ළදරුවන් තුළ සුලබව දැකිය හැකි හෘද රෝග තත්ත්ව – 2 කොටස

දරුවෙක් කියන්නේ අම්මා තාත්තට මහමෙරක්. බතිං ඒ දරුවා නිදුක් නිරෝගීව ජීවත් වීම තරම් දෙමාපියන්ට වටින වෙනත් දෙයක් නම් නැහැ. ඒත් ඇතැම් අවස්ථාවලදී අපට අහන්න දකින්න ලැබෙන අවාසනාවන්ත සිදු වීම් ජීවිතයට සවියක් කරගෙන මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ රෝග තත්ත්වවලදී දරුවන්ට දෙමාපියන් හැර වෙන කිසිවෙකුත් නැහැ. අන්න ඒ නිසාම හැම අම්මෙක් තාත්තෙක්ම අවශ්‍ය අවස්ථාවේදී බොහොම ශක්තිමත්ව ඒ දේට මුහුණ දෙන්න ඕනේ. 

ලෙඩ රෝග කිව්වට හදවත ආශ්‍රිත යම් රෝග තත්ත්වයක් තමන්ගේ දරුවට තියෙනවා කියලා අහන්න කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැ. ඒ වචනයත් එක්ක හැම කෙනෙක්ගේම හිතට එන්නේ බියක්. ඒත් අපි මුහුණ දෙන්න ඕනේ. දරුවෙක්ට ජීවිතේ හරිගස්සවා ගන්න දෙමාපියන් විදියට අපි ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒ නිසාම දරුවන්ගේ රෝග තත්ත්ව ගැන කල් තියා දැනුවත් වීම බොහොම වැදගත්‍. මේ දරුවන් තුළ ඇති වන ‍හෘද රෝග සම්බන්ධව ලියවුණු ලිපියේ දෙවන කොටසයි

නිලායනය රහිත හෘද රෝග 

මෙහිදී ඔක්සිජන් සහිත හා රහිත රුධිරය මිශ‍්‍ර වීමක් සිදු නොවේ. අවහිරයක් හේතුවෙන් කෝෂිකාවෙන් පිටවන රුධිර පරිමාව අඩු වේ. මේ තත්ත්වයේදී ඇති විය හැකි රෝග තත්ත්ව 8ක් පිළිබඳව දැනුවත් වෙමු. 

1)පුප්පූශීය සංකෘෂ්ඨිය – Pulmonary Stenosis

අපිරිසිදු රුධිරය, පිරිසිදු කිරීම සඳහා පෙනහලු කරා යන ධමනියක් වන පුප්පුශීය ධමනිය ආරම්භ වන ස්ථානයේ විවරය පටුවීම මෙහිදී සිදු වේ. දකුණු කෝෂිකාවෙන් රුධිරය ගලායාම අවහිර කරන  ඕනෑම තත්ත්වයක් පුප්පූශීය සංකෘෂ්ඨිය ලෙස හඳුන්වයි. මෙහිදී අවහිර වූ පුප්පූශීය ධමනියට රුධිරය ගැලීම සිදු වේ. හෘදයේ රුධිරය බෙදා හරින ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට දකුණු කෝෂිකාවේ පීඩනය වැඩි වේ. මේ නිසා දකුණු කෝෂිකාව විශාල වීමක්  සිදු වේ. 

මෙම රෝග තත්ත්වයේදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ නොපෙන්වයි. ඇතැම් විට ව්‍යායාම දරාගත නොහැකි (Exercise intolerance) වීම, විශාල අවහිරයක් ඇත්නම් ස්වසන අපහසුව හා ශරීරය නිල් පැහැ වීම හෝ හෘදයේ පිටත ආවරණයක වේදනාව (Pericardial pain) ඇති විය හැකිය.

2)මහා ධමනි සංකෘෂ්ඨිය – Aortic Stenosis

මහා ධමනියේ කපාට ඝන වී සිදුර පටු වීම මෙම තත්ත්වයේදී සිදු වේ. බොහෝ විට මෙය ඇති වන්නේ මහා ධමනිය හෘදයෙන් ආරම්භ වන ස්ථානයේය. එවිට වම් කෝෂිකාවෙන් රුධිරය පිටවීමට බාධා ඇති වේ. වම් කෝෂිකාවේ සිට අවහිරය ඇති ධමනි කපාටය තුලින් මහා ධමනියට රුධිරය ගලා යයි. අවහිර වූ කපාට ප‍්‍රතිරෝධනය මගහරවා ගැනීම පිණිස එම කෝෂිකාව විශාල වන විට එයට අවශ්‍ය පමණ ඔක්සිජන් නොලැබීම නිසා හෘදයේ මධ්‍ය ආවරණයට රුධිර නොලැබීමෙන් එහි පටක මිය යාමට ඉඩ ඇත. 

මෙම රෝග තත්ත්වවලදී Aortic Valvotomy/ Prosthetic Valve Replacement (කෘති‍ම කපාටයක් දැමීම) වැනි ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේ. ළදරු කාලයේදී රෝග ලක්‍ෂණ පෙන්වන්නේ ඉතා කලාතුරකින් වන අතරම 

පහත ලක්ෂණ ගැන සැලකිලිමත් විය යුතුය . 

  • පපුවේ වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුව
  • ව්‍යායාම වලදී වෙහෙස ඇති වීම (දරුණු අවහිරතාවයකදී)
  • නාඩි පීඩනය අඩු වේ                                                                                             
  • 3)මහා ධමනි සමාඛණ්ඩනය – Co-arcatation of aorta

මහා ධමනියේ  කුහරය (ලූමනය) පටු වීමය. මෙය ධමනි ප‍්‍රනාලය සම්බන්ධ වන ස්ථානයට ඉදිරියෙන් හෝ පිටු පසින් ඇති විය හැක. ධමනි නාලයේ පටුවීම නිසා රුධිර ගමනයට බාධා ඇති වේ. එවිට වම් කෝෂිකාවේ පීඩනය ඉහළ යයි. වම් කෝෂිකාවේ කාර්ය වැඩි වේ. උපකුංචික (Subclavian) හෝ අන්තර් පර්ශුක ධමනි (Inter costal arteries) මගින් සමාන්තරව රුධිර නාල වර්ධනය වී සංකෝචනය වූ කොටසින් ඈතින් පිහිටි කොටස් වලට රුධිරය සපයයි. 

මෙම රෝග තත්ත්වයේදී ශල්‍ය ප‍්‍රතිකාර මෙන්ම හදවතේ තරල වැඩි වශයෙන් එකතු වීම නිසා හදවතේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමේ තත්ත්වයට (සංචයන හෘද අකරණීය තත්ත්වය – ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත) ප‍්‍රතිකාර ලබා දෙයි. ළමා කාලයේදී රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර වර්ධනය හා විකසනය සාමාන්‍ය පරිදි සිදු වේ. 

සමහර විට පහත රෝග ලක්‍ෂණ පෙන්වීමට ඉඩ ඇත. 

  • කලාතුරකින් ඇති වන වෛහස
  • හිසරදය 
  • නාසයෙන් රුධිරය ගැලීම
  • පාදවල මස්පිඬු පෙරලීම
  • ඉකිලියෙන් නාඩි (ඌර්වීය) බැලීමේදී නාඩි නොදැනීම හෝ දුර්වල ලෙස දැනීම
  • දෑත්වල රුධිර පීඩනය වැඩි වීම, දෙපාවල රුධිර පීඩනය අඩු වීම. 

