අපේ සිරුරේ මධ්‍ය රේඛාවෙන් වම් බසට බරව වම් පෙනහැල්ලට අවපාතයක් ඇති කරමින් උරස් කුහරය තුළ පිහිටි හෘදය වස්තුවේ ප්‍රමාණය ලෙස සැලකෙන්නේ තම අත මිට මෙලවූ විට ඇති ප්‍රමාණය ලෙසයි. සාමාන්‍ය හදවතේ කුටීර හතරක් ඇති අතරම ඉහළ කුටීර කර්ණිකා ලෙසත් පහළ ඇති කුටීර කෝෂිකා ලෙසත් හඳුන්වනවා.මෙම කර්ණිකා මෙන්ම කෝෂිකා අතරත් බිත්ති ඇති අතරම එමගින් පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීම වලකනවා.
හෘද රෝග හේතුවෙන් සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන්ට පවා බලපෑම් ඇති විය හැකි අතරම එසේ බලපෑමට ලක්විය හැකි ප්‍රධානතම ඉන්ද්‍රියයක් ලෙස පෙනහලු දැක්විය හැකියි. හදවතේ සිදුරු පැවතීම නිසා පෙණහලුවලට රුධිරය ගමන් කිරීම වැඩි වීමෙන් පෙනහලුවල රුධිර පීඩනය වැඩි වීමටත් රුධිර ගමනය අඩු වූ විට සිරුරේ අනෙත් ඉන්ද්‍රියයන් වෙත ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමටත් අවදානමක් පවතී. ඒ නිසාම හෘද රෝග තත්ත්ව කල් තියා හඳුනා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
සාමාන්‍යයෙන් හෘද රෝග ගැන සාකච්ඡා කිරීමේදී ඒවා වැඩිහිටියන් අතර පමණක් පවතින රෝග තත්ත්ව ලෙස බොහෝ දෙනෙක් සිතුවක් නව ජන්ම ළදරුවන් පවා හදවත ආශ්‍රිත රෝග තත්ත්වලට උපතේ සිටම මුහුණ දෙන අවස්ථා ද ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. සත්‍ය වශයෙන්ම ඛේදනීය තත්ත්වයක් වන මේ දරුවන් තුළ ඇති වන හෘද රෝග තත්ත්ව පිළිබඳව අපි දැනුවත් වෙමු.
සංජානීය හෘද රෝග (Congenital Heart Disease) කියන්නේ මොනවද?
මව් කුස තුළ දරුවෙක් ඇති දැඩි වෙද්දී එ් දරුවාගේ හෘදය සෑදීම සිදුවන්නේ සංකීර්ණ ක්‍රියවලියක ප්‍රතිඵලයක් විදියට. ඒ ක්‍රියාවලිය තුළ යම් යම් ගැටලු ඇති වුවහොත් හදවතේ යම් යම් ගැටලුකාරී තත්ත් ව ඇති විය හැකියි. අන්න ඒ ආකාරයට උපතේදීම දක්නට ලැබෙන හෘදයේ හෝ ප‍්‍රධාන රුධිර නාලවල ව්‍යුහයේ වෙනස් වීම් සංජානනීය හෘද රෝග විදියට හඳුන්වනවා. මෙම තත්ත්ව ළදරු මරණවලට ද හේතු විය හැකියි. සංජානනීය හෘද රෝග ඇති වීමට ස්ථිර හේතුවක් නොදන්නා නමුත් පහත සාධක ඉවහල් වන බව විශ්වාස කෙරේ.
- පූර්ව ප‍්‍රසව සමයේ මවට ඇති වන වෛරස ආසාදන (ජර්මන් සරම්ප)
- මවගේ පෝෂණ ඌණතා
- මවගේ පාලනය නොකළ දියවැඩියාව
- මත්පැන් සහ දුම්වැටි වලට ඇබ්බැහි වීම
- ගර්භණී කාලයේ මවට ලබා දෙන ඖෂධවල බලපෑම (අපස්මාරය සඳහා)
- වර්ණදේහ අසාමාන්‍යතා හා ජානමය සාධක
- ඩවුන්ස් සහ ලක්ෂණය (උපතින්ම ඇතිවන හදවත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි)
සංජානීය හෘද රෝග ප‍්‍රධාන කොටස් 2 කි. එනම්,
- නිලායන හෘද රෝග (Cyanotic Heart Disease)
- නිලායන රහිත හෘද රෝග – Acyanotic Heart Disease
1.නිලායන හෘද රෝග
පිරිසිදු සහ අපිරිසිදු රුධිරය එකිනෙක මිශ්‍ර වීම නිසා ඇති වන හෘද රෝග තත්ත්ව නිලායන හෘද රෝග නමින් හැඳින්වේ. නිලායන හෘද රෝග වර්ග තුනක් මේ ලිපිය තුළින් සාකච්ඡා කිරීමට කෙරේ.
- පැලෝචතුස්තවේදය – Fallot’s Tetralogy
මේ රෝගයට හිමි නාමය එය සොයා ගත් පුද්ගලයාගේ නමින් සැකසී ඇත. මේ තත්ත්වයේදී මූලිකව අසාමාන්‍යතා 04 ක් දැකිය හැක.
