X-ray එකක් ගන්න කිව්වම හිතට පුංචි චකිතයක් ඇති වෙනවා. ඒ X කිරණ ඒ තරම් සුදුසු නොවන බව පැවසෙන නිසා විය යුතුයි. ඒ කෙසේ වුවත් අවශ්‍ය අවස්ථාවකදී අපේ රෝගී තත්ත්වය නිසා අවශ්‍ය පරීක්ෂණ වෙත යොමු වෙන්න අපි කාටත් සිදු වෙනවා.
X-ray මගින් අපේ ශරීරය තුල ඇති ව්‍යුහයන්ගේ (විශේෂයෙන් අස්ථි වල) ඡායාරූපයක් ලබාගැනීඹ සිදු කෙරෙනවා. මෙය ඉතා ඉක්මණින් සිදු කළ හැකි වේදනා රහිත පිළිවෙතක් වන අතරම X-කිරණ ශරීරය හරහා ගමන් කරන අතර ඒ ගමන් කරන ද්‍රව්‍යයයේ ඝනත්වය අනුව විවිධ ප‍්‍රමාණයන්ගෙන් X– කිරණ එම වස්තුවට උරාගැනීඹ සිදු වෙනවා. ඝනකම් සහිත ද්‍රව්‍ය (අස්ථි, වානේ) ආදියේ X-ray සුදු පැහැයට පෙන්නුම් කරන අතරම පෙනහළු තුල පවතින වාතය කළු පැහැයෙන් පෙන්නුම් කරනවා. එසේම මේදය හා පේශී අළු පැහැති සෙවනැල්ලක ආකාරයට පෙන්වනවා. X-ray පරීක්‍ෂණ දේහයේ අස්ථි හා මෘදු පටක ආශ‍්‍රිත අධ්‍යයනයන් මෙන්ම කුහර සහිත ඉන්‍ද්‍රියන්, වාහිනී වැනි ස්ථානයන්ගේ ව්‍යුහයන් පිළිබඳව අධ්‍යයනයන් සඳහා බහුලව යොදා ගැනීම යොදා ගනී. X-ray ගැනීම විකිරණ රේඛණය (Radiographs) නැතහොත් රොන්ට්ජනෝ ග‍්‍රෑමය (Roentgenograms) ලෙසද හඳුන්වයි.
X කිරණ නිපදවනුයේ ටන්ග්ස්ටන් (Tungsten) නම් රසායනික ද්‍රව්‍ය යෙදු රක්තක නලයක ඉලෙක්ට්‍රෝන ධාරාවක් යෙදීමෙනි. දෘෂ්ඨීක ආලෝක කිරණ වලට පාරාන්ධ වන බොහෝ ද්‍රව්‍ය තුලින් X කිරණ ගමන් ගැනීම මෙහිදී සුවිශේෂී වේ. ඇතැම් X-ray පරීක්‍ෂණ සඳහා පාරාන්ධ (Contrast) මාධ්‍යයක් ලබාදී (අයඩින්, බේරියම් ශරීරයට ලබාදී) X-ray ගනී.
සාමාන්‍යයෙන් X-ray ලබා ගන්නා ස්ථාන
- අස්ථි බිඳීම් (fracture) සහ ආසාධන වලදී.
- සන්ධි වල ප‍්‍රදාහමය තත්ත්ව (Arthritis)
- දත් වල කුහර වලදී (Dental decay)
- අස්ථි රෝග (Osteoporosis)
- අස්ථි වල ඝනත්වය මැනීම (විශේෂිත ආකාරයේ X-ray මගින් අස්ථි වල ඝනත්වය මැනිය හැක)
- අස්ථි වල පිළිකා/ගෙඩි වල
උරස් කුහර ආශ‍්‍රිතව (Chest)
- පෙනහලු ආසාධන හා රෝග – නියුමෝනියාව, ක්‍ෂය රෝගය, පෙනහලු පිළිකා
- පියයුරු පිළිකා – Mammography යනු විශේෂිත X-කිරණ පරීක්‍ෂාවකි. එමගින් පියයුරු පටක පරීක්‍ෂාවට ලක් කරයි.
- විශාල වූ හෘදය – සංචයන හෘද අකරණිය තත්ත්වයට (Congestive Cardiac Failure) හඳුනාගැනීමට භාවිත වේ.
- රුධිර වාහිනී අවහිරතා – අයඩින් මූලද්‍රව්‍ය සහිත පාරාන්ධ ද්‍රව්‍යයක් එන්නත් කර X-ray ලබාගනී.
උදරය
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත ගැටලු – පාරාන්ධ ද්‍රව්‍යයක් වන බේරියම් බීමට හෝ වස්ති ආකාරයට ලබාදී X-ray ලබාගනී.
- දරුවෙකුට කාසියක්, යතුරක් වැනි යමක් ගිළුනු විට X-ray මගින් එම ද්‍රව්‍ය පවතින ස්ථානය පෙන්නුම් කරයි.
X – කිරණ පරීක්‍ෂණ ගැන දැනගත යුතු කරුණු.
සාමාන්‍යයෙන් X-කිරණ ඡායාරූප ලබාගන්නා ආකාර 2 කි.
- Plain X-ray – සාමාන්‍ය X-කිරණ ඡායාරූප
මේවා භාවිත කරනුයේ අස්ථි පිළිබඳ වූ අධ්‍යයනයන්ට, උරස් හා උදර කොටස් හි දළ අධ්‍යයනයන්ට වේ.
- Contrast Studies – පිළි සැසඳුම් අධ්‍යයනය
මෙහිදී වාතය හෝ පාරාන්ධ රසායනිකයන් දේහ කුහර තුලට ඇතුල් කොට අවශ්‍ය විස්තර ලබාගැනීම සිදු කරයි. රසායනික පාරාන්ධ ද්‍රව්‍ය යොදා (බේරියම් ආහාරය – Barium Meal,බේරියම් වස්තිය – Barium enema) කුහර සහිත ඉන්‍ද්‍රියන් වල විකිරණ ප‍්‍රතිරූපයන් ගත හැකිය. එසේම සුෂුම්නා ආලිය තුලට අදාල වායු හෝ ඩයි වර්ගය ඇතුල් කර අවශ්‍ය ඡායාරූප ගනී.
එසේම සමහර විකිරණ පාරාන්ධ ද්‍රව්‍ය ඇතුළු කිරීම මගින් නිශ්චය කරගන්නා ලද ඉන්‍ද්‍රිය කොටසක ප‍්‍රතිරූප ලබාගත හැකිය. මුඛයෙන් හෝ අන්ත:ශෛරීකව අදාල විකිරණ පාරාන්ධ ද්‍රව්‍ය ඇතුල් කොට අක්මාව හෝ පිත්තාශය, මුත‍්‍රල පද්ධතිය යනාදියේ ප‍්‍රතිරූපණ ලබාගැනීම සිදු කරයි.
මෙහිදී බහුලව භාවිත කරන පිලි සැසඳුම්කාරකයක් වන්නේ හයිපැක් (hypaque), පැන්ටොපැක් (Pantopaque), කාඩියෝ ග්‍රාෆ් (Cardiograph), රෙනෝ ග‍්‍රැෆින් (Renografin), බේරියම් සල්ෆේට් ආදිය වේ.
සාමාන්‍යයෙන් X-කිරණ කෝණ දෙකකින් ගැනේ. එක් කෝණයකින් ගන්නේ අඩු ගහණයකින් යුතු ව්‍යුහයන්ගේ පමණි. අනෙක් ඒවා කෝණ 2 කින් ගත යුතුය. ඒවා නම්,
- පූර්ව අපර කෝණ (Anterior Posterior – AP)
- පාර්ශ්වීය කෝණය (Lateral view) එය දකුණු පාර්ශ්වය හෝ වම් පාර්ශ්වය වේ.
X – කිරණ ලබා ගැනීමේදී අනුගමනය කරන පොදු කරුණු
- X-කිරණ පරීක්ෂාව සඳහා යොමු කරන ලද රෝගියා ස්ථිර කරගත යුතුය.
- පිළිවෙතට පෙර රෝගියාට පැහැදිලි කර (වේදානාත්මක නොවන බව) බිය දුරු කළ යුතුය.
- Contrast ලබාදීමේදී අයඩින් සහිත සංයෝග ශරීරයට ඇතුල් කිරීමට පෙර ආසාත්මිකතාවයක ඉතිහාසයක් ඇති දැයි දැනගත යුතුය.
- ඔක්සිජන් ලබාදෙන රෝගියෙකු නම් X-කිරණ ලබාගැනීමට ආසන්නතම අවස්ථාවේදී අදාල උපකරණ, මුව වැස්ම ඉවත් කළ යුතු අතරම X-ray ගෙන අවසන් වූ වහාම නැවත සම්බන්ධ කළ යුතුය.
- පපුවේ X-කිරණ ගැනීමේදී හුස්ම අල්ලාගෙන සිටීමේ වැදගත්කම පහදන්න.
- X-ray ගන්නා විට කපු ඇඳුම් ඇඳ සිටිය යුතු අතර සිල්ක් ඒවා නුසුදුසුය. ඇඳුම් වල යකඩ (ලෝහ වලින් තැනූ කොකු) කටු, බොත්තම් ආදිය නොතිබිය යුතුය.
- දිගු කොණ්ඩයක් සහිත රෝගියෙකු නම් කොණ්ඩය උස් කොට තදින් බැඳ ගත යුතු වන අතර කොණ්ඩ කටු භාවිතය නුසුදුසුය.
- ආභරණ පලඳා සිටීම නුසුදුසුය. ලෝහමය කොටස් විනිවිද X-කිරණ ගමන් නොගනී. එවිට ලෝහමය කොටස් ප‍්‍රතිරූපණ පලයේ සටහන් විට හැක. ඒ නිසා දේහ කොටස් එමගින් වැසී යා හැක.
- ගර්භනී කාන්තාවක් නම් X-කිරණ වලට අනාවරණ නොවිය යුතුය. ගර්භනී කාලයේ දෙවෙනි මස සිට හය වැනි මාසය දක්වා කාලයේදී ප‍්‍රජනක කොටස් X-ray වලට අනාවරණය වීමෙන් සංජානීය පළුදු ඇති විය හැක.
- නැවත නැවත X-ray වලට අනාවරණය වීම නුසුදුසු වන අතරම ඇට මිදුළු අවපීඩනය (Bone Marrow Depression), ලියුකේමියාව, පිළිකා ඇතිවීමේ අවධානම, ලියුකොෆිනියා (සුදු රුධිරානු), වද භාවය, උපත් ආබාධ වැනි නොයෙකුත් සංකූලතා ඇති වීමට අවදානමක් ඇති බව අවබෝධ කරගත යුතුය.
X-ray හඳනා ගැනීම සඳහා ලබාදෙන පාරාන්ධ ද්‍රව්‍යවල අතුරු ආබාධ
- උණුසුමක් දැනීම/සම රත් පැහැවීම.
- කටට ලෝහ රසක් දැනීම.
- සුළු හිසරදය
- ඔක්කාරය
- කැසීම
කලාතුරකින් තීව‍්‍ර ප‍්‍රතික‍්‍රියා ලෙස,
- රුධිර පීඩනය අඩුවීම
- සංරක්‍ෂිත ප‍්‍රහාරය (Anaphylactic shock)
- කන්තුක ඇණහිටුම (Cardiac arrest)
ඇති විය හැක. නමුත් මෙවැනි අවස්ථා ඉතාමත් කලාතුරකින් වන අතර මෙවැනි අවස්ථා ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පරීක්ෂණයට දින ත්‍රනකට පමණ පෙර සිට ඖෂධ ලබාදී රෝගියා සූදානම් කරවයි. එසේම ඕනෑම වෛද්‍යමය තත්ත්වයකට අවශ්‍ය ලෙස මුහුණදීමට ඖෂධ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.
විකිරණ වලට අනාවරණය වීමෙන් ඇති වන අවදානම් තත්ත්ව.
සියලුම විකිරණ පරීක්‍ෂණ අධ්‍යයනයන් අවදානම් තත්ත්වයන් ගෙනදේ. මෙම විකිරණයන් ලිංගික සෛල හා අනෙක් සෛල යනාදියට අතුරු ඵලයන් ඇති කළ හැක. වර්ධනය වන සහ භ‍්‍රෑණ සෛල විශේෂයෙන්ම විකිරණ වලට සංවේදී වේ. ඒ නිසා ළමුන් වැඩිහිටියන්ටද වඩා අවදානම් බවක් දක්වයි. ඒ නිසා මෙම පරීක්‍ෂණයන් කළ යුත්තේ අත්‍යාවශ්‍ය නම් පමණක් බව මතක තබාගත යුතුය.
විකිරණ නිසා ඇති විය හැකි තත්ත්වයක් වන්නේ ජානමය හුවමාරු වීම හා වෙනස්වීම, පිළිකා ඇතිවීම හා සංජානනීය අසාමාන්‍යතා ඇති වීමයි. නැවත නැවත එක්ස් කිරණ වලට අනාවරණය නොවන ලෙසට පත් කිරීමේ අටියෙන් රෝගීන් එක්වරම පරීක්‍ෂණ සඳහා සූදානම් කිරීම් අත්‍යවශ්‍ය වේ. ඒ නිසා X-කිරණ වලට අනාවරණය වීම අවම කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන්ද ආරක්‍ෂිත පලිහකට මුවා විය යුතුයි. මේ සඳහා ඊයම් ඒප‍්‍රන් හා අත් වැසුම් යෙදිය යුතුය. කාන්තාවන් ගර්භනී නම් X– කිරණ වලට අනාවරණය නොවිය යුතුය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල