නව යොවුන් දරුවන් ගොදුරු වෙන copy-cat suicide මානසිකත්වය

වචනයටත් කියනවා වගේ නව යොවුන් කාලය ජීවිතයේ කුනාටු සමයක්. ඒ නිසාම නව යොවුන් වයසේ දරුවන් සිටින මව්පියන් තමන්ගේ දරුවන් ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. දරුවන්ගේ ජීවිතය අකලට මිලින වුන විටදි ”අනේ අපොයි ”කියල වැලපුනාට කිසිම ප්‍රතිඵලයක් නැහැ.

නව යොවුන් වයසේ දරුවන්ගේ ආවේග නිසාම බොහෝ විට ඔවුන් හේතුවක් නැතුවම සිය දිවි නසා ගැනීම වැනි බරපතල තීරණ ගන්නවා.මතුපිටින් බැලුවාම මේ දරුවන්ට සියදිවි නසා ගැනීමට තරම් සාධාරණ කිසිම හේතුවක් නැහැ.ඒත් අද කාලයේ බොහෝ දරුවන් අනුකරනය නිසාම සිය දිවි නසා ගැනීමේ හෙවත්  copy-cat suicide  තත්වයට පත් වෙනවා.

දරුවන් ඒ තත්වයට පත් වෙන්නේ ඇයි…?

අද විද්‍යුත් මාධ්‍ය අපේ ජීවිතයට බොහොම සමීපයි.ඒ නිසාම යම් සිදුවීමක් වුන සැනින්ම එය ඇසිල්ලෙන් සමාජගත වෙනවා. අතීතයේදීත් සිය දිවි නසා ගැනීම් සමාජයේ සිදු නොවුනාම නොවෙයි. ඒත් පුවත්පතකට මෙම පුවත හසු වුනාට පසුව එය ලිවීම,මුද්‍රණය සහ අලෙවියට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යකින් වගේ බොහෝ දෙනො අතර පුවත සන්නිවේදනය වෙන්නෙත් නැහැ.

ඒත් අද ඒ තත්වයක් නැහැ. හුස්ම පොද නවතින්නත් පෙරාතුව සිදුවීම සමාජගත වෙනවා. ඒ වගේම පුවතට හේතුවටත් වඩා ඒ වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේද ගැනත් පුලුල් ප්‍රචාරණයක් ලබා දෙනවා. නව යොවුන් දරුවන් මේ සිදුවීම් ගැන ඇති කර ගන්නා යම් යම් ආකල්ප නිසාම හදිසි ආවේගයකදී ඔවුන් දැන සිටි පුවත් ඇසුරින් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට තීන්දු තීරණ ලබා ගන්නවා.

සියසිවි නසා ගැනීමේ සිතුවිලි ටික වේලාවකින් නැති වෙනවා…

ඕනෑම පුද්ගලයෙකුගේ සිය දිවි නසා ගැනීමේ සිතුවිලි පවතින්නේ සුලු වේලාවක්. ඒ කාලය මග හැරුනාම නැවතත් එම සිතුවිල්ල පහවෙන්න පුලුවනි. ඒ නිසාම පවුලක් තුළ නව යොවුන් දරුවන් සිටිනවා නම් copy-cat suicide  මානසිකත්වයට ගොදුරු නොවී රැකගැනීම වැදගත්.

අද තියෙන්නේ ඩිජිටල් සහභාගීත්වය…

අතීතයේදී බොහෝ දෙනා සිය දිවි නසා ගැනීමට භාවිතා කලේ කෘමිනාශක. ඒ නිසාම ගොවි ගෙදරක වුනත් කෘමිනාශක බෝතලය හදිසියේ අත පොවන මානයේ තිබ්බේ නැහැ. ඔවුන්ට දරුවන්ගේ මානසිකත්වය ගැන අද වගේ මනෝවිද්‍යාත්මක හැසිරීම් රටාව ගැන දැණුමක් නොතිබුනත් ”හදිසියේවත් අහු වුනොත් ” කියන පූර්ව ආරක්ෂාව නිවස තුළම තිබුණා.කනේරු ඇට කා දරුවන් සිය දිවි හානි කරගන්නා නිසාම බොහෝ ගම්මානවල කනේරු ගස් කපා දැම්මා.

ඒ වගේම ඕනෑම පුද්ගලයෙක් රේල් පාරක, පාලමක කනස්සල්ලෙන් සිටිනවා දුටු විට ඔවුන් සමීපයට ගොස් තොරතුරු විමසන සංවේදි බවත් එදා සමාජයේ තිබුනත් අද බොහෝ දුරට මෙවැනි ආකල්ප අපේ සමාජයේ නැහැ. තරුණ දරුවෙක් සිය දිවි නසා ගැනීමට සිටින බව දුටුවොත් ඒ දරුවා සමග කථාවට සම්බන්ධ වෙනවාට වඩා ජංගම දුරකථනය මගින් ඒ සිදුවීම පටිගත කරන මානසිකත්වයක් තියෙන සමාජයක දැන් අපට ජීවත්වීමට සිදු වී තිබෙනවා.

දරුවන්ගේ මානසික සෞඛ්‍ය බිඳවැටෙන්නේ ඇයි…?

මානසික සෞඛය බිඳ වැටීමට හේතු වෙන්නේ මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවයක් ඇති වීමයි. මානසික සෞඛය පිරිහුනාම මොළයට යන රුදිරය ,ඔක්සිජන් සැපයුම සහ ග්ලූකෝස් වැනි පරිවෘත්තිය ක්‍රියාවල අඩු පාඩු ඇති වෙනවා. මේ නිසාම ඇති වෙන මානසික රෝග ගැන යම් යම් පූර්ව දැනුම්දීම් තිබෙනවා.

  • ඇගට පණ නැහැ
  • හිත කඩා වැටුවා වගේ හැගීම
  • දුක
  • දැඩි කනස්සල්ල
  • ජීවිතය පිලිබඳ බලාපොරොත්තු නැති වීම

මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වෙන්නේ ඇයි…?

ජාන

මානසික සෞඛ්‍ය පිරිහීමට ජාන පිලිබඳ බලපෑම ඉතාම සමීප කරුණක්.පවුල් ඉතිහාසයේ මානසික රෝගීන් පිලිබඳ වාර්තාවන් තිබෙනවා නම් එතැනදී වැඩි අවධානයක් දැක්වීම වැදගත්.

සෘණ ආකල්ප

හැම දෙයක් ගැනම ඉතාම අසුබ විදිහට සහ ඒක කරන්න බැහැ…මට වාසනාවක් නැහැ…වැනි සෘණ ආකල්ප නිසා මානසික රෝග තත්වයට්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරණය

මානසිකත්වය පිරිහී යෑම නිසා පුද්ගලයන් තුළ සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි ඇති වීමේ වැඩි නැඹුරුතාවයක් ඇති වෙනවා.මෙතැනදී පනින රිලවාට ඉනි මං තැබීම මාධ්‍ය ප්‍රචාරණ මගින් සිදු වෙනවා.සම වයසේ දරුවෙක් එහෙම නැත්නම් ලෝකයේ ජනප්‍රිය චරිතයක් සියදිව හානි කර ගැනීමෙන් පසුව ලබා දෙන ප්‍රසිද්ධිය නිසා දරුවාගේ හිතේ සියදිවි හානි කර ගැනීම පිලිබදව යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා.එවැනි මානසිකත්වයක් තුළ නව යොවුන් වයසේ දරුවා හිතන්නේ සිය දිවි නසා ගැනීම කියන්නේ රසවත් වීර ක්‍රියාවක් විදිහටයි.

මානසික හිස්බව…

කොවිඩ් වසංගතය නිසා ඇති වුන සමාජ හුදෙකලාව සමග දරුවන් මානසිකවත් හුදෙකලා චරිත බවට පත් වුණා. ඔවුන්ගේ සමාජ සංචරණ, සමාජශීලි ක්‍රියාකාරකකම් බොහෝ දුරට අඩු වුණා.අධ්‍යාපනය, විභාග මුල් කර ගෙන ඇති වුන පසුගාමිත්වය නිසා හෙට දවස ගැන බලාපොරොත්තු නැති වුණා. මේ මානසික ශුන්‍යත්වය නිසාම අපට හෙට දවසක් නැහැ….කියන මානිසකත්වයෙන් නිතරම පීඩා විදින්න පටන් ගත්තා.

මානසිකව සුවපත්ව සිටින්නට නම්…

තරුණ දරුවන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කිරීමට දෙමව්පියන් ලෙස ඔබගේ වැඩි අවධානයක් දැක්වීම වැදගත්. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේ..

ආහාර රටාව

අපේ ආහාර රටාව කායික වගේම මානසික සෞඛ්‍යටත් වැඩි බලපෑමක් ඇති කරනවා.අද බොහෝ දෙනා ක්ෂණික එහෙම නැත්නම් සකස කළ ආහාර ගැන උනන්දු වුනත් අලුත් එළවලු, පළතුරු , කොළ පැහැති එළවලු සහ මත්ස්‍ය ආහාර මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම යෝග්‍යයි.

ව්‍යායාම 

ව්‍යායාම මානසික සෞඛය පවත්වා ගැනීමට ඉතාම වැදගත්. ව්‍යායාම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය ඉතාම යහපත් අන්දමින් සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුනත් ඇවිදීම, පිහිනීම, ක්වායු ව්‍යායාම, සුම්බා වැනි ක්‍රියාකාරකම් ඉතාම වැදගත්.

ජලය පානය කිරීම

හොඳින් ජලය පානය කිරීමෙන් කිසිදු වැය ශීර්ෂයක් නොමැතිවම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීම වැදගත් වුනත් අද තරුණ දරුවන් ජලය පානය ගැන උනන්දුවක් දක්වන්නේම නැහැ.සිරුරේ විජලන තත්වය වලක්වා ගැනීමට වගේම මානසික ප්‍රබෝධය පවත්වා ගැනීමට ජලය ඉතාම වැදගත්.

විනෝදාංශයක යෙදෙන්න…

අපේ ජීවිතයේ පැවැත්මට සතුටක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් දරුවාටත් විනෝදාංශයක යෙදෙන්න ඉඩ දෙන්න.සුරතල් සතෙකු ඇති කරන්න, පොතක් පතක් කියවන්න, මල් පැලයක් හෝ එළවලු වගාවක් කරන්න දරුවාගේ උනන්දුව ඇති කරන්න.

සංචාරය හෝ විනෝද චාරිකා…

කොවිඩ් වසංගතය නිසා අපේ සංචරණයන් සීමා වුන බව ඇත්ත. නමුත් සංචාරය සහ විනෝද චාරිකා මගින් අපේ මනසට නැවුම් අත්දැකිම් ලැබෙනවා. පාසල් අධ්‍යාපනයේ පවා විනෝදචාරිකා වෙනුවෙන් යම් අවස්ථාවක් සලසා තිබෙන්නේ ඒ නිසයි.නිවසක වුනත් එකාකකාරී පරිසරයෙන් මිදී සිතට සතුටක් ලබා දෙන ඉසව්වක් වෙනුවෙන් දරුවන්ටත් අවස්ථාවක් ලබා දෙන්න.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here