මිනිස් දිවියේ මානව කුසලතා, උපතට පෙර සිටම එනම් කුස පිළිසිඳ කලලයේ චලනයන් මගින් අපට හඳුනා ගන්නට හැකියි. සති 18 ක් වැඩුණු භ්‍රෑණයකුගේ අත් පා චලනය කිරීමේ හැකියාව මවට දැනේ. මෙසේ අත් පා චලනය කිරීමේ හැකියාව ඔවුන්ගේ කුසලතා සංවර්ධනයේ ආරම්භක අවධිය වේ. කුස තුල සිටිනා පුරාවට දෑත් දෙපා චලනය කරමින් දඟලන දරුවා මෙලොව උපත ලබද්දී, දෑත් මිට මොලවා සිටී.
අලුත උපන් දරුවෙකුගේ අතේ යමක් ගැටුනු විට එය තදින් ග‍්‍රහණය කර ගනී. එසේම අත්ලට සෙමෙන් තට්ටු කරන විට එය මුදා හැරීමටද දරුවා සමත් වේ. මෙම අතින් ග‍්‍රහණය කර ගැනීමේ ප‍්‍රතීකය palm grasp reflex නම් වේ. වයස මාස 3 දී පමණ වන විට මේ ප‍්‍රතීකය නැති වේ.
මාස 3 පසු කරන විට අතේ ඇඟිලි සමග සෙල්ලම් කිරීමටත් මුනින් අතට තබා ආසන්නයේ වර්ණවත් යමක් තැබූ විට එය ලබා ගැනීමට උනන්දුවක් දක්වන අතරම දෑතින්ම බෝලයක් වැනි යමක් අල්ලා ගැනීමට ද දරුවෙකු උත්සහ කරයි. අතට යමක් දී අල්ලා ගත් පසු සෙමින් ඇදීමෙන් ග‍්‍රහණය තද කිරීමට උනන්දුව ඇති කළ හැකිය.
මාස 6 පසු කරන දරුවන්ගේ අතට යමක් දුන් විට එය අතින් අතට මාරු කිරීමට හැකියාව ලබයි. මෙසේ සිදු නොකරන්නේ නම් දරුවා අතට ලබාදුන් වස්තුව අතේ තබා නැවත රැගෙන ආයෙත් දීම ලෙසින් කීප වරක් සිදු කිරීමේදී එය අල්ලා ගැනීමට උනන්දු වන අතරම එමගින් එම කුසලතාව ඇති කළ හැකියි. එසේම දරුවා ඉදිරියේ පැහැදිලිව පෙනෙන ලෙස වියලි මිදි, කඩල ඇටයක් වැනි කුඩා දෙයක් තබා පෙනෙන්නට සැලැස්වීම තුලින් එය අල්ලා ගැනීමට උනන්දු කළ හැකියි.
මානව පරිණාමයේ සුවිශේෂී ම හැකියාව ලෙස හැඳින්වෙන මාපටඟිල්ල හා දබරඟිල්ල පිලිමල් කිරීමේ හැකියාව දරුවා තුල වර්ධනය වීම මොළයේ සංවර්ධන ක‍්‍රියාවලි උත්තේජනයට ඉතා වැදගත් හෙයින් දරුවන්ගේ හසුරු කුසලතා සඳහ කල හැකි ක‍්‍රියාකාරකම් පිළිබඳව මව්වරු දැනුවත් වීම ඉතා වැදගත් වේ.
දරුවෙකුගේ අතෙහි ක‍්‍රියාකාරීත්වය හොඳින් දැකිය හැකි අවස්ථා වනුයේ ඇසේ ගැටුනු වස්තූන් සඳහා අත් වලින් දක්වන ප‍්‍රතිචාරයෙනි. මේ සඳහා අත් දිගු කිරීමත් එම ද්‍රව්‍ය අල්ලා ගැනීමත් තුලින් මොළයට ගමන් ගන්නා පණිවුඩය හරහා ද්‍රව්‍ය හඳුනා ගැනීම, අල්ලා ගැනීම, එහි ස්වභාවය තේරුම් ගැනීම, වර්ණ, ගඳ, සුවඳ ආදී කරුණු මගින් මොළයේ සංවේදන ඉන්‍ද්‍රිය ගණනාවක් උත්තේජනය වීම සිදු වේ.
මාස 9 වන විට මිට මොලවා තදින් යමක් අල්ලා ගැනීමට හැකියාව ලබන අතර මේ සඳහා ඇඟිලි ලං වී නැවී අත්ල හා ඇඟිලි අතර එම වස්තුව තද කර අල්ලා ගැනීමේ හැකියාව සියුම් චාලක හැකියාවකි.
එසේම කොළ ගුලියක් වැනි යමක් අල්ලන විට මාපටඟිල්ල හා අනෙක් ඇඟිලි අග යොදාගෙන සිදු කරන ක‍්‍රියාවලියද සියුම් චාලක ක‍්‍රියාවලියකි. මෙසේ යමක් ඇඟිලි, අත්ල භාවිත කර අල්ලා ගැනීම, බෝලයක්, ඝන වස්තුවක්, කඩල ඇටයක්/ක‍්‍රීඩා භාණ්ඩයක් අල්ලා ගැනීම, අතහැරීම වැනි ක‍්‍රියාකාරකම් නිතර සිදු වීම තුලින් දරුවාගේ සියුම් චාලක හැකියාවන් හොඳින් වර්ධනය වේ.
ඇ`ගිලි දිගුකර යමක් පෙන්වීමේදී දරුවා හ`දුනා ගනීදැයි බලන්න. මේ ස`දහා දබර`ගිල්ල දික්කර මලක්, පින්තූරයක් පෙන්වන්න. එහි නම කියමින් නැවත නැවත පෙන්වීම තුලින් දරුවා එය ප‍්‍රගුණ කරයි.
මිටෙන් අල්ලා ගැනීමට හැකිවන සේ අණ්ඩ සහිත කෝප්පයක්, හැන්දක් ඇල්ලීමට බඩදෙන්න. එවිට දරුවා ක‍්‍රමයෙන් ඊට හුරු පුරුදු වේ. එසේම අතින් අල්ලා කන කෑමක් ලබාදීම තුලින්ද දරුවාගේ ඇඟිලි හැසිරවීම හුරු කළ හැකියි.
මේ සඳහා බත් ඇට, තැම්බූ කඩල වැනි ඇට වර්ග, පාන් කැබලි, ආප්ප වැනි ආහාරද, ඉදුණු පලතුරු, අල වර්ග වැනි දෑ අතින් අල්ලා කෑමට ගැනීමට හුරු කළ හැකියි. ආහාර කැබලි සිරකර ගැනීමට ඉඩ ඇති හෙයින් ආරක්‍ෂාව සමග මේ සඳහා දරුවාට ඉඩ හසර ලබාදිය යුතුයි. අඹ වැනි ඇටයක් දෑතින් අල්ලා සූප්පු කිරීමට දීමද දරුවාට හොඳ ව්‍යායාමයකි.
මෙලෙස අතින් අල්ලාගෙන කෑමට ආහාර ලබාදීමෙන් ආහාරයේ ස්වභාවය, පිටි ගතිය, ඇලෙන සුලු බව, කෙඳි ගතිය, රස, සුවඳ, තල්ලට සපා සපන විට සිදුවන දේ ගැන මෘදු බව ආදී ලෙසින් මොලයට දැනවිය හැකි සංවේදනා බොහෝ ගණනාවක් එකවර ලැබීම තුලින් පංච ඉන්‍ද්‍රියයන්ට උත්තේජනය වන අතරම ඒ ඒ ඉන්‍ද්‍රියයන් සංවර්ධනයට අදාල ස්නායු ජාල සම්බන්ධතා ගොඩනැඟීම සිදුවන හෙයින් දරුවාගේ මොළයේ සංවර්ධනය ශක්තිමත්ව සිදු වේ.
කුඩා අවධියේ සිට ඇඟිලි එක් කර ගනිමින් යමක් අල්ලන්නට, ගුලි කරන්නට, ඉරන්නට, තලන්නට ආදී ලෙසින් සිදු කරන ක‍්‍රියාකාරකම් හරහා අතේ ඇඟිලි ආශ‍්‍රිත පේශී ශක්තිමත් වේ. එසේම මේ සඳහා අත ක‍්‍රියා කිරීම නිසා අත ඒ මේ අතට නැමීම, දිග හැරීම ආදී ක‍්‍රියාකාරකම් සිදු කිරීම නිසා ඉක්මණින් නිවැරදි ලෙස පෑන පැන්සල ඇල්ලීමට හැකියාව දරුවා අත් කරගනී.
ඇඟිලිවල සෑම පුරුකක්ම මෙන්ම ඇඟිලි තුඩු ආශ‍්‍රිතව බැඳ ඇති පේශී ශක්තිමත් කිරීම තුලින් ඇඟිලි නැමීම දිග හැරීම අවශ්‍ය පරිදි සිදු කිරීමට හැකි වීම තුලින් සියුම් හසුරු කුසලතා සංවර්ධනය වේ.
මෙම හසුරු කුසලතා වර්ධනය වෙනුවෙන් මව්වරුන් තම එදිනෙදා කරන සියලු ක‍්‍රියාකාරකම් වලදී දරුවා හවුල් කරවා ගත යුතුයි. එලෙස දායක වන දරුවන් විවිධ අවස්ථා වලදී භාවිත කරන උපකරණ, ද්‍රව්‍ය හඳුනා ගැනීම, ඒවායේ දිග පලල ස්වභාවය, හැකියාව, වෙනස් කිරීමට ලක් කල හැකි අයුරු, වර්ණය, ගඳ/සුවඳ ආදිය පිළිබඳ අවබෝධය ලබාගනී.
මේ සඳහා නිවසේ ක‍්‍රියාකාරකම් කීපයක් බැලූ විට හළවළු බෑගය ගත් විය එය නම් අනුව, දිග/කො අනුව, පාට අනුව, හැඩය අනුව, කරල්/ගෙඩි/අල අනුව ආදී ලෙසින් ගොඩවල් කිරීම/වෙන් කිරීම යනු සංවර්ධනය වූ ගණිත සෙල්ලමකි.
එසේම එළවළු කැපීම, කපන එළවළු වල හැඩයන් හඳුන්වා දීම, ඒවා අල්ලන්නට/කපන්නට අවස්ථාව ලබාදීම තුලින් එැඩතල හඳුනා ගැනීමට ගෙඩියක පිට පැත්ත, ඇතුලත පැහැය, මෙන්ම ඇතුලත පිහිටන ඇට, රේණු ආදී වෙනස් වූ දෑ දරුවාට හඳුනාගැනීමට අවස්ථාව ලබාදීම නිවස මිස වෙනත් පාසැලක් කොහේද?
එසේම පරිප්පු, මුං ඇට, කඩල, රට කජු ආදී ලෙසින් හඳුනා ගන්නට අවස්ථාව ලබාදීමත් අවස්ථාව හිමි වෙනවා. එසේම වයස අවුරුදු 2 සිට පොල් කුඩු මිරිකීම, එළවළු කැපීම වැනි සෙල්ලම් ගෙයි ක‍්‍රියාකාරකම් ඉතාමත් වැදගත් වනුයේ ඇඟිලි හා පේශී ක‍්‍රියාකාරීත්වය ඉතාමත් සුවිශේෂී ලෙස වර්ධනය වන හෙයිනි.
සියලුම දෙමාපියන්ගේ සුබ සිහිනය වනුයේ පාසැල් අධ්‍යාපනය තුල පෑන, පැන්සල අතර දරුවන් ඉහළින් වැජඹෙනු දැකීමයි. මේ සඳහා හොඳම අත්තිවාරම වනුයේ පෙර සඳහන් කළ පරිදි දරුවාගේ ජීවිතය බිළිඳු වියේ සිටම අත්දැකීම් සපිරි ලෙසින් ගෙවෙන්නට ඉඩ දීමයි. හොඳින් පෑන පැන්සල ඇල්ලීමට හැකි ලෙසින් පේශී ශක්තිමත් වීම සඳහා ඇඟිලිවලට අතට ව්‍යායාම ලැබිය යුතුමයි. අතට, අතේ පේශීවලට ව්‍යායාම ලැබීම තුලින් අත ක‍්‍රියා කරවීම ශක්තිමත් වීම යනු අධ්‍යාපනය අභියෝග ජය ගැනීමට මූලික අත්තිවාරම වැටුණු බවයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල