- Advertisement -

ක්ෂය රෝගයෙන් පෙලෙන ඔබ සායනවලට සහභාගී වීම අනිවාර්ය බව අමතක කරන්න එපා

-

ක්ෂය රෝගය යනු නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් බව සෑම අවස්ථාවකදීම අපි දැනුවත් කළා. ලොව පුරා පවතින තත්ත්වයත් සමග නිසි කලට නිසි පුතිකාර ලබා නොගැනීම නිසා ජීවිතය අවදානමට පත්කරගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයකි. නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම යටතේ සායනවලට සහභාගී වීමට උනන්දු වීම ඉතා වැදගත් වේ. එක්වරක් සායනයට සහභාගී වූ විට රෝගියෙකුට නැවත පැමිණිය යුතු දිනය දැනුම් දෙන අතරම එය කාඩ් පතේද සඳහන් කරනවා. නිසි වෙලාවට සායනට පැමිණීම රෝගියාගේ වගකීමක්

කොවිඩ් 19 තත්ත්වය නිසා රෝගීන් නිවසින් පිටතට පැමිණීමට බියක් දක්වනවා. එවැනි තත්ත්වයකදී ඔවුන් වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

- Advertisement -

ඔව්….මේ දිනවල පවතින තත්ත්වයත් සමග ආර්ථික අපහසුතා, ප්‍රවාහන අපහසුතා ඇති රෝගීන්ට ලය චිකිත්සාගාරය බාරව සිටින දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරිතුමා හෝ ලය සායනය දුරකතනය මගින් සම්බන්ධ කරගැනීමෙන් අදාල ඖෂධ ලබා ගැනීමට යම් ක‍්‍රමවේදයක් සකසා ගත හැකියි. ඇතැම් විට අදලා ලය සායනයේ කාර්ය මණ්ඩලය, PHI මහත්වරුන් මාර්ගයෙන් නිවෙසටම ඖෂධ ලබාදීම සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි ඖෂධ දෙන්නේ දින 28 කට මාසයකට වැනි කාලයකට වුවත් මේ දිනවල තත්ත්වය සලකා බලා පැමිණීමට අපහසු රෝගීන්ට මාස දෙකකට පවා ඖෂධ ලබාදීම සිදු කරනවා. මෙතනදී වැදගත්ම කරුණක් වෙනනේ අදාල රෝගීන් සම්බන්ධ කරගත හැකි නිවැරදි ලිපිනය වගේම නිවැරදි දුරකතන අංකය ලබාදීම ඉතාම වැදගත් බවයි. 

වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය සඳහා ලබා දෙන ඖෂධ මිල අධිකද?

නැහැ.. මේ සියලුම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝගීන් වෙත ලබා දෙන්නේ නොමිලේ. මේ ඖෂධ ඉතාම හොඳම ප්‍රමිතියේ උසස් තත්ත්වයේ ඖෂධ. ක්‍ෂය රෝගය සඳහා ලබාදෙන ඖෂධ මුදල් ගෙවා වෙනත් ඖෂධහල් වලින් පෞද්ගලිකව ලබාගත නොහැකියි. 

සාමාන්‍යයෙන් ‍ක්ෂය රෝගයට ගොදුරු වූවෙක් කොපමණ කලක් ඖෂධ ලබා ගත යුතුද/ රෝග ලක්ෂණ පහව ගිය පහසු ඖෂධලබාගැනීම නතර කළ හැකිද?

ක්‍ෂය රෝගයට ඖෂධ ලබා ගත යුතු ආකාරය රෝගියාට තීරණය කළ නොහැකියි. ඒ සඳහා ලය සායනයේ විශේෂඥයින්, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ප‍්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් අදාල ප්‍රතිකාර හා ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය කරන අතරම ඖෂධ ලබාදීම සිදු වන්නේ රෝගියාගේ බරට අනුවයි. 

මෙහිදී වෛද්‍යවරු නියම කරන මාත‍්‍රාව අඛණ්ඩව ඒ විදියටම ලබා ගත යුතුයි. ඒ සඳහා නිසි කාලය පුරා නිර්දේශිත මාත්‍රා ලබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් අපි කවුරුත් ඕනෙම ලෙඩකට බෙහෙත් ගත්තම රෝග ලක්ෂණ පහ වූ විගස ඖෂධ ලබාගැනීම නතර කරනවා. අනිත් රෝග තත්ත්වවලදීට වඩා ක්ෂය රෝගයේදී මෙසේ සිදුකිරීම අවදානම් සහගතයි. වෛද්‍ය උපදෙස් අනුව අඛණ්ඩව ඖෂධ ලබාගැනීම ක්ෂය රෝගයේදී අනිවාර්යයි. මොකද ක්ෂය රෝගය හදන බැක්ටීරියාව විශේෂිත බැක්ටීරියාවක් නිසා එය සිරුරින් සම්පූර්ණයෙන් ඉවත් කිරිමට නිසි ලෙස නොකඩවා නිසි මාත්‍රාවෙන් ඖෂධ ලබා ගත යුතුයි. ක්ෂය රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීමට නම් නොකඩවා ඖෂධ ලබාගැනීමට සමගේ සහයෝගය ලබා දිය යුතුයි.