තත්ත්වය දරුණු අතට හැරුණු පසු ළදරුවන් පෙන්වන ලක්‍ෂණ

  • වර්ධනය බාල වීම
  • වේගවත් ස්වසනය
  • ස්වසන අපහසුව
  • අත් පා ඉකෙළවර දිමුම 
  • දරුණු සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 4)කර්ණික ආවාර පළුද්ද (Atrial Septal)

වම් හා දකුණු කර්ණිකා අතර බිත්තිය (ආවාරය) අසාමාන්‍ය විවරයක් පිහිටයි. වම් කර්ණිකාවේ පීඩනය, දකුණු කර්ණිකාවේ පීඩනයට වඩා වැඩි වී රුධිරය වම් කර්ණිකාවේ සිට දකුණු කර්ණාකිවට ඇතුළු වේ. මෙහිදී ඔක්සිජන් සහිත රුධිරය (පිරිසිදු රුධිරය) පෙනහලු කරා නැවත නැවත ගමන් කරයි. මේ නිසා පෙනහලු තුලින් ගමන් කරන රුධිර ප‍්‍රමාණය වැඩි වේ. මෙවිට පුප්පූශීය ධමනි විස්තාරණය වේ. පුප්පූශීය ප‍්‍රතිරෝධය ඉතා වැඩි නම් එමගින් දකුණු කර්ණිකා පීඩනය ඉහළ ගොස් රුධිර ගමන් මග වෙනස් වී ඔක්සිජන් රහිත රුධිරය අසාමාන්‍ය විවරය තුලින් දකුණු කර්ණිකාවේ සිට වම් කර්ණිකාවට යැවේ. 

මෙම රෝග තත්ත්වවලදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • බර වැඩි වීම මන්දගාමීව සිදු වේ
  • වෙහෙස දැනීම
  • වෙහෙස වූ විට සුවසන අපහසුතා 
  • නිතර ස්වසන ආසාධන
  • සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 5)තුන්දිකා ආචාර පළුද්ද – Ventricular Septal defect

වම් හා දකුණු කෝෂිකා අතර බිත්තිය (ආවාරය) අසාමාන්‍ය විවෘත වීමක් පිහිටයි. එය කුඩා සිදුරක් හෝ විශාල සිදුරක් වීමට ඉඩ ඇත. ආවාරයේ පටලමය කොටසේ පමණක් හෝ පේශිමය කොටසද ඇතුලත්ව ඇති විය හැක. මෙම තත්ත්වයේදී එම කෝෂිකාවේ පීඩනය දකුණු කෝෂිකාවේ පීඩනයට වඩා වැඩි වේ. මේ නිසා ඔක්සිජන් සහිත රුධිරය අසාමාන්‍ය විවරය තුලින් වම් කෝෂිකාවේ සිට දකුණු කෝෂිකාවට පැමිණේ. මෙම රුධිරය දකුණු කර්ණිකාවෙන් එන රුධිරය සමග මිශ‍්‍ර වී නැවත නැවත පෙනහලු තුලින් ගමන් කිරීමෙන් වීමෙන් පෙනහලු තුලින් ගමන් කරන රුධිර පරිමාව වැඩි වේ. මෙහිදී දකුණු කෝෂිකාවේ හා පුප්පූශීය ධමනි වල පීඩනයද ඉහළ යයි. පෙනහලුවල ප‍්‍රතිරෝධය ඉහළ ගියේ නම් දකුණු කෝෂිකා පීඩනය වැඩි වී රුධිර ගමන් මග වෙනස් වී ඔක්සිජන් රහිත රුධිරය විවරය හරහා වම් කෝෂිකාවට පැමිණේ. 

මෙම රෝග තත්ත්වවලදී විවරය වසා දැමීම සඳහා ශළ්‍ය ප්‍රතිකාර ද සංචයන හෘද අකරණීයට ප‍්‍රතිකාර ද අවශ්‍ය වන අතරම ඉතා කුඩා විවරයක් නම් රෝග ලක්‍ෂණ නොපෙන්වයි. බොහෝ විට වර්ධනයත් සමගම විවරය වැසී යයි. විශාල පළුද්දක් ඇති විට දරුවාට මාස 1 – 2 පමණ වන විට පහත ලක්‍ෂණ පෙන්වයි. 

