- Advertisement -

මොනවද මේ ස්ටිමියුලේෂන් කාඩ් කියන්නේ ? ඒවා ඕන මොන වයසේදීද?

-

මුල් ළමාවිය සංවර්ධනය හා සත්කාරය විමසුම් ඇසින් බැලීමේදී පැහැදිලි වන ප‍්‍රමුඛතම කරුණ වන්නේ දරුවකුගේ පංච ඉන්ද්‍රියයන් උත්තේජනය තුලින් සංවර්ධනයේ වේගවත් බව ඇති කළ හැකි බවයි. සෑම දරුවකුම සංවර්ධනය වන ආකාරය නිශ්චිත රටාවකට අනුව සිදු වුවද දරුවාගෙන් දරුවාට සංවර්ධනය වන වේගය වෙනස් වේ. මේ වෙනස් වන වේගය හඳුනා ප‍්‍රශස්ත සංවර්ධනයක් කරා දරුවා ගෙන යාමට උත්තේජනය අවශ්‍ය වේ. මෙම උත්තේජනයන් ඉලක්ක කරගත යුත්තේ පංච ඉන්ද්‍රියන් මූලික කරගෙනයි. මේ අනුව උපතේ සිටම යම් යම් ක‍්‍රියාකාරකම් හරහා මේ කාර්යය ඉටු කළ හැකි අතර අවශ්‍යතාවය අනුව කුමන ඉන්ද්‍රිය උත්තේජනය කළ යුතු දැයි අවබෝධ කර ක‍්‍රියාත්මක වීම වැදගත් වේ.

දරුවකුගේ සෞඛ්‍ය සම්පන්නභාවය, මනා වූ පෝෂණය, යහපත් වූ චිත්ත වේගයන් සහිත සමාජීය වශයෙන් සංවර්ධිත පෞරුෂයක් සහිත දරුවකු සමාජ ගත කිරීම වැඩිහිටි අපේ අවසන් ඉලක්කයයි. මෙම ඉලක්කය කරා යන ගමනේ එම ගති ලක්‍ෂණ දරුවන්ට කාවැද්ද වීම සඳහා උත්තේජනයන් දීම අවශ්‍යයි. මේ වැදගත් වූ උත්තේජනයන් සඳහා භාවිත කරන උපකරණ අපි ස්ටිමියුලේෂන් කාඩ්ස් කියා හැඳන්වීම වරදකුත් නොවේ. මෙම ස්ටිමියුලේෂන් කාඩ් පාවිච්චි කරන වසස් සීමාවන් අනුව පාවිච්චි කරන උපකරණය, එහි වර්ණය, හැඩය, ප‍්‍රමාණය, චලනය ආදිය වෙනස් වේ.  උපතේ සිටම මේවා උත්තේජනයන් සඳහා භාවිත කළ හැකි අතරම ස්ටිමියුලේෂන් කාඩ් මගින් බුද්ධි ඵලය වැඩි කිරීමේ මූලිකම කටයුතු සිදු වේ. 

- Advertisement -

දරුවෙකුගේ ළදරු අවධියේ සිට මොළයේ බුද්ධිමත් බවට අදාල ස්ථාන සඳහා උත්තේජන සැපයීමට අපි උනන්දු විය යුතුයි. බුද්ධි ඵලය වැඩිවීම පසු කාලීනව බුද්ධිමත්භාවය හා ධාරන ශක්තිය වර්ධනය සඳහා මනා වූ අත්තිවාරමක් සපයයි. ළදරු මොළය වඩා හොඳින් උත්තේජනය සඳහා භාවිත කරන ස්ටිමියුලේෂන් කාඩ්වල වර්ණය, හැඩය, ප‍්‍රමාණය ආදිය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. 

ඉපදුණු මුල් දින වලදී

කළු, සුදු වර්ණ වලට පමණක් සංවේදී වන අතර අලුත උපන් දරුවන් ආලෝකයට සංවේදී බව හඳුනාගත හැක්කේ ආලෝක ප‍්‍රභවයක් දෙස නෙත් හරවා බලන විලසිනි. එහෙත් දීප්තිමත් ප‍්‍රභවයන් වලදී ඇස් තදින් පියාගනී. දුරට අනුව ඇස් දෙකම එක එල්ලේ යොමු කිරීම මාස 3 ක් යන තෙක් අපහසුය. මේ නිසා සෙන්ටිමීටර 30 ක් පමණ දුරකින් තිබෙන දෙයක් දෙසට දරුවනට යොමු විය හැකි සේ ස්ටිමියුලේෂන් කාඩ් පත ස්ථාන ගත කිරීම කළ යුතුයි. 

ඉපදී සති 3 ක් පමණ වන විට

කිරි බොන අවස්ථාවේදී මවගේ මුහුණ දිහා බලා සිටීම තුලින් දෘෂ්ටිය හොඳින් ක‍්‍රියාත්මක බව වටහා ගත හැකියි. 