වෛද්‍යතුමියනි, ලය සායන හරහා සිදු කෙරනෙ තවත් සේවා තියෙනවද?

ඔව්… ලය සායනයෙන් සිදු කෙරෙන තවත් විශේෂිත සේවාවක් විදියට ආශ්‍රිතයන් හඳුනා ගැනීම (contact tracing) සිදුකරන පරීක්ෂණ දැක්විය හැකියි. ක්‍ෂය රෝගියෙක් ඔබේ නිවසේ සිටිනවා නම් ඒ රෝගියාගේ ආශ්‍රිතයන් ලය සායනට කැඳවා පරීක්ෂා කිවීම ලය සායනය හරහා සිදුකෙරෙනවා. ක්ෂය රෝගය කියන්නේ අපි නොහිතන තරම් වේගයකින් පැතිර යා හැකි ‍රෝගයක්. සාමාන්‍ය ක්‍ෂය රෝගියෙකුට (ප‍්‍රතිකාර නොගත් ක්‍ෂය රෝගියෙක්) අවුරුද්දකදී තමන්ගේ රෝගය සාමාන්‍ය පුද්ගලයන් 10 දෙනෙකුට 15 දෙනෙකුට බෝ කිරීමේ හැකියාවක්. ක්‍ෂය රෝගය බෝවෙන්නේ රෝගියෙකු කහින විට හෝ කිවිසින විට පිටවන බිඳිති සමග මේ රෝග කාරක විෂබීජය හුස්ම ගැනීමේදී ශරීර ගත වීමෙන්. ඒ නිසා මේ රෝගය බෝ වීමේ වැඩිම අවදානම තියෙන්නේ තමන්ගේ සමීපතමයන්ට. ඒ සඳහා 80% ක පමණ අවදානමක් තියෙනවා. ඒක නිසා පෙර සිටම විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු දරුවන්/වයස්ගත වැඩිහිටියන්/නිදන්ගත රෝගවලින් පෙලෙන්නෙන්/නිසි පරිදි පාලනය නොවූ දියවැඩියා රෝගීන්/HIV ආසාදිතයින් පරීක්ෂාවට ලක් කිරීම සිදු කළ යුතුයි. ක්‍ෂය රෝගය වැළඳුණු පසු තමන්ගේ නිවැසියන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ආශ‍්‍රිතයන්වත් දිස්ත‍්‍රික් ලය සායනයට ගෙනවිත් පරීක්‍ෂා කරගත යුතුයි.

නිවසේ ඉන්න ඉතාම වයස්ගත පුද්ගලයන් සහ පුංචි දරුවන් කොතරම් ප‍්‍රායෝගික අපහසුතා තිබුණත් ක්‍ෂය රෝගය සඳහා පරීක්‍ෂා කරගත යුතු බව අමතක කරන්න එපා. තම සමීපතයින් සුරකිමු. ක්‍ෂය රෝගය පැතිරීම වළකමු. ක්‍ෂය රෝගය තවදුරටත් බිය වීමට හෝ ලැජ්ජා වීමට කාරණයක් නොවේ. ක්‍ෂය රෝගය පරම්පරාවෙන් පරම්පරාවට එන රෝගයකුත් නෙවෙයි. නිසි ප‍්‍රතිකාර මගින් ක්‍ෂය රෝගය නිට්ටාවටම සුව කරගත හැකියි. 

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න

  • කොළඹ දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0112673460
  • කොළඹ දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරි, නයනා ද සිල්වා මහත්මිය – 0774839797
  • ගම්පහ දිස්ත‍්‍රික් ලය චිකිත්සකාගාරය – 0112071940
  • ගම්පහ දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, කෞෂල්‍ය රාජපක්‍ෂ මහතා – 0716850253
  • කළුතර දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0342222677
  • කළුතර දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, ජී.එච්. අමරසිරි මහත්මයා – 0777902348

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article