- Pulmonary Stenosis (පුෂ්පූශීය සංකෘෂ්ධිය)
- Ventricular septal Defect (තුන්දිකා ආචාර පළුද්ද)
- Overriding of the aorta – ශරීරය පුරා ඔක්සිජන් අධිකව ඇති රුධිරය ගෙන යන ධමනිය (මහා ධමනිය) නියමිත ස්ථානයෙන් පිටත පිහිටීම නිසා වම් කෝෂිකාවට ඉහළින් පිහිටනවා වෙනුවට වම් හා දකුණු කෝෂිකා දෙකට ඉහළින් පැන නැ`ගීමය. මේ නිසා මහා ධමනිය තුලට ඔක්සිජන් අඩු රුධිර ප‍්‍රමාණයක් ඇතුළු වේ. නමුත් ඇතුල් විය යුත්තේ පෙනහළු කරා යන පුෂ්පූශීය මහා ධමනියට වේ.
- දකුණු තුන්දිකා අතිභරණය – දකුණු කෝෂිකා පේශී ඝනකම් වීමයි.
මෙම රෝග තත්ත්වවලදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි.
- රෝගියා නිල් පැහැ වීම
- හෘදයේ වම්පස විශාල වීම
- සෙමින් බර වැඩිවීම
- වෙහෙස වන විට ස්වසන අපහසුව
- ශාරීරික හා මානසික වර්ධනය දුර්වල වීම
- වරින් වර ඔක්සිජන් අඩුවීම (මන්ද ඔක්සීමියා තත්ත්වය ඇති වීම)
- අත් හා ඇඟිලි කෙළවර නිල් පැහැවීම.
2.ත්‍රිතුණ්ඩ කපාට අදෘතන්‍ය
මෙහිදී දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පවතින ත‍්‍රී තුණ්ඩු කපාටය නොපිහිටිමෙන් දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර සම්බන්ධතාවයක් නොමැති වේ. කර්ණිකා දෙක අතර (වම හා දකුණ) සිදුරක් ඇති වන අතර දකුණු කෝෂිකාව ප‍්‍රමාණයෙන් කුඩා වේ.
මේ රෝග තත්ත්වයේදී ද ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂන පෙන්නුම් කරයි.
- දරුවා නිල් පැහැය
- ස්වසන අපහසුතා
- ඇඟිලි (අත්, පා) කෙළවර නිල් පැහැවීම
- වරින් වර ඇති වන ඔක්සිජන් අඩුකම
- බර ක‍්‍රමානුකූල ලෙස වැඩි නොවීම
3.විශාල ධමනි අනෝන්‍ය විස්ථාපනය – Transposition of great
සාමාන්‍ය නිරෝගී දරුවෙකුගේ වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනි ද දකුණු කෝෂිකාවෙන් පූප්පූශීය මහා ධමනිය ද ආරම්භ වේ. මෙහිදී දැකිය හැක්කේ එම තත්ත්වය මාරු වීමයි. එනම් වම් කෝෂිකාවෙන් පුප්පූශීය මහා ධමනිය ද හා දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ද ආරම්භ වීමයි. මෙහිදී මෙම සංසරණයන් දෙක අතර සම්බන්ධතාවයක් නොමැති වේ.
මේ රෝග තත්ත්වයේදී ද ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂන පෙන්නුම් කරයි.
- නිල් පැහැ වීම (ඉපදී කෙටි කාලයක් තුල)
- හෘදය විශාල වීම
- අක්මාව විශාල වීම
- වෙහෙසට පත් වීම
- අත්, පා, ඇඟිලි කෙළවර නිල් පැහැවීම
- ඉතා සෙමින් බර වැඩි වීම
ඇතැම් විට මේ වන විට ඔබේ දරුවා යම් හෘද රෝග තත්ත්වයක් නිසා පීඩා විඳිනවා විය හැකියි. දෙමාපියන් ලෙස දරුවා නිසි කලට වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම, වෛද්‍ය උපදෙස් පරිදි දරුවාට නියමිත ඖෂධ වර්ග ලබාදීම, අදාල සායන වෙත හරියාකාරව සහභාගී කරවීම මෙන්ම සැත්කමක් සඳහා නිර්දේශ කර ඇත් නම් ඒ සඳහා සූදානම් වීම මග නොහැරිය යුතුයි. එසේම ඔබ මතක තබා ගත යුතු තවත් වැදගත්ම කරුණක් වන්නේ එකම රෝග තත්ත්වයේ සිටින දරුවන් දෙදෙනෙකු වුවත් ඔවුන්ගේ සිරුරේ තත්ත්වය, වෙනත් සෞඛ්‍ය කාරණා අනුව ගත් කළ ලබා දෙන ප්‍රතිකාර ක්‍රම මෙන්ම ව්‍යායාම ද වෙනස් විය හැකි බවයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේ ක්‍රියාකිරීම ඔබේ දරුවාට යහපතක් උදා නොකරන බව සිහි තබාගන්න. සැම විටම ඔබේ දරුවා වෙත වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල