“කතන්දර” යනු දරුවන් මහත් ප්‍රිය කරන දෙයකි. දරුවන් කතන්දර අසන විට ඔවුන් ඊට අදාළ වන ලෙස පරිසරය, හැඟීම්, අදහස් මෙන්ම නිතැනින්ම එම කතන්දරයට අදාලව පසුබිම් වන පරිසරයක් තනා ගනිති. කතන්දර වලට ඇලුම් කරන දරුවන් කතන්දර පවසන විට එම කතන්දරය තුළ ජිවත් වනවා යයි පැවසුවහොත් එය නිවැරදි ය.
ඇතැම් විට කිසි දිනක නොදුටු, නොඅසපු, මෙන්ම ස්පර්ශයෙන් නොදැනුනු යමක් වුවද ඔවුන් කතන්දර තුලින් ග්‍රහණය කර ගනිති. මේ හරහා දරුවන් ට දුක, සැප, ජයග්‍රහණයන්, පරාජයන් මෙන්ම සමාජ වටිනාකම් ද කියා දීමට ඔබට හැකියාව පවතී.
අතීතයේ අපේ ආච්චිඅම්මා, සීයා තම මුණුපුර මිනිපිරියන් වට කරගෙන රසවත් කතා කියා දුන් බව අප අසා ඇති නමුත් අද සමාජ පසුබිමත් සමඟ එය ප්‍රයෝගික නොවනු ඇත. නමුත් දෙමවුපියන් වශයෙන් දරුවන් ගේ සමීපතයන් ඔබ බැවින් කතන්දර පැවසීමට ඔබට කටයුතු කිරීමට සිදුවනු ඇත.
කතන්දර කියා දීමේ වටිනාකම පිලිබඳ ඔබ නොසිතන්න ට ඇති.
නමුත් දරුවාගේ භාෂා වර්ධනය ට එය රුකුල් දෙන බව ඔබ දන්නවාද? භාෂා අවබෝධය සහිත දරුවන් කතන්දර ඇසීම තුලින් ඒ හා සමඟ බැඳී පවතින වචන, වාක්‍ය කණ්ඩ, ඒ සමඟ යොදා ගන්නා විවධ භාෂා කොටස් ( ප්‍රස්ථා පිරුළු , උපමා ආදී), කතා විලාසයන් අනුකරණයටත් ඉගෙන ගනු ලබයි. තවද දරුවන් ප්‍රථමයෙන් කතන්දර ඇසීමට ප්‍රිය කරන අතර පසුව තමා අසු කතන්දරය තව කෙනෙකුට ප්‍රකාශ කිරීමට පෙළබිම ද දරුවාගේ භාෂා දියුණුවේ ප්‍රබල සංදිස්ථානයකි. මන්ද බාහිර පුද්ගලයකුට තේරෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම, මුල මැද අග නිසි පරිදි ගැලපෙන ලෙස වාචික ප්‍රකාශනය කිරීමට ඉගැනීම, තමන්ගේ වාචික ප්‍රකාශනයෙන් නිසි ලෙස තොරතුරු ලබා දීම ආදී බොහෝ දේ දෙවන කොට දරුවා ඉගෙන ගනු ලබයි.
තවද කතන්දර වලට සවන් දීම
තවද කතන්දර වලට සවන් දීම තුලින් දරුවාගේ සවන්දීමේ කුසලතා, අවධානය දීමේ කුසලතා ද දියුණු වනු ඇත. මන්ද ඔබ කතන්දරය අවසන් වූ විට ප්‍රශ්න අසන බවට දරුවා ට ප්‍රථමයෙන් පවසා කතන්දරය කියා දිය හැකිය. එහිදී දරුවා දරුවා කතන්දරය අවධානයෙන් සවන් දිය යුතුමය. තවද කතන්දරය අවසානයේදී අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ද භාෂා ඉගෙනුමෙහි ලා මහත් කුසලතාවයකි. මන්ද කතාව අවබෝධ කර ගැනීම, ප්‍රශ්නයට අදාළ පිළිතුරු කතන්දරය ආශ්‍රයෙන් සොයා ගැනීම, ඉලක්ක ගත පිළිතුරු නිවැරදි ලෙස වාචිකව ප්‍රකාශ කිරීම ආදී බොහෝ කුසලතා මේ තුලින් දරුවාගේ දියුණු වනු ඇත.
දරුවාගේ දැනුම දියුණු කල හැකිය
තවද කතන්දර මගින් දරුවාගේ දැනුම දියුණු කල හැකිය. උදාහරණයක් ලෙස ඔබ ඉතිහාසයට අදාළ කතාවක් පවසනවා යයි සිතන්න. එවිට දරුවා අපගේ අතීතයේ පවතී සමාජ පසුබිම, පරිසරය පිලිබඳ දැනගනු ඇත. මේ ආකාරයට දරුවා ට ඒ ඒ කතන්දරය සමඟ දැනුම් පද්ධතියක් ලැබෙනු ඇත.
දරුවන් කතන්දර අසන විට අසන ප්‍රශ්න
ඔබේ දරුවන් කතන්දර අසන විට ප්‍රශ්න අසන වාර පිලිබඳ ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. එය දරුවාගේ භාෂා ඉගැනුමෙහි ලා වැදගත් කුසලතාවයකි. මන්ද වාචික ප්‍රශ්න නැගීම දරුවාගේ භාෂා ඉගැනිමෙහි ලා ඉතා වැදගත් වන බැවිනි. තමාට දැනගත යුතු දෙය ප්‍රශ්නයක් ලෙස ඇසීම, නිවැරදි ලෙස ප්‍රශ්න කාණ්ඩ (WH questions) හසුරුවා ගැනීමට ද දරුවා මේ තුලින් ඉගෙන ගනු ලබයි.
දරුවාගේ චින්තනය දියුණු වීම
තවද දරුවාගේ චින්තනය දියුණු වීමට මෙය ඉතාමත් වැදගත් වේ. මන්ද දරුවා පළමුකොට කතන්දර අසන විට එම කතන්දර මනසින් නිර්මාණය කර ගැනීම, ඇතැම් විට ඊට අදාළ චිත්ත රූප ජනනය කර ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. පසුකලෙක දරුවා තනිව සකස් කරගත් කතන්දර ඔබට පැවසීමට ඉඩකඩ පවතී. එහිදී, දරුවා සිතීම, වාචිකව අදහස් ගලපා ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. මේ අනුව දරුවාගේ භාෂා භාවිතය දියුණු වීමට ද කතන්දර කීම ඉමහත් ලෙස උදවු වනු ඇත.
දෙමවුපියන් වශයෙන් ඔබට ඔබේ දරුවා සමඟ කතන්දර පැවසීමට විශේෂ කාලයක් අවශ්‍ය නොවනු ඇත. දරුවා සමඟ ගත කරන සුළු කාලයත් දරුවා හට කතන්දරයක් පැවසීමට ඔබට කල හැකි දෙයකි. ඇතැම්විට ඔබට කතන්දර පැවසීමට සුවිශේෂී වෙලාවක් කාලයක් තබා ගැනීමත් දරුවා හට මේ සදහා ඇති උනන්දුව වැඩි කරනු ඇත. ඇතැම් විට ඔබ පවසන කතන්දරයට අදාළ වන ලෙස සෙල්ලම් බඩු, කතන්දර පොත් ආදිය තුලින් ඔබට දරුවාගේ රුචිකත්වය වැඩි කර ගත හැකිය. එමනිසා දරුවන් සමඟ කතන්දර කීම දරුවාගේ භාෂාව දියුණු වීමට උදවු වන බව ඔබට වැටහෙනු ඇත.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.