  • බර වැඩි වීමේ වේගය අඩු වීම
  • කිරි පෙවීමේ ගැටලු
  • සුදුමැලි බව
  • නිතර ස්වසන ආසාධන
  • අධික ලෙස දහදිය දැමීම
  • සංචයන හෘද අකරණියේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 6)උපතින් පසු සිදුරු වැසී නොයාම (විස්තීර්ණ ධමනි නායකය) – Patent Ductus Arteriosus

භ‍්‍රෑණ කාලයේදී මහා ධමනිය හා පුප්පූශීය ධමනිය අතර සම්බන්ධ වන ධමනි නායකය උපතින් පසු සිනිඳු පේශී සංකර්ශණය හේතුවෙන් වැසී යයි. මෙම ධමනි නායකය උපතින් පසු වැඩි නොයාම මෙසේ හඳුන්වයි. 

භ‍්‍රෑණ කාලයේදී දකුණු කෝෂිකාවේ ඇති රුධිරයෙන් වැඩි කොටසක් ක‍්‍රියාකාරී නොවන පෙනහලු හරහා නොගොස් මෙම විවරය හරහා පුප්පූශීය ධමනියෙන් මහා ධමනියට යවයි. උපතින් පසු ස්වසනය ආරම්භවීමත් සමග ධමනි නායකයෙහි ක‍්‍රියාකාරීත්වය නතර වන අතර සති කිහිපයකදී ව්‍යුහමය වශයෙන්ද වැසී යයි. ධමනි නායකයේ බිත්තියෙහි සිනිඳු පේශී සංකෝචයෙන් ඇතුලත කුහරය (ලූමනය) පටු වේ. සති කිහිපයකින් එය තන්තුමය පටක රැහැනක් බවට පත් වේ. 

මෙම විවරය නොවැසී දිගටම පවතින විට වැඩි පීඩනයක් සහිතව මහා ධමනිය තුලින් ගලන රුධිරය එම විවරය තුලින් අඩු පීඩනයක් සහිත පුප්පූශීය ධමනි රුධිරය හා මිශ‍්‍ර වේ. මේ නිසා අත් පාවලට (පර්යන්තයට) අවශ්‍ය පමණ රුධිරය සැපයීමට හෘදය තුලින් පොම්ප කළ යුතු රුධිර පරිමාව වැඩි වේ. මේ නිසා පෙනහලු තුලට යැවෙන රුධිර පරිමාව මෙන්ම වම් කෝෂිකාවේ රුධිර පරිමාවද වැඩි වේ. 

මෙම රෝග තත්ත්වයේදී විවරය වැසීම සඳහා ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේ. ඉතා කුඩා විවරයක් නම් රෝග ලක්‍ෂණ නොපෙන්වන අතරම විවරය විශාල නම් රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • බර වැඩි වීමේ වේගය අඩු වීම
  • කිරි පෙවීමේ ගැටලු
  • නිතර ස්වසන ආසාධන
  • සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)

7)සංචයන හෘද අකරණිය – Congestive cardiae failure

ශරීරයේ පරිවෘත්තීය අවශ්‍යතාවයන්ට ප‍්‍රමාණවත් වන පරිදි රුධිරය පොම්ප කිරීමේ හැකියාවක් හෘදයට නොමැති වූ විට මෙම තත්ත්වය ඇත වේ. මෙවිට සංචයන හා පුප්පූශීය ශිරා පද්ධතියේ අතිරේක ලෙස රුධිරය එක්රැස් වේ. උපතින් ඇති වන හෘදයාබාධ/හෘදයෙන් පිටතට ලබා දෙන රුධිර ප්‍රමාණය අඩු වීම/නීරක්තිය/රූමටීෂීයා හෘද රෝග මෙන්ම හදවතේ මධ්‍ය ස්ථරයේ ඇති වන අසාදන හෝ ව්‍යහමය වෙස්කම් (වහිර් කන්තුක අසාධන) වැනි තත්ත්ව මෙයට හේතු විය හැකිය.

මෙම රෝග තත්ත්වයේදී ඖෂධ ප‍්‍රතිකාර, ඔක්සිජන් ලබාදීම සිදු කෙරෙන අතරම ළදරුවන් හා ළමුන් පෙන්වන රෝග ලක්ෂණ පහත පරිදි වේ.

ළදරුවන් පෙන්වන ලක්ෂණ

  • කිරි පෙවීමේ ගැටලු
  • බර වැඩි වීම දුර්වල වීස
  • වැඩිපුර හැඬීම
  • අධික ලෙස දහදිය දැමීම
  • හෘදය විශාල වීම
  • ස්වසන වේගය වැඩි වීම
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • ශරීරයේ ඉදිමීම  

ළමුන් පෙන්වන ලක්ෂණ 

  • විවේකයේදී, වෙහෙස වීමේදී ස්වසන අපහසුව
  • නාඩි වේගය වැඩි වීම
  • ශිරා වල පීඩනය වැඩි වීම
  • අක්මාව විශාල වීම
  • ඉදිමාව
  • අත්,පා, නිය, තොල් නිල් පැහැ වීම
  • හෘදය විශාල වීම
  • රුධිර පීඩනය අඩුවීම
  • හතිය  (Wheezing)
  • වියළි කැස්ස

8)තීව්‍ර රුමටීෂියා උණ (Acute Rheumatic Fever)

අපිචන්ද පටකය හා සම්බන්ධ පටක වල ප‍්‍රදාහමය තත්ත්වයන් පෙන්නුම් කරන මුළු ශරීරයටම බලාපාන රෝග තත්ත්වයකි. හෘදයට, සන්ධි වලට මධ්‍ය ස්නායු පද්ධතියට හා සමට යටින් ඇති පටකයට (උපත්වචීය පටකය) බලපෑම් ඇති වේ. ඇතිවීමට හේතු ස්ථිර ලෙස නොදනී. උගුරෙහි ආසාදයකින් පසුව ඇති වේ. හෘදයෙහි, සන්ධි වල රුධිර නාල වල හා සමට යටින් ඇති පටකයේ (පත්වචිය පටක) මධ්‍ය ශ්ලේෂ්මල ආධාරක පටකයෙහි ප‍්‍රදාහමය තත්ත්වයක් ඇති වේ. මේ තත්ත්වයට හේතු වන්නේ බැක්ටීරියාවකි.

මෙම රෝග තත්ත්වයේදී ප්‍රතිකාර ලෙස ආසාධන පාලනය සඳහා ප‍්‍රතිජෛවක ලබාදීම (Penicillin ඖෂධය භාවිත කරන අතරම එයට ආසාත්මිකතා පෙන්නුම් කරන දරුවන්ට Erythromycin නම් ඖෂධය ලබාදේ)/ප‍්‍රදාහක ක‍්‍රියාවලිය පාලනය කර වේදනාව සහ උණ අඩු කිරීමට ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ භාවිතය සහ පෙන්වන රෝග ලක්‍ෂණ අනුව වෙනත් ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙන අතරම මෙම රෝගීන් පහත ලක්ෂණ පෙන්නුම් කරයි. 

සුළු රෝග ලක්‍ෂණ

  • සන්ධි වේදනාව
  • උණ
  • ESR වැඩිවීම
  • සුදු රුධිර සෛල වැඩිවීම
  • ASOT අගය ඉහළ යාම (Streptococcal නම් බැක්ටීරියා ආසාධනයක් බවට සාධකයකි)
  • උණ සමග ඇති වන අනෙක් ලක්‍ෂණ (වෙහෙස, උගුර වේදනාව, පාදවල වේදනාව)

ප‍්‍රධාන ලක්‍ෂණ

  • හෘද ප‍්‍රදාහයේ ලක්‍ෂණ – හෘදයෙන් රුධිරය පොම්ප කිරීමේදී  මුරු මුරුව (Murmer) හෘදයේ සිදුරක් ඇති බවට ලක්‍ෂණයකි. එසේම හෘදය විශාල වීම, හෘදයේ බාහිර ආවරණයේ ප‍්‍රදාහය (පරිකන්තුක දාහය – Pericarditis), සංචයන හෘද අකරණිය, හෘදයේ රුධිර ගැලීම් නිසා පළුදු ඇති වීම (මෙම පළුදු Aschoff bodies ලෙස හඳුන්වයි. මෙමගින් හෘදයේ සම්බන්ධික පටක වල වෙනස්කම් ඇති කරවයි)
  • රුමිටීෂියා බහු පර්වදාහය (Rheumatic Polyarthritis) – සන්ධි ඉදිමී ප‍්‍රදාහයට පත් වේ. අල්ලන විට වේදනාව ඇත. එක් සන්ධියක වේදනාව දින 2 – 4 ක් තිබී නැවත වෙනත් සන්ධි කිහිපයක වේදනාව ඇති වේ. 
  • රූමටික කෝරියාව (Rheumatic Chorea) – ස්නායු පද්ධතිය ආශ‍්‍රිත අසාමාන්‍යතාවයකි. ඉච්ඡානුග පේශී (හිතා මතා පාලනය කළ හැකි පේශි) වල අනිච්ඡුානුග (හිතා මතා පාලනය කළ හැකි පේශිවල පාලනය කළ නොහැකි චලන ඇති වීම ) ලෙස හේතුවක් රහිතව අක‍්‍රමවත් ලෙස හා ගැස්සෙන සුළු ලෙස ඇති වන චලන ඇති වීමයි. 
  • Erythema Marginatum – සිරුරේ හා අත් වල සමෙහි පළු හෝ ලප ඇති වීමයි. මෙහි මධ්‍යය හා දාරය පැහැදිලි රත් පැහැ ලප දැකිය හැක. 
  • උපත්වචිය ගැටිති (Subcutaneous needle) – දණහිස, මැණික් කටුව හා වළලුකර සන්ධි අවට වේදනා රහිත කුඩා ගැටිති ඇති වීම. මේවා දිගු කලක් පවතී. 

එක් සායනික ලක්‍ෂණයකින් පමණක් හෝ රසායනාගාර පරීක්‍ෂණ වාර්තාවකින් පමණක් මෙම තත්ත්වය රෝග විනිශ්චය කළ නොහැකි බැවින් ඇමෙරිකානු හෘද සංගමය මගින් රෝග විනිශ්චය සඳහා Jones Criteria හඳුන්වා දී ඇත. එනම් ප‍්‍රධාන රෝග ලක්‍ෂණ දෙකක් සමග එක් සුළු රෝග ලක්‍ෂණයක් ඇති විට හෝ ප‍්‍රධාන රෝග ලක්‍ෂණ එකක් සමග සුළු රෝග ලක්‍ෂණ දෙකක් ඇති විට මෙම තත්ත්වය රෝග විනිශ්චය කළ හැක. මේ අවස්ථා දෙකේදීම Streptococcus ආසාධනයක් පැවති බවට ඉතිහාසයක් තිබිය යුතුය. 

දරුවන් තුළ උපතින්ම ඇති විය හැකි හෘද රෝග තත්ත්ව අතරින් ඇතැම් ඒවා බොහ‍ොම සුළු මට්ටමේ වන අතරම ඒවා ජීවිතයට කිසිදු බලපෑමක් හෝ අවදානමක් නොමැති ඒවා වන අතරම ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒ වගේම ඇතැම් තත්ත්ව සඳහා දරුවන් සැත්කම් වෙත යොමු කිරීමට අවශ්‍ය විය හැකියි. එසේ නොවන්නට යම් යම් බලපෑම් ඇති වීම මත තත්ත්වය උත්සන්න විය හැකියි. දෙමාපියන් ලෙස ඔබේ වගකීම නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here