ක්ෂය රෝගය පිටට කොරෝනත් ආවොත් ඔබත් කබලෙන් ලිපට……
මේ දිනවල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 රෝගය සම්බන්ධව අපි කවුරුත් පසුවන්නේ තරමක බියකින්. ඒ නිසාම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එයින් වැළකෙන්නට කවුරුත් උත්සාහ කරනවා. ක්ෂය රෝගයත් කොවිඩ් 19 මෙන්ම පෙනහලු ආශ්‍රිතවත් ඇති විය හැකි රෝග තත්ත්වයක් නිසා මේ පිළිබඳව සකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඒ නිසාම ක්ෂය රෝගය හා කොවිඩ් 19 නිසා ක්ෂය රෝගීන්ට ඇති බලපෑම ගැන අපි දැනුවත් වෙමු.
ක්ෂය රෝගය මෙන්ම කොවිඩ් 19 රෝගය කල් තියා හඳුනා ගැනීම සහ ඒ තුළින් රෝගය වළක්වා ගැනීමට පියවර ගැනීම වඩාත් වැදගත් වන්නේ රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන නිසාත්ය.
වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?
කොවිඩ් 19 රෝගයේදී මෙන්ම ක්ෂය රෝග හඳුනා ගැනීම සඳහාත් සිදුකරන්නේ PCR පරීක්ෂණයක්. ක්ෂය රෝගය සඳහා විශේෂිත වූ TB PCR පරීක්‍ෂණයක් එනම් GeneXpert නමින් හඳුන්වන පරීක්ෂණයක් සිදුකරනවා. එය ඉතාමත් මිලෙන් අධික පරීක්‍ෂණයක්. නමුත් රජය මගින් සියලුම ලය චිකිත්සාගාර ආශ‍්‍රිතව හා සමහර රෝහල් ආශ‍්‍රිතව මේ පරීක්‍ෂණය මුළු දිවයින පුරාම නොමිලේ ලබාදෙනවා. ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ ලිපියක් අවශ්‍ය නොවන අතරම ඕනෑම ලය චිකිත්සාගාරයක් මගින් පරීක්ෂණයට යොමු වීමට හැකියාව පවතිනවා.
ප්‍රධාන වශයෙන්ම මේ TB PCR පරීක්‍ෂණය එහෙමත් නැත්නම් GeneXpert පරීක්‍ෂණය සිදු කරන්නේ සෙම සාම්පල මගින්. ඒ වගේම අනිකුත් තරල වලටත් සිදු කළ හැකියි. ඒ පරීක්‍ෂණය සහ පපුවේ X-ray පරීක්‍ෂණය මූලිකවම සිදුකරනවා. ඒත් රෝගය ඇති වී ඇති ස්ථානය අවයව අනුව සාම්පල් ලබාගන්නා ස්ථාන වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් කුද්දැටියක් ඉදිමීම වැනි අවස්ථාවකදී එහි ඇති තරලය ලබාගැනීම, මොළයේ මස්තිෂ්ක, සුෂුම්නා තරලය ආශ‍්‍රිතව ඇත්නම් එහි තරලය ලබා ගැනීම උදාහරණ විදියට දැක්විය හැකියි. මෙතැනදී කොන්ද ආශ‍්‍රිතව ඇති වීම යම් අවදානම් සාධකයක් විය හැකියි. එවැනි අවස්ථාවලදී තරලය ලබාගැනීම ටිකක් අපහසු වුවත් එය ඉතාමත් ආරක්‍ෂිත ලෙස සිදු කරනවා.
ක්‍ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වූවොත් ඇති වන තත්ත්වය කුමක්ද?
ඔව්, ඇත්තටම ක්‍ෂය රෝගියෙක්ටගේ සිරුරේ ප‍්‍රතිශක්තිකරණය ඉතාමත්ම අඩු මට්ටමක පවතින නිසා ඉක්මනින් කොරෝනා වෛරසය අසාදනය විය හැකියි. මේ කොරෝනා රෝගයත් ක්‍ෂය රෝගය වගේම පෙනහලු පටක ආශ‍්‍රිතව ඇති වෙන රෝගයක්. එය lung parenchyma නමින් හඳුන්වනවා. මේ රෝග දෙකේදිම බලපෑම් කරන්නේ පෙනහලු පටකයට. ක්‍ෂය රෝගියෙකුගේ පෙනහලුවල කැලැල්, කුහර වැනි දේ පවතින නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මෙන් පෙනහලුවල ශක්තිය නැහැ. එක්වරම මේ තත්ත්වය අඩු නොවුණත් නිසි ප්‍රතිකාර ගද්දී මේ තත්ත්වය අඩු වී යනවා. කොරෝනා වෛරසය ආසාදිත වූවෙක්ගේත් පෙනහලුවල ඔය ආකාරයේ කැලැල්/කුහර ඇති වෙනවා. ඒ නිසා කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇති වන ලක්ෂණ සහ සංකූලතා ටිකක් වැඩි වශයෙන් ක්‍ෂය රෝගින් තුළ දැකිය හැකියි. උදාහරණයක් විදියට ක්‍ෂය රෝගය ඇති අයෙකුට කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ස්වසන අපහසුතා වැඩි වශයෙන් දැකගත හැකියි. ඒ වගේම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය වුවත් ක්ෂය රෝගියෙකුට වැඩි සංකූලතා පෙන්නුම් කළ හැකියි. ඇතැම් විට මරණයෙන් පවා කෙළවර විය හැකියි.
මේ විතරක් නෙවෙයි, ක්ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වීම මගින් ද්විතියික බැක්ටීරියා ආසාදන තත්ත්වයක් (secondary bacterial infections) ඇති වීම මගින් වෙනත් ආසාදන තත්ත්වත් පෙනහලු තුළ ඇති විය හැකියි. අන්න ඒ නිසාම ඔබ ක්ෂය රෝගියෙක් නම් මෙවැනි වසංගත තත්ත්වයකදී ඉතාම පරිස්සම් විය යුතු බව සිහිතබාගන්න.
කොරෝනා වෛරසය ආසාදනය වී උත්සන්න වන විට ඇතිවන ස්වසන අපහසුතා ක්ෂය රෝගය උත්සන්න වූ විටත් ඇති වෙනවාද?
ඔව්. නිසි ප්‍රතිකාර නොගැනීම නිසා ක්‍ෂය රෝගියෙක්ගේ පෙනහලුවලට හානි සිදු වෙනවා. ඒ තත්ත්වය උත්සන්න වූ විට ස්වසන අපහසුතා ඇති වෙනවා.
වෛද්‍යතුමියනි,ක්ෂය රෝගියෙන් කොරෝනා වෛරස ආසාදනයෙන් වැලකීමට කළ යුත්තේ මොනවාද?
- ඔබ, සිරුරේ ප්‍රතිශක්තිය අඩු නිසා ඉතා ඉක්මනින් ආසාදිත වීමේ හැකියාවක් ඇති අතරම සියලුම සෞඛ්‍ය නීති රීතී අනුගමනය කිරීම අනිවාර්යයි.
- ඔබ, ඖෂධ ලබාගන්නා රෝගියෙක් නම් එය අඛණ්ඩව ලබාගන්න. ඖෂධ ලබා ගැනීමට මොන යම් හෝ අපහසුතාවයක් ඇත්නම් දිස්ත‍්‍රික් ක්ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී තුමා සහ දිස්ක්‍රික් ලය චිකිත්සාගාරය අමතා ඖෂධ ලබා ගැනීමට යොමුවන්න
- ඔබ, කැස්ස අලුත් වන බවක් හෝ කොරෝනා ආසාදනය වූ ඇත්දැයි සැකයකින් සිටී නම් කල් නොයවා කොවිඩ් රෝගය සඳහා PCR පරීක්‍ෂණයකට හෝ අන්ටිජන් පරීක්ෂාවක් සඳහා ඉතා ඉක්මණින් රජයේ රෝහලකට යොමු වෙන්න.
අන්න ඒ නිසයි මම කිව්වේ ක්‍ෂය රෝගිය පිටට කොරෝනත් ආවොත් අපේ රෝගීන් කබලෙන් ලිපට කියලා. ඇත්තටම ක්‍ෂය රෝගය කියන්නේ නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තියෙන රෝගයක්. ඒත් කොවිඩ් 19 නිසි ඖෂධයක් තවම නැහැ. ඒ නිසා ඔබ ක්ෂය රෝගියෙක් නම් මේ වසංගත කාලය තුළ ඉතාමත්ම පරිස්සමින් සෞඛ්‍ය නීතිවල අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි.
ඒ විතරක් නෙවෙයි, අවුරුදු 5 ට අඩු දරුවෙක්/ HIV ආසාදිතයෙක් හෝ වේවා රෝග නිවාරණ ඖෂධ මාත‍්‍රාවන් අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කළ යුතුමයි.
කොවිඩ් 19 මෙන්ම ක්ෂය රෝගයටත් නිදන් ගත රෝග නිසා ඇතිවන සංකූලතා වැඩිද?
ඔව්.. සාමාන්‍යයෙන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අඩුවන දියවැඩියාව, වකුගඩු රෝග, HIV ආසාදනය, පිළිකා වැනි රෝගවලදී ක්‍ෂය රෝගය මතුවීමේ අවධානම වැඩි වගේම ඇති විය හැකි සංකූලතාත් වැඩියි. ඒ නිසා කළින්ම රෝගය හඳුනාගැනීම වැදගත්. එමගින් ක්ෂය රෝගය නිට්ටාවටම සුව කරගත හැකියි.
මේ දිනවල කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. ක්‍ෂය රෝගියෙක්ට මෙම එන්නත් ලබා දීම සුදුසුද?
ඇත්තටම කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ලබා දෙන එන්නත් ක්‍ෂය රෝගය තියන පුද්ගලයෙකුට ලබාගැනීමට බාධාවක් නෙවෙයි. පැහැදිලි ලෙසම නිදන් ගත රෝග දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ සාමාන්‍ය තත්ත්වවලදීත් කොරෝනා එන්නත ලබාගන්න පුළුවන්. ඒ වගේම ක්‍ෂය රෝගය කියන්නේ තවත් එක් බැක්ටීරියාවකින් බෝ වෙන ලෙඩක්. ඒක නිසා ක්ෂය රෝගීන්ට ඒ එන්නත ලබාගන්න පුළුවන්. ඔවුන්ට විශේෂිත වූ ආසාත්මිකතාවයක් ඇත්නම් ඒ ගැන එන්නත්කරණයේදී දැනුවත් කළ යුතුයි. එවිට අදාල වෛද්‍යවරු අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සූදානමක් ඇතිව එන්නත සාමාන්‍ය නිරෝගි පුද්ගලයන්ට මෙන්ම ලබා දීම සිදු කරනවා. එහි කිසිම ගැටලුවක් නැහැ. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ තමා එන්නත ගත්තා කියලා කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන් මෙතෙක් පිළිපැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ එනම් මුඛ ආවරණ/දුරස්ථභාවය /නිතර අත් සේදීම වැනි පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි.
ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය