- Advertisement -

අපේ පුංචි පැටවුන්ටත් ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්ද?

-

 ක්ෂය රෝගය සම්බන්ධව බොහෝ දැනුවත් කිරීම් මීට පෙරත් අප සිදු කළා ඔබට මතක ඇති. බොහෝ විට අපි ක්ෂය රෝගය වැළදුණු අයෙකුගේ ආශ්‍රිතයෙකු හෝ වූයේ කුඩා දරුවන් ඇතුළුව නිවසේ සිටින සෑම අයෙක්ම ලය සායනය හරහා පරීක්ෂාවට ලක් වී තමා රෝගයට ගොදුරු වී ඇතිය යන්න සැක හැර දැන ගත යුතුමය. මේ ලිපිය වෙන්වන්නේ විශේෂයෙන්ම පුංචි දරුවන් සිටින මව්පියන් දැනුවත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධවයි. ‍

වැඩිහිටි ඔබ විතරක් නොවෙයි, පුංචි දරුවොත් පරීක්‍ෂා කරවාගැනීම ඉතාම වැදගත්. බොහෝ විට ඇතැම් වැඩිහිටියෝ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් රෝගය ගැන හිතේ තියෙන මිත්‍යා මත හේතුවෙන් හෝ ලැජ්ජාව නිසා හෝ ඒ ගැන පරීක්ෂා කරගැනිම අතපසු කරනවා. ඒත් වැඩිහිටි ඔබට වගේම පුංචි දරුවන්ටත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

- Advertisement -

වෛද්‍යතුමියනි, ක්‍ෂය රෝගය පුංචි දරුවන්ටත් බෝ වෙන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම ඔව්. ක්‍ෂය රෝගය හැම තිස්සෙම කුඩා දරුවෙක්ට බෝවෙන්නේ නිසි ප‍්‍රතිකාර නොගන්නා  ක්‍ෂය රෝගියෙකුගෙන්. ඒ නිසා ගෙදර ක්‍ෂය රෝගියෙක් ඉන්නව නම් ප‍්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවිට අවුරුදු  5 ට අඩු දරුවන් නිවසේ ඉන්නවා නම් පරීක්‍ෂා කොට ක්‍ෂය රෝගය නැතිනම් ඒ දරුවා සුරක්‍ෂිත කිරීමට රෝග නිවාරණ ඖෂධ එහෙමත් නැත්නම් ප්‍රොෆිලැක්සිස් ඖෂධය ආරම්භ කරනවා. 

වෛද්‍යතුමියනි, ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්, 

ඔව්, දරුවට ලෙඩක් නැහැ, නිරෝගී දරුවෙක්. ඒත් ක්‍ෂය රෝගියෙක් ගෙදර ඉද්දී විෂබීජය නිවසේ තිබෙනවා. එවැනි අවස්ථාවලදී එම නිරෝගී දරුවට සාමාන්‍යයෙන් මාස 6 ක් වගේ දීර්ඝ කාලයකට රෝග නිවාරණ ඖෂධ ලබා දීම ආරම්භ කරනවා. ඉතින් මේ දරුවන්ට ලබාදෙන ඖෂධත් අඛණ්ඩව ලබාගත යුතුමයි. 

පුංචි දරුවන්ට ක්ෂය රෝගය හැදෙන්නේ කොහොමද?

බොහෝවිට පුංචි දරුවන්ට මේ රෝගය ගමන් කරන්නේ වැඩිහිටියන් හරහායි. පුංචි දරුවන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වැඩිහිටියන් පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට වඩා වෙනස් විය හැකියි. 

ක්ෂය රෝගය වැලඳුණු පුංචි දරුවෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • සති 2 කට වඩා පවතින උණ
  • දිගුකාලීන කැස්ස
  • බර අඩුවීම/නියමිත ලෙස බර වැඩි නොවීම
  • ප‍්‍රතිජීවක වලට සනීප නොවන නියුමෝනියාව
  • සනීප නොවන ඇදුම
  • මහන්සිය/කම්මැලි/ක්‍රියාශීලී අඩුකම

මේ ලක්‍ෂණ ඔබේ දරුවාත් පෙනුනුම් කරනවා නම් ඉතා ඉක්මනින් දිස්ත‍්‍රික් ළය සායනයට හෝ ළඟම රජයේ රෝහලට රැගෙනයන්න. මේ දිනවල ප‍්‍රායෝගික අපහසුතා තිබුණත් නිසි සෞඛ්‍ය උපදෙස් මත සායන සඳහා සහභාගී විය හැකියි. ඒ සඳහා ඔබේ කාඩ්පත අවසර පත්‍රයක් ලෙස යොදා ගැනීමට හැකියාව පවතිනවා. මේ දිනවල දරුවෝ ගෙදරින් එළියට එක්ක යන්න මව්පියන් අකමැති වුවත් ඔවුන්ගේ පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍යයි. ලය චිකිස්තාගාරයේ කිසිදු රස්තියාදුවකින් තොරව සේවාය ලබාගැනීමට හැකියාව පවතිනවා. ඒ නිසා ආරක්ෂාකාරීව දරුවන් රැගෙන එන්න. 

මොන ගැටලුව තිබුණත් මව්වරු නිසි කලට අදාල රෝගවලට අවශ්‍ය දරුවන්ගේ එන්නත් කාඩ් පතේ ඇති එන්නත් ලබා දීම සඳහා දරුවන් රැගෙන යාම සිදු කරනවා. ඒ, අදාල මාසයට අදාල එන්නත් ලබා නොදීමෙන් දරුවන්ට ඇති විය හැකි අහිතකර තත්ත්ව ගැන ඇති දැනුවත්භාවය නිසයි. එය වසංගත සමයේ පවා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් අදාල එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා මව්වරුන් සායනයට දරුවා රැගෙන ගියත් ක්ෂය රෝගය වැනි තත්ත්වයකදී ප්‍රතිකාර හෝ පරීක්ෂණ වෙනුවෙන් ලය සායනයට දරුවන් රැගෙන යාම සිදු නොකරන්නේ ඒ ගැන හරිහැටි අවබෝධයක්, අවදානම ගැන හැඟීමක් නොමැති නිසයි. නිසි දැනුවත්භාවයක් තියෙනව නම් ඒවගේ මූලිකත්වයක් ඔවුන් මේ රෝගය සඳහාත් ලබා දෙන බව විශ්වාසයි. 

වෛද්‍යතුමියනි, මේ දිනවල පවතින කොවිඩ් 19 රෝගයේ අවදානම වැඩිහිටි හෝ පුංචි දරුවන් හෝ කියා වෙනසක් නැතිව බලපානවා. ක්ෂය රෝගය ඇති දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම අවදානම් සහගතද?

ක්‍ෂය රෝගයට නිසි පරිදි ප්‍රතිකාර ලබාගන්නා දරුවෙකුට නම් යම් පාලනයක් තියෙනවා. කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මණට ඒ පුංචි දරුවන්ගේ සිරුරට ඇතුළු විය හැකියි. විශේෂයෙන්ම අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය ඉතාම අඩු නිසා, විශේෂයෙන්ම මාස හයට අඩු දරුවෙකුට ක්‍ෂය රෝගය තියෙනව නම් ඒ දරුවාට කොරෝනා රෝගයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන් ක්‍ෂය රෝගී දරුවෙකු රැකබලා ගන්නව නම් ඔවුන්ගේ බෙහෙත් වේල අඛණ්ඩව ලබාදීම ඒ කටයුතු සිද්ධ කරන්නම  ඕන. 

මේ කොරෝනා සමයේ ක්ෂය රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අංශවලට වැඩපිළිවෙළක් තියෙනවද? 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම දිස්ත‍්‍රික් ලය චිකිත්සාගාර එක බැගින් තියෙනවා. විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මධ්‍යම ලය චිකිත්සාගාරය බොරැල්ලේ පිහිටා තිබෙනවා. ඒ වගේම කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා මුල්ලේරියාව රෝහල ආශ‍්‍රිතවත්, කළුබෝවිල රෝහල ආශ‍්‍රිතවත් තව වැඩිපුර සායන දෙකක් පිහිටුවා තිබෙනවා. ඉතින් ඒ සායන මේ වසංගත සමයේදීත් අඛණ්ඩව මේ රෝගීන් වෙනුවෙන් විවෘතයි. රටා වසා දමා ඇති කාලය තුළත් අදාල සායන පෙර පරිදිම පැවැත්වෙනවා. සදුදා සිට සෙනසුරාදා දහවල් 12 වෙනකන් සායන විවෘතයි. සියලුම පරීක්‍ෂණ සියලුම බෙහෙත් සහ සියලුම අනිකුත් සේවාවන් නොමිලේ ඔවුන්ට ලබාගත හැකියි. ඒ නිසා ඔබේ දරුවා නිසි කලට අදාල සායන වෙත රැගෙන යාම අමතක කරන්න එපා.

වෛද්‍යතුමියනි, අපේ දරුවන් නිරෝගීව හෙට දවසට යොමු කිරීම අපේ ‍වගකිමක් වගේම යුතුකමක්. ඒ නිසාම 2035 වන විට ඔබ සැමගේ  ඉලක්කය ශ්‍රී ලංකාවෙන් ක්‍ෂය රෝගය තුරන් කිරීම නේද?

අපි රෝගයට මූලික තැනක් දෙනව නම් මේ රෝගයේ ලක්‍ෂණ මොනවද? මේක සනීප කරන්න පුළුවන් නේද? කියන ආකල්පය හැඟීම අප තුළ තියෙනව නම් රෝගයෙන් බේරෙන්න පුළුවන්. මේ රෝගයත් එක්ක බැදිච්ච ගොඩක් වැරදි ආකල්ප, මිත්‍යා මත අපේ සමාජයේ තියෙනව.කෙටියෙන්ම කිව්වොත් ක්ෂය රෝගය හැදුණු නිවසකින් විවාහයක් කරගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඇතැම් විට නිවස තුළම රෝගියෙක් අසරණ විය හැකියි. මෙවැනි ආකල්පවලින් මිදිලා නිසි කළට නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් වැඩිහිටි අපි වගේම අපේ දරුවනුත් මේ රෝගයෙන් මුදවා ගත හැකියි. 

ප‍්‍රතිකාර නොගත් ක්‍ෂය රෝගියෙකු කහින විට හෝ කිවිසුම් අරින විට රෝග කාරක විෂබීජ වාතයට මුසු වෙනවා. නිරෝගී පුද්ගලයෙකු හුස්ම ගන්නා විට ඒ විෂබීජ අපිට ඇතුළු වෙන්න පුළුවන්. විෂබීජ ඇතුළු වෙච්ච පමණින් අපි හැමෝටම රෝගය වැළදෙන්නේ නැහැ. එහෙම වැළඳුනත් මාස හයක් නොකඩවා බෙහෙත් ගැනීමෙන් සම්පූර්ණයෙන් සුව කරගත හැකියි. 

වැඩිහිටි අපි මෙන්ම කුඩා දරුවනුත් ක්ෂය රෝගයෙන් ආරක්ෂා කරගැනීමට නම්,

  • ක්‍ෂය රෝගය අන් අයට බෝ වීම වළක්වා ගැනීමට කහින විට, කිවිසුම් යන විට ලේන්සුවකින් හෝ වැලමිටෙන් මුහුණ ආවරණය කරගැනීම ඉතාම වැදගත්. 
  • සෙම්, කෙළ බදුන් නිසි පරිදි බැහැර කළ යුතුය
  • නිවසට හොඳින් වාතාශ‍්‍රය, හිරු එළිය ලැබීමට සැලැස්විය යුතුය (ක්‍ෂය රෝග විෂබීජය හිරු එළිය හමුවේ විනාශ වී යන නිසා)

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න

  • කොළඹ දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0112673460
  • කොළඹ දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරි, නයනා ද සිල්වා මහත්මිය – 0774839797
  • ගම්පහ දිස්ත‍්‍රික් ලය චිකිත්සකාගාරය – 0112071940
  • ගම්පහ දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, කෞෂල්‍ය රාජපක්‍ෂ මහතා – 0716850253
  • කළුතර දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0342222677
  • කළුතර දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, ජී.එච්. අමරසිරි මහතා – 0777902348

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article