වැඩිහිටියන් වන අප සියලු දෙනාම දරුවන් ඉදිරියේ 100% නිවැරදි නොවන අවස්ථා බොහෝය. ඇතැම් විට අප වැරදි අවස්ථාවලදීත් අපේ දරුවන් නිවැරදි වීමට හැකිය. එවන් අවස්ථාවන් වල දී වැඩිහිටියන් වශයෙන් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? දරුවන්ගෙන් සමාව ඉල්ලනවාද? නැත්නම් සමාව ඉල්ලීමට මැලි වෙනවා ද? එය ඔබගේ දරුවාගේ පෞරුෂය හා සමාජීය කුසලතා හා මානසික ක්‍රියාකාරීත්වය බලපාන්නේ කෙසේද? අද අප සාකච්චා කරනුයේ ඒ පිලිබඳවයි.
බොහෝ විට වැඩිහිටියන් වන අප සිතන ආකාරය දරුවන් සිතන පතන ආකාරයට වඩා බොහෝ වෙනස්. පොඩි හෝ අත්වැරදීමක් වූ පමණින් ඔබ ඔබේ දරුවාට කියා සිටිනුයේ “Sorry කියන්න” යනුවෙනි. එමනිසා ඔබේ දරුවා ඔබේ අණ කිරීමට සමාව ගැනීම ආරම්භ කරනු ලබයි. නමුත් ඔබ දෙමව්පියන් වශයෙන්, වැඩිහිටියන් වශයෙන් තවත් වැඩිහිටියකුට ඔබ අතින් සිදු වූ අතපසුවිමකට නොපැකිලිව “Sorry”, “සමාවෙන්න” කියනවා විය හැකිය. නමුත් ඔබේ අතින් ඔබේ දරුවාට සිදු වූ වරදට ඔබ දරුවාගෙන් සමාව ගන්නවාද? ඇතැම්විට පිළිතුර ‘ඔව්’ විය හැකිය. නමුත් බොහෝ දෙමවුපියන් තුළ ඇත්තේ ඔවුන් වැඩිහිටියන් බැවින් දරුවන් ගෙන් සමාව ඉල්ලීම අත්‍යවශ්‍ය නොවන බවයි. නමුත් එය එසේ නොවේ.
ඔබ සමාව ඉල්ලිය යුත්තේ ඇයි?
- ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ මෙය අප කවුරුත් දන්නා කියමනකි. ඔබ ප්‍රායෝගික ව කලහොත් දරුවන්ද ඔබ අනුගමනය කරනු ඇත. එමනිසා නිසි තැන ඔබ සමාව ගනු ලබන්නේ නම් දරුවන් ද ඉතා පහසුවෙන් එය ඉගෙන ගනු ලබයි.
- එමෙන්ම ඔබ මේ කරන දේ තුළින් ඔබේ පවුල තුළ එකිනෙකා අනෙකා ගෙන සලකන බව දරුවන්ට කියා දීමට මේ මහත් අවස්ථාවකි. එහි දී එකිනෙකා අතර අගය කිරීම් හා එකිනෙකාගේ වටිනාකම අවබෝධ කරගැනීමට දරුවන්ට මේ ඉතාම හොඳ අවස්ථාවකි.
- තවද ඔබ මේ කරන දේ තුළින් දරුවන්ගේ සමාජීය කුසලතා ද දියුණු කිරීමට හේතුවක් වනු ඇත. මන්ද, සමාව ගැනීම දරුවන් ප්‍රගුණ කළ යුතු සමාජීය කුසලතාවයකි. වැරදි වලට සමාව ගැනීම තුළින් දරුවන් බොහෝ දේ වටහා ගනු ඇත. එහිදී තමා තමන් කරන දේ පිළිබඳ සැලකිලිමත් වීම, තමා කළ දේ තමා වගකීමෙන් කළ යුතු බව වටහා ගැනීම, තමාගේ ක්‍රියාකාරකම් අනිකාගේ කටයුතු කෙරෙහි, අනිකාගේ හැඟීම් කෙරෙහි බලපාන බව දරුවාට පසක් කරවීමට හැකියාව පවතියි. තවද දරුවන්ගේ soft skills දියුණු කිරීමට අවශ්‍ය චින්තනය දියුණු කිරීමද හේතුවනු ඇත.
- තවද සෑම කෙනෙක්ම 100 % නිවැරදි නොවන බවත් දෙමාපියන් වශයෙන් අපගෙන් ද වැරදි සිදුවෙන බවත්, දරුවන් තමන් විසින් කරනු ලබන වැරදි පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් මෙය හේතු වේ.
- පවුලක් වශයෙන් තමන්ගේ අතින් සිදුවූ වැරදි වලට සමාව ගත් පසු තිබුණාට වඩා යහපත් වූ හා සැනසිලිදායක පරිසරයක් නිවස තුළ නිතැතින්ම තැනෙනු ඇත. එහිදී සියලු දෙනාටම වඩාත් ප්‍රියමනාපව හා කුකුසකින් තොරව සහජීවනයෙන් ජීවත් වීම පහසුවක් සලසයි.
- දරුවන් ලබන අත්දැකීම් දරුවන්ගේ පෞරුෂය දියුණු වීම කෙරෙහි හේතු වනු ඇත. ඔබ ඔබගේ අතින් සිදුවන වැරදිවලට දරුවාගෙන් සමාව නොගන්නේ නම් දරුවන් ද පසු කාලීනව මෙම පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.
අයියා: මම අයියා, මම මල්ලිගෙන් සමාව ගන්න ඕනේ නැහැ ආදී ලෙස දරුවන්ට සිතුවිලි ගොඩනැගෙනු ඇත. මේ තුලින් දරුවන් දරුවා වැඩිහිටියන් වූ පසු ද මෙම ලක්ෂණවලින් යුත් වැඩිහිටියෙකු ලෙස සමාජගත වීම ඉඩකඩ පවතී. එමනිසා දෙමාපියන් වශයෙන් ඔබ දරුවාට ආදර්ශයක් ගත හැකි කෙනෙකු විය යුතුය.
- දරුවාගේ මානසික තත්ත්වයට ද මෙය හේතු විය හැකිය. මන්ද ඔබේ දරුවාගේ මානසික තත්වය එකිනෙකාගෙන් වෙනස් වන බැවින් ඔවුන් ඇතැම් මානසික ගැටලුවලට යොමු වීමටද හේතු වනු ඇත. උදාහරණ ලෙස ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍යයට බලපාන වරදක් ඔබ කළා නම් ඔබ සමාව ඉල්ලුවෙත් නැත්නම් දරුවා වඩාත් මානසික පීඩනයට ලක්වීම, මානසික ව්‍යාකූල සිතුවිලිවලින් කටයුතු කිරීම ආදිය සිදුවිය හැකිය. සමාව ගැනීම ප්‍රමාණවත් නොවුණ ද ඇතැම් විට ඔබ සමාව ගැනීම අන් කිසිවකටත් වඩා ඔවුන්ට මානසික අස්වැසිල්ලක් වනු ඇත.
තවද ඔබ වැඩිහිටියෙකු ලෙස ඔබේ අතින් ඔබේ දරුවාට වරදක් සිදු වූ විට ඔබ වැඩිහිටියෙකු යයි සිත ඔවුන්ගෙන් සමාව නොගන්නවා නම් එය ඔබ කරනු ලබන තවත් එක් වරදක් බව දැන් ඔබට වැටහෙනු ඇත. යහපත් සමාජයක් උදෙසාත් දරුවන්ගේ නිවැරදි සමාජීය හා මානසික දියුණුවටත් ඔබ නොසිතන සුළු සුළු දේවල් ද හේතුවන බව දැන් ඔබට වැටහෙනවා ඇති.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.