- Advertisement -

දරුවනේ අපි පොත් පෑන් අතට ගනිමු

-

දිගුකාලයක් පුරා පාසල් නිවාඩුව සුවසේ බුත්ති වින්ද අපේ දරුවෝ නැවතත් පාසල් යන්න පටන් ගත්තා. ඒ සමගම නව යොවුන් වයසේ දරුවන්ට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වෙනුවෙන් මුහුණ දෙන්නත් දිනෙන් දිනම කාලය ළඟ එනවා. දිනපතා පාසල් වටපිටාව දුරස් වුනත් ජීවිතයේ අනාගත දැක්ම වෙනුවෙන් මේ දරුවන් විභාග වෙනුවෙන් අනිවාර්යෙන්ම මුහුණ දීම අවශ්‍යයි.ඉතින් දෙමව්පියන් විදිහට ඔබ පාඩම් කරන්න..පාඩම් කරන්න කියන මන්තරයම නිතර ජප කරනවාට වඩා අපේ දරුවන් විභාගය වෙනුවෙන් සූදානම් කරන්නේ කොහොමද…?

විභාගය කියන්නේ අප්‍රසන්න මාතාකාවක් නොවේ..

- Advertisement -

බොහෝ දරුවන්ට විභාගය කියන වචනයත් අප්‍රසන්නයි. විභාගය තමයි අපේ අවාසනාව කියන තරමටම ඔවුන්ගේ හිතේ විභාගය ගැන තිබෙන දැඩි පීඩනය නිදන්ගත වෙලා. ඉතින් දෙමව්පියන් විදිහට ඔබේ දරුවාට විභාගය කියන්නේ අනාගතය වෙනුවෙන් දරුවා සූදානම් කරන වටපිටාව බැව් කියා දෙන්න. ඒ වගේම විභාගය සමත් වීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල වගේම නැවත නැවත විභාගයට පෙනී සිටින වාර ගණන වැඩි වීම නිසා ඉගෙනුමත් අප්‍රසන්න මාතෘතාවක් බවට පත් වෙන බවත් කියා දෙන්න. නමුත් කිසිම දිනක විභාගය අසමත් වීම යනු අනාගතය සම්පූර්ණයෙන්ම නැති වීමක්ය යන සිතුවිල්ලෙන් නම් දරුවා පීඩාවට පත් කරන්න එපා.

විභාගය ජීවිතයට අවශ්‍ය බැව් කියා දෙන්න..

විභාගය කියන වචනයටත් වෛර කරන දරුවන් බිහි කරන්න එපා. විභාගයක් කියන්නේ අධ්‍යාපනයේ එක් අවස්ථාවක් බැව් දරුවාට පහදා දෙන්න.තරගයට හඹා යෑමට උනන්දු නොකළත් තමාගේ උපරිමයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගැනත් ආදරයෙන් පහදා දෙන්න. දිවයිනේ ප්‍රමුඛයා වීමේ ඉලක්කය කෙස් වෙතත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආදාල විෂය ධාරාවක් තෝරා ගැනීමට හැකි වන සේ දරුවාගේ උපරිමයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් බැව් කියා දිමටත් දැන් ඔන්න කාලය ඇවිත්.

දරුවාගේ මනස සූදානම් කරන්න…

ගෝලීය වසංගතය සමග ඉගෙනුම් ඉගැනවීම් ක්‍රියාවලියෙන් දරුවන් දුරස් වූ බව ඇත්ත. දැනටත් ගුරුවරුන් සමග සමීප සහ සෘජු සම්බන්ධතාවයකින් අධයාපනය කිරීමට නොහැකි පරිසරයක් තුළ අධ්‍යාපනය මුලුමනින්ම කඩා වැටී අවසාන බවට වූ සෘණ ආකල්ප දරුවන් තුළ ගොඩ නගන්න එපා. මේ විදිහට ඉගෙනගෙන කොහොමද විභාග කරන්නේ..? එවැනි මානසික තත්වයකින් දරුවාගේ හිත පීඩා කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මෙය සමස්ත පාසල් ප්‍රජාව තුළ සිදු වුන සාමාන්‍ය සිදුවීමක් බැව් කියා දෙන්න. එසේ නොමැතිව අතීතයේදී සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදී දරුවන් විභාග වෙනුවෙන් වූ සූදානම සංසන්දනය කරමින් දරුවාට අනවශ්‍ය පීඩනයක් ලබා දීම නොකළම යුතුය.දෙමව්පියන් ලෙස ඔබ විසින් ගොඩ නගන මේ මානසිකත්වය නිසා දරුවාද විභාගය මුල් කර ගෙන පසුගාමී මානසිකත්වයකින් කටයුතු කිරීමට සූදානම් වීම කිසිසේත්ම දරුවෙකුට ගැලපෙන තත්වයක් නම් නොවේ.

පරිසරය..

විභාගය  අබියස සිටින දරුවාට පාඩම් කිරීමට ගැලපෙන සේ සුදුසු පරිසරයක් සකස් කර දෙන්න. ඔවුන්ගේ කාමරය පිළිවෙලට සැලසුම් කර ගැනීමට උපදෙස් දෙන්න. මනෝවිද්‍යාඥයින් පවා පෙන්වා දෙන අන්දමට කලබල මානසිකත්වයෙන් යුක්ත පුද්ගලයන් බොහෝ දෙනා ජීවත් වෙන වටපිටාවත් බෙහෙවින්ම අපිළිවෙල සහිත බැව් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් අපට වුනත් නිවසක කටයුතු කරන විට පිළිවෙලකින් යුක්ත පරිසරයකදී වැඩ කටයුතු කිරීම වඩාත් පහසු බැව් නොරහසක්. ඒ නිසාම දරුවා පාඩම් කරන කාමරය වුනත් පිලිවෙලකින් සැලසුම් කර ගැනීමට සහයෝගය ලබා දීම ඉතාම වැදගත්.

හොදින් ආලෝකය ලැබීම…

දරුවාගේ ඉගෙනුම් කටයුතු කරන පරිසරය අඳුරු සහිත නම් එය පීඩාකාරී මානසිකත්වයකට හේතු වේ. හොදින් හිරු එළිය සහ වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දරුවාගේ පාඩම් කටයුතු වෙනුවෙන් සකස් කර දෙන්න. ස්වභාවික ලෙසින් ලැබෙන ආලෝකය ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක විදුලි බල්බයක් හෝ සවි කර දීමෙන් දරුවා පොත පත සමග ගෙවන කාලයේදී පීඩාකාරී මානසිකත්වයක් ඇති නොවන සේ කටයුතු කිරීට වඩාත් පහසු වෙනු ඇත.

බාධාකාරී නොවීම…

නිවසේ වටපිටාව සහ දරුවා පාඩම් කරන පරිශ්‍රය අසල බාධාකාරී පරිසරයක් නොවන තරමටම දරුවාගේ ඉගෙනුම් කටයුතු වඩාත් පහසුවෙන් කර ගෙන යෑමේ වාතාවරණයක් උදා වේ. නිතරම ගේට්ටුවේ සීනුව නාද වෙන විට දරුවා ඒ ගැන සෙවීමට යොමු වුනොත් ඉගෙනුම් කරුණු ධාරණය කර ගැනීමට එය එතරම් හිතකර පරිසරයක් නොවනු ඇත. නිතරම ආගන්තුකයන් රැස් වෙන, පවුලේ සාමාජිකයන්ගේ සුහද කතා බහ පැවැත්වෙන, රූපවාහිනිය නරඹන තැනක් දරුවා පාඩම් කරන ස්ථානයට සමීපව ඇත්නම් දරුවාගේ ඉගෙනුම් පරිසරයට එය බාධාවක් විය හැකියි.

ඉගෙනුම් ක්‍රමවේදය ගැනත්…

විභාගය කට උඩට පැමිණි ඇති අවස්ථාවක දරුවාට විවිධ ඉගෙනුම් ගැටලු ඇති විය හැකියි. එවැනි අවස්ථාවන් දරුවාට තනියම නිරාකරණය කර ගැනීමත් අපහසුයි. ඉතින් අපි ජීව විද්‍යාව කරලා නැහැ..දෙමව්පියන් විදිහට ඔබ දරුවා හදාරන විසය ධාරාව ඉගෙන ගෙන නැති බැව් ඇත්ත. එහෙත්… මෙවැනි විෂය මාලාවක දරුවාට මග හැරී ඇති න්‍යායික හෝ ප්‍රායෝගික පරීක්ෂණ,ප්‍රශ්න ලිවීම වැනි ගැටලු සහගත තැන් ගැන සාකච්ඡා කරන්න. ඒවා ඉගැන්වීමට දෙමව්පියන්ට නොහැකි වුනත් අදාල ගැටලු නිරාකරනය කර ගැනීමට යම් සහයෝගයක් ලබා දීමට කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දරුවා විෂය මාලාවේ නොතේරෙන තැන් සමග තනියම සිරගතව පීඩා විදින්වාට වඩා යම් කිසි ආකාරයකින් ලබන සහයෝගය ඔවුන්ට විශාල ශක්තියක් සපයනු ඇත.

එසේ නම්…තවමත් නැති වුන අතීතය ගැන දුක් නොවන්න. අනාගතය අප ඉදිරියේ තිබේ.නූපන් අනාගතය වෙත සාර්ථකව පිය නැගීමට නම් වර්තමානය තුළ දරුවා සූදානම් කරන්න. දැන් අපි කළුවරට දොස් නැගිය යුතු නැත. කෙසේ හෝ පහනක් හෝ දල්වා එලිය ලබා ගත යුතුය. කොවිඩ් සමග ජීවත්වීමට සිදු වෙන යුගයක් තුළ දරුවනේ අපි පොත් පෑන් අතට ගනිමු…

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article