. 

උදාහරණ ලෙස ඇසට ඇස බැලීම, අංග චලන භාවිතය සන්නිවේදන විධික්‍රම ලෙස හඳුන්වා දිය හැකි අතර දරුවා පෙන්නුම් කරන මෙම ක්‍රම පිළිබඳ ඔබ වැඩි අවධානයෙන් සිටින්න. ඒ සමගම ක්‍රියාවට අදාළ වචන  ඔබ දරුවා හට එකතු කරන්න. උදාහරණ ලෙස ඔබ දරුවා හට දෙයක් පෙන්නුම් කරන විට අත දිගු කර “බලන්න” යන වචනය යොදා ගන්න. එහිදී එකවර වාචික ක්‍රමය මෙන්ම ඊට අදාළ අවාචික සන්නිවේදන කොටසද යන දෙකම එකවර ක්‍රියාවේ යෙදේ. එමගින් දරුවා එය නිතර නිතර ඇසීමෙන් හා දැකීමෙන් එය භාෂා අවබෝධයට හා භාවිතයට උදව් වේ. 

  • දරුවා හට සන්නිවේදනයෙහි යෙදීමට විශේෂයෙන්ම ඉඩක් ලබා දෙන්න. 

ඔබ සන්නිවේදනය කරන ආකාරයෙන්ම ඔබේ දරුවා සන්නිවේදනය නොයෙදෙන නිසා ඔබ නොදැනුවත් මම දරුවා හට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ලබා නොදීමට ඉඩ කඩ වැඩිය. නමුත් ඔබ දරුවා සමග සන්නිවේදනයේ යෙදෙන විට දරුවා හට ප්‍රමාණවත් ලෙස වැඩි කාලයක් ලබා දෙන්න. දරුවා ප්‍රතිචාර නොදක්වයි නම් උදව් දීම (prompts) ඔබට සිදු කළ හැකිය. 

  • සරල භාෂාවෙන් දරුවා සමග සන්නිවේදනය යෙදෙන්න. 
  • දරුවාගේ කැමැත්තට අනුකූල වන්න.
  • මේ සඳහා ඇති උපකාරක ආයිත්තම්  (AAC/ Apps/ PECS) යොදාගන්න. 

අද වන විට උපකාරක ආයිත්තම්  දරුවන් හට පුහුණු කිරීම කථන චිකිත්සකවරුන් සිදුකරනු ලබයි. එමනිසා ඔබේ චිකිත්සකවරුන් මේ සඳහා ඔබට උපදෙස් ලබා දෙන අතර දරුවා හට ගැලපෙන ආයිත්තම් තෝරා ගැනීමට ද උදව් වනු ඇත. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here