ගර්භනී බව දැනගත් පළමුව කල යුත්තේ ඔබේ ගර්භනී බාවය ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය අමතා ලියාපදිංචි කිරීමයි. එසේ ලියාපදිංචි කළ පසු ඔබේ ජීව දත්ත මෙන්ම සෞඛ්‍ය දත්තද අඩංගු එසේම ගර්භනී කාලය පුරාවටම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගර්භනීභාවයට බලපාන අන්දම ඇතුලත් එමෙන්ම ප‍්‍රසූතිය සැලසුම් කිරීමද සහිතව ගර්භනී සටහන් පතක් ඔබට ලබාදෙනු ලබයි. මේ සමගම ගර්භනී වන විට ඔබේ ශරීරයේ ලේ වල හිමොග්ලොබින් ප‍්‍රමාණය හා රුධිර සීනි ප‍්‍රමාණය සම්බන්ධ වාර්තාවක්ද ලබාගැනීමට උපදෙස් ලැබෙනු ඇත. එසේම දත්ත සංරක්‍ෂණය සඳහා යොමු කිරීමක්ද කරනු ලබයි.
ඔබගේ රුධිර සාම්පල වාර්තාව ද රැගෙන ඔබට සායනයට පැමිණීමට ලබාදෙන දිනයේ ඔබගේ මුත‍්‍රා සාම්පලයක් විටමින් ලබා ගැනීමට බෝතලයක් ද රැගෙන සායනයට පැමිණිය යුතුයි.
පූර්ව ප‍්‍රසව සායනය යනු ගමේ සිටින සියළු ගර්භනී මව්වරුන්ගේ කායික මානසික සාමාජීය හා අධ්‍යාත්මික සුවතාවය සංවර්ධනය කරමින් ගර්භනීභාවය හා බැඳුණු සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් මවක් ප‍්‍රසවයක් දක්වා ආරක්‍ෂාකාරීව රැගෙන යන විශ්ව විද්‍යාලයයි.
සායනයට පැමිණි ඔබට අනුපිළිවෙල අංකයක් දෙනු ලබන්නේ ඔබව ක‍්‍රමානුකූලව වැඩ කිරීමට හුරු කිරීමට මෙන්ම ඔබගේ කාලය, ධනය ආදියද සුරක්‍ෂිත කරමින් වැඩ කටයුතු පහසු කරගැනීම සදහායි.
පැමිණි සියළු දෙනා සුහද ලෙස පිලිගනිමින් තමන්ගේ තැනක් යන්න ඒත්තු ගන්වන සායනයේ සියළු දෙනාගේ උස, බර හා උසට සරිලන බර පළමු දිනයේම කරනු ලබයි. මේ මගින් දරුවා වැඞීමට පෙර මවගේ කායික යෝග්‍යතාවය පිළිබඳ අදහසක් ලබාගත හැකියි.
උසට සරිලන බර
- 18.5 ට අඩු නම් ප‍්‍රසූති දිනය වන විට ලඟා කරගත යුතු ඉලක්කයන් හෙවත් බර වැඩි කිරීම පිළිබඳ දැනුවත් කරන අතරම එය ප‍්‍රස්ථාර ගත කර වැඩි විය යුතු අන්දම පෙන්වා දෙයි. අවධානම පැහැදිලි කර දෙයි.
- 18.5-25 අතර නම් නිරෝගී බරක් පවත්වා ගැනීම සම්බන්ධව මවට ප‍්‍රශංසා කර ඒ අනුව බර පවත්වා ගැනීම පිළිබඳව අදහස් ලබාදෙයි.
- 25 ට වැඩි නම් ඇති විය හැකි අහිතකර තත්ත්ව අවදානම් බව පැහැදිලි කර දී ආහාර රටාවන් පිළිබඳවත් ඇති විය හැකි තත්ත්ව පිළිබඳවත් දැනුවත් කරයි.
මේ අනුව ගර්භනී මවකගේ බර, උසට බර යන සෞඛ්‍ය දත්තය ගර්භනී මවකට බලපාන අන්දම පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව ලැබේ.
සායනයේදී කරනු ලබන අනෙකුත් පරීක්‍ෂණ හා පරීක්‍ෂාවන්.
