- Advertisement -

Scoliosis එක්ක ඉදිරියට යන්න ඔබේ දරුවාටත් සහය වෙන්න

-

අපේ රටේ බොහොම දෙනෙක් පිළිගන්නා වගේම පිළිගැනීමට අකමැති රෝග තත්ත්ව තිබෙනවා. ඒ අතරින් Scoliosis කියන්නේ මව්පියන් පිළිගන්න අකමැති තත්ත්වයක් විය හැකියි. තමන්ගේ දරුවාට Scoliosis වගේ රෝග තත්ත්වයක් ඇති වුණාම ඒක සමාජයෙන් හංගන්න, ඒ වගේම ලැජ්ජාවට කරුණක් කියලා හිතන්න පෙළඹෙනවා. ඒත් අපි අපේ ජීවිතය තුළ අපිට හිමි වෙන හැමදේම භාරගත යුතුව තිබෙනවා. බාධාවක් එක්ක ඉදිරියට යන්න ලොකු ශක්තියක් අවශ්‍යයි. ඒ ගමන ශාරීරිකවත් මානසිකවත් වෙහෙස දැනෙව්වත් මෙවැනි තත්ත්වයකදී දරුවෙක්ගේ ජීවිතය අසරණ කරන්න තරම් හැකියාවක් මව්පියන්ට නැහැ. ඒ කියන්නේ සාර්ථකව මුහුණ දෙනවා හැරෙන්න අපිට අපේ ජීවිතවලට එකතු වෙන ඇතැම් බාධක මගහරින්නම බැහැ. ‍

Scoliosis කියන්නේ මොනවගේ රෝගී තත්ත්වයක් ද යන ගැටලුව ඔබටත් ඇති. Scoliosis කියන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන හා එහි ස්වභාවය වක්‍රයක් වැනි ස්වරූපයන් ගන්නා රෝගී තත්වයක් වගේම ඒක නව යොවුන් වියේදී දරුවන් අතර හදුනා ගන්නා රෝගී තත්ත්වයකි.  විශේෂයෙන්ම ගැහැණු දරුවන් අතර මේ රෝගය බහුලයි. Scoliosis වල බොහෝ අවස්ථාවන් සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන අතර, සමහර දරුවන් වැඩෙන කාලයේදී අවශ්‍ය ප්‍රතිකාර නොකළහොත් සමහර විට කොඳු ඇට ආශ්‍රිතව ඇතිවන එම වක්‍ර තීව්‍ර තත්ත්වයකට වුවද පත් විය හැකියි. එය ශාරීරිකව ඇති වන තත්ත්වයක් වුවත් ඒ තත්ත්වය මත පවුලක් තුළ මෙන්ම රෝගයට මුහුණ දෙන දරුවාගේ මනස තුළ ඇති වන පීඩනය නොසලකා හැරිය නොහැකියි.

- Advertisement -

මේ රෝග තත්ත්වයේදී  ශාරීරිකව ඇතිවන තත්ත්වය පිළිබඳව මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව බොහෝදෙනා විවිධ අයුරින්  සාකච්ඡා කරනවා.  උදාහරණ ලෙස ගත් විට ප්‍රතිකාර ක්‍රම, රෝගයේ වර්ධන වේගය, දරුවාට දැනෙන ශාරීරික අපහසුතා/වේදනාවන් ආදිය දැක්විය හැකියි. නමුත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන දරුවෙකුගේ මානසික තත්ත්වය කෙබදුද යන්න පිළිබඳව යොමු වන අවධානය ඉතා  අඩුයි.

Scoliosis තත්ත්වයට මුහුණ දෙන නව යොවුන් වියේ දරුවෙක් යොවුන් විය ආරම්භ වීමත් සමගම ඇදහිය නොහැකි තරම් මානසික ආවේගයන්ට ගොදුරු වෙනවා. ඒ අතර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ  සංසිද්ධි, අභියෝගාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතාවලින් හා  පාසලේදී සිදුවන  පීඩනය සහ ඔවුන්ගේ ශරීර තුළ සිදුවන බොහෝ ව්‍යාකූල වෙනස්කම්ද හේතුවෙනවා. යෞවනයෙකුට Scoliosis රෝග විනිශ්චය සමඟ  ප්‍රතිකාර කටයුතු කළ විටඔවුන්ගේ හැඟීම් වඩාත් සංකීර්ණ විය හැකියි. ඔවුන්ගේ  එදිනෙදා කටයුතු සිදු කරගෙන  කිරීමට ද අපහසු විය හැකියි. 

ඔබ Scoliosis රෝගයෙන් පෙළෙන දරුවෙකුගේ මාපියෙකු නම්, ඔබේ දරුවාගේ මානසික පීඩනය  කෙතරම්ද යන්න හඳුනා ගැනීම අපහසු නොවිය හැකියි. නව යොවුන් වියේ සිටින ඔබේ දරුවා ගැන උපරිම අවධානය මෙන්ම දරුවා උපරිමයෙන් වටහා ගැනීම ඉතා වැදගත්. අන්න ඒ නිසාම දරුවාට උපකාර කිරීමේ පළමු පියවර විය යුත්තේ දරුවා මුහුණ දෙන තත්ත්වය වටහා ගැනීමයි. බොහෝ දෙමව්පියන්ට  අපහසුම දේ වන්නේත් එයමයි.

බොහෝවිට නව  යොවුන් වයසේ දරුවන් තම සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට රුචි වන අතරම ප්‍රසිද්ධිය මෙන්ම තමාව පිළිගැනීම පිළිබඳවද විශාල කැමැත්තක් දක්වනවා. නමුත් Scoliosis මේ තත්ත්වයට බාධා කළ හැකියි. බොහෝවිට මෙම තත්වයට මුහුණ දෙන දරුවන්ගේ ඉරියව් වෙනස් වීම, ඇදුම් පැලදුම් නොගැලපීම  නිසා ඇති වන පීඩාවන් හා සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම  සම්බන්ධයෙන් ඇති  අපහසුතාවයන් මගින් අසහනකාරී හැඟීම් ඔවුන් තුළ ගොඩනැගෙන්න ඇති ඉඩ වැඩියි. ඇතැම් විට Scoliosis හේතුවෙන් සම වයසේ මිතුරන් අතර කැපී පෙනෙන දරුවන්ට එය මහත් පීඩාකාරී බවක් ගෙන එයි. ඒ පිළිබද  වූ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ Scoliosis රෝගීන්ගෙන් බහුතරයක්  ඔවුන් ගොඩනගා ගන්නා සබඳතා වෙතින් දුරස් වී ලැජ්ජාශීලී වීම හෝ අන් අයගෙන් හුදකලා වීමට පටන් ගන්නා බවයි. ඇතැම් දරුවන් එම තත්ත්වයන්ගෙන් මිදීමට සමාජගත වීමෙන් වැලකෙනාවා. පර්යේෂණයට අනුව, Scoliosis රෝගයෙන් පෙළෙන යෞවනයන් විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට සහභාගී වන්නේ ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා අඩු කාලයක්. ඔවුන් ආත්ම අභිමානය සමඟ අරගල කරනවා. විශේෂයෙන්ම නව යොවුන් වියේ ගැහැණු දරුවන් ශරීර ස්වභාවය ගැන  කණස්සලු වේ. අසාමාන්‍ය ලෙස වක්‍ර වූ කොඳු ඇට පෙළක් තිබීම එවැනි ගැටලු තවත් උග්‍ර කරයි. 

Scoliosis ඇති දරුවන් තම සම වයසේ මිතුරන් හා සසඳන විට ඔවුන් පෙනී සිටින ආකාරය පිළිබඳ අතෘප්තිමත් වේ. කණ්නාඩියෙන් බලන විට හෝ අයෙක් ඒ පිළිබඳව විමසන විට දරුවා වේදනාවටත් අපහසුතාවයටත් පත්විය හැකියි. අන්න ඒ නිසාම මෙවැනි තත්ත්වයක සිටින දරුවෙකු වටහා ගැනීම සහ මෙවැනි තත්ත්වයකදී සිත ශක්තිමත් කිරීම දෙමාපියන් වහශයෙන් අපේ වගකීමක් මෙන්ම යුතුකමක් බව අමතක නොකළ යුතුයි.

Scoliosis නිසා යොවුන් දරුවන් තුළ ඇති වන මානසික බලපෑම ගැන සලකා බැලීමේදී ඇතැම් විට මෙය මානසික අවපීඩනය සහ කාංසාව වැනි දිගු කාලීන මානසික සෞඛ්‍ය ගැටළු වලට පවා හේතු විය හැකි බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. Scoliosis සහිත යොවුන් දරුවෙක් තුළ හිස් බවක් දැනීම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන්නේ ඒ නිසයි. එහි අවසන් ප්‍රතිඵලයක් සියදිවි නසාගැනීමක් දක්වා වුවද දුර දිග යා හැකි තත්ත්වයකි. 

මවක් පියෙක් වීම දුෂ්කර කාර්යයකි. Scoliosis ඇති දරුවෙකුගේ දෙමාපියන් වීම ඊටත් වඩා දුෂ්කර ය. නමුත් ඔබේ දරුවාගේ තත්ත්වයේ බලපෑම් නොතකා ඔවුන්ගේ නව යොවුන් වියේදී සාර්ථකව මඟ පෙන්වීමට ඔබට හැකි වූ විට එය අසාමාන්‍ය ප්‍රතිලාභයකි.

ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් දරුවා සමග විවෘතව මේ සම්බන්ධව සාකච්ඡා කිරීමයි. ඒ සාකච්ඡා කතා බහ තුළ Scoliosis ශාරීරික වෙනස්වීම ගැන පමණක් නොව එය දරුවාට දැනෙන ආකාරය පිළිබඳවත් කතා බහ කළ යුතුය. ඒ හරහා දරුවා දිරිමත් කළ යුතුය. දරුවාට හොඳින් සවන් දෙන්න. එසේම ඔබේ දරුවාට විවෘතව හා අවංකව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න. ඔබ, දරුවා සමඟ කතා කරන විට, විනිශ්චයකින් තොරව ඒ කතා බහ සිදු කරන්න. මන්ද දරුවාගේ මානසික කැළඹීම් වැඩිහිටියෙකු ලෙස ඔබට සුළු දෙයක් වුවද දරුවාට එය විශාල පීඩාවන් වන්නට පුලුවන්. 

අවසාන වශයෙන්, ඔබේ නව යොවුන් වියේ දරුවාට මෙවැනි  තත්ත්වයන් වෙතොත්  එහි බලපෑම පිළිබඳව දැනුවත් බවක් ලබාගැනීම හා ඒවාට මුහුණ දීමට අවශ්‍ය තොරතුරු සහ සහාය ලබාගැනීම  අවශ්‍යය. ඔබ වැඩි වැඩියෙන් දන්නා තරමට, ඔබේ දරුවාගේ ජීවිතයේ  දුෂ්කර කාලයකදී ඔබට උපකාර කිරීමට හැකි වනු ඇත. එය එසේ වුවද වෙනත් දරුවන්ගේ අත්දැකීම් අනුව යමින් කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව වටහා ගත යුතුය. මෙවැනි තත්ත්වයකදී වුවද අපි ක්‍රියාත්මක විය යුත්තේ සුදුසුකම් සහිත පලපුරුදු වෘත්තිකයන්ගේ උපදෙස්වලට අනුව බව සිහි තබා ගන්න‍. එසේම ඔබේ දරුවා යම් මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙන බව දැනේ නම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගැනීමට පසුබට නොවන්න.‍මේ තත්ත්වයට මුහුණ දෙන අතරේම එදිනෙදා සාමාන්‍ය දින චර්යාව පවත්වා ගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව දරුවාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට ඔබට හැකියි. මෙවැනි බාධවක් සමග වුවද දරුවාගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට අපි රුකුල් දිය යුත්තේ ‘Scoliosis’ දරුවෙකුගේ සුන්දර ළමා කාලය අහිමි කිරීමට තරම් බලවතෙකු බවට පත් නොකළ යුතු නිසයි.

සාරංගි රන්පටබැඳි

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article