මාසයක් පමණ වන විට

දරුවාට විසිරුණු ආලෝකයක් බැලීමේ හැකියාව ලබයි. මේ නිසා මාසයක් සපිරුණු දරුවන් සඳහා මුහුණට ඉදිරියෙන් දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩු තැබීමෙන් හෝ චලනය කිරීමෙන් උත්තේජන ලබාදිය හැකියි. මේ සඳහා භාවිත කළ හැකි හොඳම උපකරණ කුරුළු කොට්ටයයි. මීට අමතරව වර්ණවත් දේ (සමනළයින්, මල්, ගස්, කුරුළු රූප.. ආදී) භාවිත කර ළදරු කාමරය සැකසීම. කාමරය සඳහා වර්ණවත් තිර රෙදි, බිත්ති වල වර්ණය, ඇඳ රෙඳි, කොට්ට උර, කොට් ෂීට් ආදිය සඳහා වර්ණවත් දේ භාවිතය හා ජනේල තුලින් 10W වැනි රතු පාට බල්බයකින් ආලෝකය සැපයීම තුලින් දරුවාට උත්තේජනය ලබාදිය හැකියි. මේ වන විට රතු, කහ, නිල් වැනි මූලික වර්ණ සඳහා සංවේදීතාවය දක්වන හෙයින් ඒවා භාවිතය වැදගත් වේ. මූලික පැහැදිලි වර්ණයන් මෙන්ම ශබ්දයන්ද සහිත උපකරණ මගින් ඇස්වලට පමණක් නොව ශ‍්‍රවණ ඉන්‍ද්‍රියයන් වලටද උත්තේජන ලබාදිය හැකියි.

මාස 3 පමණ වන විට

දෑත් දිගු කර ඇල්ලීමට උනන්දු වන නිසා ඉහත ලක්‍ෂණවලට අමතර රළු, සුමට බව ද අත් විඳිය හැකි වන උපකරණ ලබාදීම කළ හැකියි. 

ක‍්‍රමයෙන් වර්ධනය වන දරුවා සඳහා

හැඩ තල, පළතුරු, එළවළු, මල්, සතුන්, කෑම බීම ආදී රූප සහිත කාඩ්පත් භාවිත කිරීම තුලින් දරුවාට ඉගෙනුම් අවස්ථා වැඩි කරගත හැකියි. මෙසේ භාවිත කරන කාඩ් පත් වල පැහැදිලි වර්ණ, පැහැදිලි රූප, පැහැදිලි හැඩ තල ආදී ලෙසින් හඳුනා ගැනීම සඳහා නිවැරදි ලෙසින් උපකරණ සැකසීම වැදගත් වේ. මෙහිදී වර්ණ, හැඩ ආදිය හඳුනාගැනීම සමගම එකකින් තව දෙයක් වෙන් කර හඳුනා ගැනීමට හැකි තාර්කික හැකියාව සහිත ගණිත සංකල්ප දියුණු වීමද උත්තේජන අවස්ථා තීව‍්‍ර කරයි. 

එසේම ත‍්‍රිකෝණය, රවුම, කොටුව වලින් වන හැඩතල ප‍්‍රමාණය, ලොකු/පොඩි, දිග/කොට, උස/මිටි ආදී ලෙසින් මෙන්ම සිනිඳු/ගොරෝසු ලෙසින් සමට දැනෙන සංවේදන හඳුනා ගැනීම ආදියද සඳහා සැපයෙන උත්තේජන සැපයීම මේ ස්ටිමියුලේෂන් කාඩ් හරහා සිදු කළ හැකි වීම තුලින් දරුවන්ගේ සංවර්ධන කුසලතා ප‍්‍රශස්ත කළ හැකියි. එසේම විවිධ අවස්ථාවන් සඳහා භාවිත වන උපකරණ හඳුනා ගැනීමේ අවස්ථාද මේ තුලින් ළඟා කළ හැකියි. 

පුළුල් පරාසයන් තුල විහිදුනු මේ ස්ටිමුලේෂන් කාඩ් මගින් වයසින් වැඩෙත්ම සංකීර්ණ ලෙසින් නිර්මාණ කිරීම මගින් එනම් ප‍්‍රහේලිකා, චිත‍්‍ර මගින් කතන්දර, අකුරු, ඉලක්කම් හඳුනා ගැනීම ආදී ලෙසින් ඉගෙනුම් අවස්ථාවන් විවිධ ලෙසින් නිර්මාණය කිරීමට මේවා යොදා ගත හැකිවා මෙන්ම කෙලිදෙලෙන් ඉගෙනුම් සඳහා අවස්ථා සැපයීම මගින් ක‍්‍රීඩාවෙන් ඉගෙනුම, ගීත රචනා ලෙසින් ලබාගන්නා සෞන්දර්ය රසය තුලින් ඉගෙනුම ආදී ලෙසින් ප්‍රීතිජනක අවස්ථාවන් සහිතව දරුවන්ට ලබාදෙන අවස්ථා දරුවන්ගේ කායික, මානසික හා සමාජීය මෙන්ම චිත්තවේගී අගය වැඩි දියුණු වීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත කරයි. 

දරුවන් වැඩෙත්ම ඔවුන්ගේ සංවර්ධන පියවරයන් ඉහළ අගයක් ගන්නා නිසා ඊට සමාන්තරව උත්තේජන අවස්ථාවන් පිළිබඳව එකින් එක කතා කිරීම දීර්ඝ ලෙස සාකච්ඡුා කළ යුතු හෙයින් තවදුරටත් ඒවා වයස් අනුව කාණ්ඩ කර, කළ හැකි ක‍්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීම වෙනත් ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 

වැඩි ඉගෙනුම් අවස්ථා නිර්මාණය කරදීම සඳහා ස්ටිමියුලේෂන් කාඩ් භාවිත කළ හැකි වීම පිළිබඳව ඔබට යම් අදහසක් මේ තුලින් ලබාගන්නට හැකි වන්නට ඇති. මේවා නිර්මාණය කිරීමේදී පැහැදිලි වර්ණ, පැහැදිලි රූප, නිවැරදි වචන භාවිත කිරීමත් දරුවන් සමග නිවැරදි වචන උච්චාරණය වැදගත් බවත් මේ සියලුම කරුණු කාලයත් සමග වැඩෙන දරුවාගේ චිත්තවේගී ක‍්‍රියාවලි උත්තේජනය තුලින් සංවර්ධන ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත ලෙස සිදුවන බවත් අවිවාදාත්මක කරුණකි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article