- මුත‍්‍රා පරීක්‍ෂණ
- රුධිර (ලේ) පරීක්‍ෂණ
- රුධිර පීඩනය
- ඉදිමුම
- තයිරොයිඞ්
- යටිබඩ ගැටළු
- සති ගණනට අනුව දරුවාගේ වැඞීම සිදුවේද (ගර්භ උස මැන බලයි)
- දරුවාගේ හෘද ශබ්දය
- වෙනත් රෝගී තත්ත්ව හෝ සෞඛ්‍යයට බලපාන වෙනත් තත්ත්ව.
මුත‍්‍රා පරීක්‍ෂණය
මුත‍්‍රා පරීක්‍ෂාව සිදු කරනුයේ මුත‍්‍රා වල සීනි තිබේද, මුත‍්‍රා වල ප්‍රෝටීන (ඇල්බියුමන්) තිබේද යන්න පරීක්‍ෂා කිරීමටයි. මේ මගින් මවට දියවැඩියාව සම්බන්ධ ගැටළු, වකුගඩු රෝගී තත්ත්ව හෝ ගර්භ වලිප්පුව සෑදීමට ඇති ඉඩ කඩ ඇත්නම් එය හඳුනා ගත හැකියි. මෙය පරීක්‍ෂා කරනු ලබන්නේ පටියක් ආශ‍්‍රයෙන්. මේ පටියේ දැක්වෙන පාට වෙනස් වීමකට භාජනය වේ නම් එම මවගේ වැඩිපුර පරීක්‍ෂාවන් සඳහා සම්පූර්ණ මුත‍්‍රා පරීක්‍ෂාවක් සිදු කිරීමට මවට උපදෙස් ලබාදේ.
රුධිර පරීක්‍ෂාව
- හිමොග්ලොබින්
මව සායනයට පැමිණෙන විට පරීක්‍ෂා කරගෙන ආ හිමොග්ලොබින් වාර්තාව බැලීමත් ඒ අනුව උපදෙස් ලබාදීමත් සිදු කෙරේ. මේ මගින් හිමොග්ලොබින් අගය 11g ට වඩා අඩු නම් ඒ පිළිබඳව දැනුවත් කර හිමොග්ලොබින් වැඩිවීමට ගත හැකි ආහාර පිළිබඳව දැනුවත් කිරීම කරනු ලබයි.
2.සමාජ රෝග සඳහා පරීක්‍ෂාව
මේ සඳහා සායනයේදී රුධිර සාම්පලයක් ලබාගනු ලබන අතර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව සිපිලින් නම් රෝගය ඇති දැයි බලාගැනීමටයි. එහෙත් මෙම ප‍්‍රතිඵලය වූ විට සිපිලිස් රෝගය සඳහා තවත් පරීක්‍ෂාවක් සිදු කිරීමට සිදු වේ. ගර්භනී මවකට මෙම රෝගය තිබුණහොත් දරුවාට සංජානනීය උපදංශය ඇති විය හැකි බැවින් ඒ සඳහා පරීක්‍ෂා කර අවශ්‍යතාවය අනුව ප‍්‍රතිකාර ලබාදී එය දරුවාට බලපෑම අවම කිරීමට කටයුතු කෙරේ.
3. HIV – ඒඞ්ස් සඳහා පරීක්‍ෂාව
මෙයද සායනයේදීම සිදු කරන රුධිර පරීක්‍ෂාවකි. මෙය HIV ඇති බව අනාවරණය වුවහොත් දරුවාට ඇති වන අනතුරුදායක තත්ත්ව වළකාලීමට ප‍්‍රතිකාර සඳහා යොමු කරනු ලබයි.
මෙහි 2 හා 3 පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ඉතාමත් රහස්‍ය ලෙස සිදු කරනු ලබන හෙයින් ධනාත්මක වන කිසිදු මවකට සමාජීය ප‍්‍රශ්න ඇති නොවේ.
4.රුධිර ඝනය පරීක්‍ෂා කිරීම
රජයේ ලේ බැංකුවකින් නිකුත් කල ලේ වර්ගය සටහනක් නොමැති සෑම මවකගේම කරනු ලබයි. මෙම පරීක්‍ෂණ ප‍්‍රතිඵල සටහන සුරැකිව තබාගත යුත්තේ එය ජීවිත කාලයටම එක් වරක් පරීක්‍ෂා කිරීම කළ යුතු පරීක්‍ෂාවකි.
රුධිර ගණය සෘණ වන එනම් Negative වන (A-re, B-v, AB-v, AB-ve/O-ve) මව්වරුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ ලේ වර්ගය ධනාත්මක (+ve) වුවහොත් දරුවාගේද රුධිර ගණය පිළිබඳව පරීක්‍ෂාවකට රෝහලේදී යොමු කරන අතර දරුවා + බව අනාවරණය වුවහොත් දරුවා ඉපදී පැය 72 ක් තුල රෝගම් නම් එන්නත මවට ලබාදීම සිදු කෙරේ. මේ පිළිබඳව දැනුවත් වීම සඳහා මේ රුධිර පරීක්‍ෂාව ඉතා වැදගත් වේ.
එසේම හිමොග්ලොබින් අඩු මවක් සඳහා රුධිර පාරවිලයනය (ලේ ලබාදීම) සිදු කිරීමට සිදු වුවහොත් ඒ සඳහාත් රුධිර ඝනය දැන සිටීම ඉතා වැදගත් වේ.
5.රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කිරීම
මෙය ගර්භනී වූ මුල් අවස්ථාවේදීම පරීක්‍ෂා කලා සේම එවිට ගැටළු ඇති දැයි හඳුනාගතහොත් විශේෂඥ සායනයට යොමු කිරීමත් ඒ අනුව සීනි පරීක්‍ෂාව සිදු කරමින් පාලනය සඳහා අවශ්‍ය ක‍්‍රමවේද ආහාර පාලනය ඖෂධ ලබාදීම, ඉන්සියුලින් විදීම වැනි ක‍්‍රම අනුගමනය කිරීමට මවට සිදු වේ.
ලේ වල සීනි නැති බව තහවුරු වුවහොත් නැවත සති 28 දී එම පරීක්‍ෂාවම සිදු කිරීමට ඔබට උපදෙස් ලැබේ. ඒ මගින් පරීක්‍ෂා කරනුයේ ගර්භනීතාවය නිසා හටගත් දියවැඩියාව ඇති ද යන්නයි.
මේ සියළු පරීක්‍ෂණ වලින් සිදු කරනුයේ ගර්භනී කාලය තුල මවට විය හැකි අනතුරුදායක තත්ත්ව වළකා ගැනීම මෙන්ම දරුවාට විය හැකි අනතුරු වළක්වා නිරෝගී දරු උපතක් සිදු කිරීමට මග සැකසීමටයි.
6.රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම.
මෙය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන අතර ඒ අනුව රුධිර පීඩනයේ වෙනසක් බලපෑම් ඇති කළ හැකි ලෙස වේ නම් විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු තහවුරු කෙරේ.
එසේම මේ සමග හෘද හා පෙනහළු පරීක්‍ෂාවද වෛද්‍යවරයා විසින් සායනයේදී සිදු කරනු ලැබේ. හිසේ සිට පාදාන්තය දක්වා කායික පරීක්‍ෂාවක් සිදු කරන අතරම හඳුනාගන්නා සෑම අසාමාන්‍ය තත්ත්ව සඳහා ප‍්‍රතිකාර ලබාදීම සහ අවශ්‍යතා පරිදි විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.
එසේම සති ගණනට අනුව ගර්භයේ වැඞීම, භෘණ චලනය පිළිබඳ විමසීම හා භෘණ හෘද ශබ්දය ඇසීමත් සිදු කරන දරුවාගේ නිරෝගී තත්ත්වය පිළිබඳව තක්සේරු කරනු ලබයි. මේ අවස්ථාවේදී මවට ගැටළු ඇති කරන තයිරොක්සීන් ගර්භ වලිප්පුවට හේතු වන ඉදිමුම ආදියද පරීක්‍ෂාවට ලක් කෙරේ.
මෙවන් පරීක්‍ෂාවන් සිදු කරන අතරම පෝෂණ ගැටළු සඳහා හේතු විය හැකි ඌනතාවයන් සැලකිල්ලට ගෙන යකඩ පෙති, ෆෝලික් අම්ල පෙති, විටමින් සී පෙති හා කැල්සියම් පෙති මව්වරුන්ට ලබාදීමත් ඒවා අසුරා තබාගැනීම පිළිබඳව හා පාවිච්චි කිරීම පිළිබඳව දැනුමද මව්වරුන්ට ලබාදීම සිදු කරයි.
බර වැඩිවීම මෙන්ම අඩු වන පෝෂණ කොටස් ලබාදීමට සැලසුම් කර ඇති ත‍්‍රිපෝෂ ලබාදීමද ගර්භනී මව්වරුන්ගේ සායනයෙන් සැලසෙන තවත් වාසියකි. සෑම මවකටම ත‍්‍රිපෝෂ පැකට් 2 ක් මසකට වරක් සායනයෙන් ලබාදේ.
මව්වරුන්ගේ ප‍්‍රතිශක්තීකරණය වෙනුවෙන් පිට ගැස්ම එන්නත ලබාදීමද වර්තමානයේ නම් ඊට අමතර COVID එන්නත ලබාදීමද සායනය මගින් සිදු කෙරේ. මවට පිටගැස්ම එන්නත ලබාදීම මගින් දරුවාට ඇති විය හැකි නව ජන්ම පිටගැස්ම වළක්වාලීම සිදු වේ.
මේ සියළු සේවාවන් සපයන අතරේ කාර්ය පහසුව සඳහා සායනයට පැමිණීමට වේලාවක් ලබාදීම කාඞ්පත් හා පරීක්‍ෂණ වාර්තා පිළිවෙලට පිරිසිදුව පහසුවෙන් බලාගත හැකි ලෙස ගොනු ගත කර (ෆයිල් තුල බහා) තබාගැනීමට අවශ්‍ය මගපෙන්වීමද සිදු කරමින් ගර්භනී කාලය තුල කායික මානසික සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් වැදගත් වන අධ්‍යාපනය පිළිබඳව වැඩසටහන්ද පැවැත්වේ. මේ මගින් මව්වරුන්ට පවුල් ජීවිතය, බෝවන රෝග, බෝ නොවන රෝග, සායනික පරීක්‍ෂණ, ගර්භනී කාලය, දරුවකු පිළිසිඳ ගන්නේ කෙසේද, ගර්භනී කාලය තුල ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු හා ඒවාට පිළිතුරු සෙවීම, පවුලේ සහයෝගය ලබාගැනීම, රෝහල් යාමට සූදානම් වීම, අවශ්‍ය කලමනා සකස් කරගැනීම හා සැලසුම් කිරීම පිළිබඳවද මේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් වලදී සාකච්ඡා කෙරේ.
මෙසේ ගර්භනී කාලය තුල මවකට ඇති විය හැකි කායික, මානසික ( මවගේ ස්වභාවය අනුව/කතාබහේ, ඇවිදීමේ විලාශය හෝ සිටින අයුරු අනුව ගැටළු සගහත බව හඳුනාගත හොත් කායික/මානසිකමය ඕනෑම ගැටළුවක් සඳහා සක‍්‍රීයව මැදිහත් වී මවගේ සහනය වෙනුවෙන් අවශ්‍ය පියවර හා රාජ්‍ය යාන්ත‍්‍රණය අනුව සිදුකළ හැකි මැදිහත් වීම් පවා සිදු කරනු ලැබේ. අවශ්‍යතාවය අනුව කාන්තා කටයුතු/පරිවාස ළමා රක්‍ෂක/සමාජ සේවා ආදී සේවාවන් ලබාගැනීමටද යොමු කිරීම සිදු කෙරේ), සමාජීය හා අධ්‍යාත්මික වෙනස්කම් පිළිබඳව හා ඒවාට සාර්ථකව මුහුණුදිය හැකි අත්වැලක් සැපයීමට පූර්ව ප‍්‍රසව සායනය සෑම විටම සැදි පැහැදී සිටී.
මින් ඔබ්බට ගොස් මව්වරුන් සඳහා පෝෂණ, ආහාර වේල් දානපතියන් හරහා මව්වරුන්ට ලබාදීම පෝෂණ හා ආහාර රුචිය වඩවාලීම මගින් මව්වරුන්ට උපරිම සහයෝගය ස්ථානයක් බවට සායනය පත්ව ඇත.
මේ සියළු කටයුතු සඳහා ඔබ හා එක්ව ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය රැඳී සිටින අතරම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාද ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ අනාගත පරපුරට යහපත් දරුවකු දායාද කරන්නටත් සියළු ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ආරක්‍ෂා කිරීමටත්ය. මෙසේ හෙයින් පූර්ව ප‍්‍රසව සායනය යනු ඔබට, ඔබේ දරුවාට ජීවිතේ අත්වැල සපයන විශ්ව විද්‍යාලයයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල