කොරෝනාවට බියෙන් ක්ෂය රෝගය සඟවා ගෙන ඔබත් අවදානමේද?

ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මේ කාලය තුළ අපි කොයි කවුරුත් පරිස්සම තුළින් නිරෝගීව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නිරෝගීකම කියන්නේ උතුම්ම සැපත බව දන්න නිසයි. ඇත්තටම කිව්වොත් මේ අපි ගෙවන්නේ පුංචි කැස්සක් ආවත් කිවිසුමක් ආවත් ඒ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද කියලා හිතෙන තත්ත්වයක. විශේෂයෙන්ම කැස්ස ඇති වීම මූලිකවම අපි හිතන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නිසා ද කියලයි. ඒත් කැස්ස මූලික කරගෙන ඇති විය හැකි වෙනත් රෝග තත්ත්ව ඇති බව අපි අමතක කරනවා. කැස්සට එකම හේතුව කොවිඩ් 19 පමණක් නොවන බව ද අප සිතිය යුතුය. ක්ෂය රෝගය කියන්නේ එහෙම තත්ත්වයක්. ඉස්සර නම් ක්ෂය රෝගය කිව්වම බොහෝ දෙනෙක් බියට පත් වෙනවා. ඒත් අද වෙද්දී එවැනි භයානක තත්ත්වයක් දැක ගන්න නැහැ. මොකද ක්ෂය රෝගය කියන්නේ ඖෂධ ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් නිසා. 

අන්න ඒ නිසාම මේ කාලය තුළ කොරෝනා ව්‍යාප්තිය ගැන විතරක් නෙවෙයි අනෙකුත් රෝග තත්ත්ව වුවත් ඇති විය හැකි බව සිතා බලා කල්පනාකාරීව ජීවත් වීම ඉතාම වැදගත් වෙනවා.  

2035 වසර අපේ රටෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ ජාතික සැලසුම බවට පත්ව ඇති නිසාම මේ පිළිබඳව දැනුවත් කිරීම අපේ වගකීමක් සහ යුතුකමක් වන අතරම නිසි දැනුවත් වීම් තුළින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම ඔබේ වගකීමක් සහ යුතුකමක් බව මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. 

වෛද්‍යතුමියනි, මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ක්‍ෂය රෝගීන් වාර්තා වීම ආරම්භ වූයේ කොයි කාලේ පටන්ද?

ඉතාමත් ඈත අතීතයේ සිටම ලෝකයේ ක්‍ෂය රෝගීන් වාර්තා වීමක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාව තුළ ගත්තත්එ ඈත අතීතයේ ගල් යුගයේ සිට මිනිස්සු ගල්  ආයුධ වලින් වැඩ කරන කාලයේ සිටම ක්‍ෂය රෝගය අපි අතර තිබුණා. ලංකාවේ ක්‍ෂය රෝග ව්‍යාප්තිය සෑම දිස්ත‍්‍රික්කයකම වාගේ දකින්නට ලැබෙනවා. කොරෝනා වෛරසයට පෙර ක්ෂය රෝගය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව දෙවෙනි වුණේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට පමණයි. ඉතා විශාල මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයක්ව පවතින තත්ත්වයක් තමයි ක්‍ෂය රෝගයට තියෙන්නේ. එයිනුත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර කියන ප‍්‍රදේශවල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් වසරක් තුළ රෝගීන් 8000 ක් 9000 ක් වගේ ප‍්‍රමාණයක් අපිට හමු වෙනවා. ඒත් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් වුවත් මෙහි ඇති දුක්ඛිතම කරුණ වෙන්නේ නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර වෙත යොමු නොවීම හේතුවෙන් වසරකට 500 ක් 600 ක් පමණ රෝගීන් ක්‍ෂය රෝගය හේතුවෙන් මිය යාමයි. 

කොවිඩ් 19 පැතිරීමත් සමග මේ කාල සීමාව මුළු ලෝකයටම අභියෝගාත්මක කාල සීමාවක්. ඒ තත්ත්වයත් සමගම සෞඛ්‍ය වෘත්තිකයන් ක්‍ෂය රෝගය වැළඳුණු රෝගීන් වෙනුවෙනුත් කාලය වෙන්කළ යුතුයි. එහෙම නේද?

මේක ලංකාවට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම බලපාන කාරණයක්. එතකොට මුළු ලෝකයම ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට 2020 සහ 2025 වසර වල් අතර කාලය තුළදී මිලියන 6.3 කින් පමණ ක්‍ෂය රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2018 ට සාපේක්‍ෂව ක්ෂය රෝගය පැත්තෙන් වන මරණ ගත්තත් මුළු ලෝකයේම ලක්‍ෂ හතරකින් පමණ මරණ ප‍්‍රමාණය වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මේ විදියටම ඇත්තටම ලංකාවටත් බලපානවා. 2019 සහ 2020 අතරේදි වාර්තා වෙච්ච රෝගීන් ප‍්‍රමාණය අනුව අපට එය දැකගත හැකියි. 2019 වර්ෂයේදී ක්‍ෂය රෝගීන් අපට වාර්තා වනවා 8434 ක්. 2020 දී වාර්තා වෙන්නේ රෝගීන් 7258 ක් පමණ. එතකොට තවත් දිගට කියනවා නම් උදාහරණයක් විදියට කොළඹ දිස්ත‍්‍රික්කය ගත්තොත් 2020 පළමු කාර්තුවෙදී රෝගීන් 564 දෙනෙක්, එතකොට 2021 වසරේ ප‍්‍රථම කාර්තුවේදී 300 ක් වගේ රෝගීන් ප්‍රමාණයක් හමුවුණා. මේකට හේතුව කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා රෝගීන් නිසි කලට ප්‍රතිකාර ලබා ගැනීමට නොපැමිණීමයි. ඒ මගින් නිසි පිළිවෙළට බෙහෙත් නොකිරීම නිසා රෝගය උත්සන්න වීම පැතිරීම වැඩි විය හැකියි. සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ ක්ෂය රෝගයට ඖෂධ ලබාගන්නා අයෙක්ට උපදේශන මාලාවක් සමග තමයි ඖෂධ ආරම්භ කරන්නේ. ඔවුන් සාමාන්‍යයෙන් සායනවලට සහභාගී වෙනවා. ඒත් කොවිඩ් 19 ව්‍යාප්තියත් එක්ක පිළිවෙළට සායන සඳහා සහභාගී වීමක් සිදු වෙන්නේ නැහැ. පිළිවෙළට ඖෂධ නොලැබීම නිසා සාමාන්‍යයෙන් ක්ෂය රෝගයට දෙන ඖෂධ ලබා දිය නොහැකියි. එවිට බහු ඖෂධ ප‍්‍රතිරෝධී ක්‍ෂය රෝගය (multi drug resistance TB) හේතුවෙන් ජීවිතය අවදානමට පත් විය හැකියි. ඉතිං අද වෙද්දී රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ට ලොකු අභියෝගයක් බවට පත් වෙලා.

වෛද්‍යතුමියනි, ඒ කියන්නේ ඖෂධ ලබා ගැනීම අතරමැද ඇණහිටීම ජීවිතය අවදානමකට ලක් විය හැකි බවද?

ඔව්. මම කලිනුත් කිව්වා වගේම් අතර මැද බෙහෙත් ගැනීම ඇණ හිටීම නිසා සාමාන්‍යයෙන් දෙන ඖෂධවලට වඩා විශේෂ වර්ගයේ බෙහෙත් වර්ග (MDR TB) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැඩි ඖෂධ ප‍්‍රමාණයක් තවත් දීර්ග කාලයක් පුරා ලබා දෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ටිකක් දීර්ග කාලීන ප‍්‍රතිකාර. ඒ කියන්නේ අඛණ්ඩව මාස හයක් හෝ අවුරුද්දක් වගේ. අතර මැද ඖෂධ ලබාගැනීම ඇණ හිටීම නිසා ඒ කලාය තවත් දිගු වෙන්න පුළුවන් වගේම ජීවිතය අවදානමකට ලක්වෙන්නත් ඉඩ තියෙනවා. 

තමන්ට ක්ෂය රෝගය ඇති බවට සැකයක් තියෙනවා නම් සායනයකට ගොස් පරීක්‍ෂා කරවා ගැනීම හරිම වැදගත්. එහෙම නොවෙන්න සමාජය තුළ මේ රෝගය පැතිරීම සිදු වෙනවා. කොරෝනා ඉවර වුණාම යනවා කියන පසුගාමී අදහස එක්ක නිවසට වෙලා ඉඳලා ඔබේ ජීවිතය අවදානමට පත්කරගන්න එපා. ඒ වගේම තමන්ගේ ගෙදර ඉන්න පුංචි දරුවන් ගැනත් සිතිය යුතුමයි. 

වෛද්‍යතුමියනි, කොහොමද මේ ක්‍ෂය රෝගය හැදෙන්නේ? පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද?

ඔව්, ක්‍ෂය රෝගය කියන්නේ මයිකෝ බැක්ටීරියම් ටියුබර්කියුලෝසිසස් කියන බැක්ටීරියාව මගින් බෝවන රෝගයක්. ඒක ශ්වසන මාර්ගයෙන් තමයි බෝවෙන්නේ. හරියට කොරෝනා රෝගය වගේමයි. එතකොට රෝගී පුද්ගලයෙකු කහින විට, කිවිසින විට රෝග කෙළ බිඳිති, සෙම බිඳිති වාතයට මුසු වෙනවා. එතකොට නිරෝගී කෙනෙක් ඒක ආශ්වාස කළ විට ශ්වසන මාර්ගයෙන් පෙනහලු ඔස්සේ ගිහිල්ලා තමයි මේ රෝගය ඇති වෙන්න පටන් ගන්නේ. ඇත්තටම බැලුවොත් කොරෝනා රෝගය එක්ක ලොකු සමාන කමක් තියෙනවා. මේක පෙනහලු මූලික කරගෙන සිරුරේ ඕනම ඉන්ද්‍රියකට (සාමාන්‍යයෙන් පැවසෙන ආකාරයට කෙස් හා නිය හැර) ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්.

ඔව්,  ඕනම අවයවයකට,  ඕනම ස්ථානයකට ඇති විය හැකියි. ඒ ඒ ස්ථානය අවයවය අනුව රෝගියෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. රෝග ලක්ෂණ මතු වන්නේ මූලිකව කැස්සත් සමගයි.

  • හවස් වන විට ඇති වන මද උණ ගතිය
  • රාත‍්‍රියට අධික ලෙස දහඩිය දැමීම
  • කෑම අරුචිය
  • ඇඟ කෙට්ටුවීම
  • අධික තෙහෙට්ටුව
  • හුස්ම ගැනීමට අපහසු වීම

කෙසේ වුවත් මේ රෝග ලක්‍ෂණ සියල්ලම පෙන්නුම් කරන තෙක් ප්‍රතිකාර ප්‍රමාද කිරීම සුදුසු නැහැ. මොකද තත්ත්වය නරක අතට හැරීමට එය හේතුවක් විය හැකියි. පෙනහලු බොහෝ සෙයින් හානියට පත්ව තිබිය හැකියි. ඇතැම් විට එ‍වැනි අවස්ථාවලදී ඖෂධ ප්‍රතිකාර මගින් සුව කරන්න අපහසු විය හැකියි. 

ක්‍ෂය රෝගයේ මුල්ම රෝග ලක්‍ෂණය සුළු කැස්සක් නිසා ඇතැම් විට විටින් විට එක් එක් වෛද්‍යවරු හමු වී උපදෙස් ලබාගන්නවා විය හැකියි. එය තරමක් නුසුදුසු තත්ත්වයක්. රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙලා නිසි උපදෙස් ලබා ගැනීම තුළින් නිසි ප්‍රතිකාර වෙත යොමු වී රෝගය නිට්ටාවටම සුව කරගන්න. 

වෛද්‍යතුමියනි, තමන් ‍ක්ෂයරෝගයට ගොදුරු වූවෙකු ලෙස හඳුනා ගැනීමට හැකි වන්නේ කොහොමද?

ඔව්… ඒක ක්‍ෂය රෝගයේ ලක්‍ෂණ හැදිලා තියෙන අවයවයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් බව මම කලිනුත් පැවසුවා.

  • සාමාන්‍යයෙන් සති දෙකකට වඩා වැඩි කැස්ස
  • කැස්සත් එක්ක මද උණ ගතියක් (රාත‍්‍රියට)
  • දාඩිය දැමීම (රාත‍්‍රියට)
  • ශරීරයේ බර අඩු වීම
  • ආහාර අරුචිය
  • රෝග තත්ත්වය උත්සන්න වන විට කැස්ස සමග ලේ පිටවීම 

වෛද්‍යතුමියනි, ඔබ පැවසූ ආකාරයට කෙස් සහ නියවලට හැර මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ විදියට වෙනත් අවයව හෝ ස්ථානවලටත් ඇති වුණාම රෝග ලක්ෂණ මතු වන්නේත් කැස්ස මූලික කරගෙනද?

නැහැ, උදාහරණයක් විදියට අපිට මෙහෙම කියන්න පුළුවන්. 

  • වසා ගැටිති ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – වසා ගැටිති ඉලිප්පීම
  • කොන්ද ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – කොන්දේ වේදනාව/ඇවිදීමේ අපහසුතා/දෙපා හිරි වැටීම
  • ස්ත‍්‍රියකගේ පැලෝපීය නාලය ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – මද සරු භාවය 
  • මොළයේ මස්තිෂ්ක, සුෂුම්නා තරල ආශ‍්‍රිත ක්‍ෂය රෝගය (TB meningitis) – කල්පනාවේ වෙනස්කම්/උණ සමග වමනය 

ක්ෂය රෝගය පරම්පරාවෙන් එන රෝගයක් නේද?

කිසිසේත්ම නැහැ. පරම්පරාවෙන් පරාම්පරාවට මේ රෝග තත්ත්වය එන බව ඉස්සර කාලයේ සිට පැවති මිත්‍යා මතයක් විතරයි. මේ රෝගය බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වන රෝග තත්ත්වයක්. තම සමීපතමයන්, ආශ‍්‍රිතයින් හැමදෙනෙක්ටම මේ රෝගය තිබිය හැකියි. ඒ හින්දා ඔවුන්වත් පරීක්‍ෂා කරන එක බොහෝම වැදගත්. මෙහිදී විශේෂයෙන් කියන්නේ වයස අවුරුදු පහට අඩු දරුවෝ වයස්ගත වැඩිහිටියෝ සහ වෙනත් රෝග ඇති අයෙක් ගෙදර සිටී නම් (පාලනය නොවූ දියවැඩියා රෝගීන්/පිළිකා රෝගීන්/HIV ආසාදිතයෙක්/ වෙනත් නිදන් ගත රෝග/ වකුගඩු රෝග) මේ කාණ්ඩ ටඉතාමත්ම අවධානම්. 

මේ තත්ත්වයන්වල ඉන්න සියල්ලන්ටම සංකූලතා ඇති විය හැකියි. ඔවුන් ලක්ෂණ පෙන්නුම් කොනළත් නිවසේ රෝගියෙක් හෝ ආශ්‍රිතයෙක් සිටිනවා නම් ලය සායනය වෙත පැමිණ ආශ්‍රිතයින් සඳහා සිදු කරන පරීක්ෂණ මගින් ආසාදිත ද නැතිද යන්න තහවුරු කරගත හැකියි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here