- Advertisement -

පුංචි පැටියාට තෑග්ගක් දෙමු…

-

පුංචි පැටියට තෑග්ගක් විදිහට මොනවද ගෙනියන්නේ…? ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතට නැගෙනවා ඇති. කොහොම වුනත් පුංචි දරුවන්ට තෑගි තෝරා ගැනීමත් අපි හිතන තරමටම සරල නැහැ.පුංචි සිතුම් පැතුම් අපට තේරුම් ගැනීමත් අපහසුයි. අම්මා, තාත්තා නම් ඒ බව දන්නවා. ඒත් පිටස්තර පුද්ගලයන් විදිහට අපට දරුවාගේ කැමැත්ත ගැන වැඩි අවබෝධයක් නැහැ.ඉතින් එහෙමනම්…පුංචි පැටියාට තෑග්ගක් තෝරා ගැනීමට හිත සමග තර්ක කරන ඔබට ගැලපෙන හෝඩුවාවන් කීපයක් මෙන්න…

තෑග්ගක් තෝරා ගැනීමේදී මේ ගැන සිතන්න..

- Advertisement -

අද පවතින තත්වය අනුව දරුවන්ට සමූහ වශයෙන් ක්‍රිඩා කිරීමත් අපහසුයි. ඒ වගේම විවිධ උපාංග සහිත තෑගි භාණ්ඩ නිසා දරුවන්ට අනතුරු වෙන්නත් පුලුවනි. උදාහරණයක් විදිහට මේවායේ තිබෙන බොත්තම් වැනි දේවල් දරුවා කටේ , නාසයේ හෝ කණට දාගන්නත් පුලුවනි.එකම තැනක රැඳී සිටින අතරවාරයේ දරුවන්ගේ මොළයට ව්‍යායාමක් ලැබෙන ක්‍රිඩා භාණ්ඩයක් තෝරා ගැනීමට ඔබට පුලුවනි.

බිල්ඩින් බ්ලොක්ස් හෝ ජිග්සෝ….ප්‍රහෙලිකා ආශ්‍රයෙන් සෙල්ලම් කරන විට දරුවාගේ තර්ක ඥානය උත්තේජනය වෙනවා. බිල්ඩින් බ්ලොක්ස් වගේම ජිග්සෝ ප්‍රහෙලිකාවක් සකස් කරන විට යම් ආකාරයකින් දරුවා තමන් සමග තර්ක කරනවා. ප්‍රහෙලිකා කොටස් එකලස් කරන විට සතෙකුගේ නම් ඔලුව මෙතැනට..නගුට මෙතැනට ආදි වශයෙන් දරුවා ඒවා ස්ථානගත කරනවා. ඒ වගේම තැනට නොගැලපෙන බව තේරුම් යන විට දරුවා විසින්ම ඒවා විතැන් කරනවා.මේ අන්දමින් සිදු වෙන ස්වයං තර්කනය නිසා දරුවාගේ තර්ක ඥානය ස්වයංක්‍රිය ලෙසින්ම උත්තේජනය විමක් මෙවැනි තෑගි ලබා දීමෙන් සිදු වෙනවා.

නිර්මානශීලියි…

බිල්ඩින් බ්ලොක්ස් වැනි කොටසක් එකලස් කරන විට දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. වර්ණ ගැන අවබෝධයක් ලැබෙනවා. වර්ණ සංකලනය කිරීමෙන් දරුවාගේ හිතට යම් ආශ්වාදයක් ඇති වෙනවා.ඒ වගේම බිල්ඩින් බ්ලොක්ස් එකතු කරමින් ගොඩ නගන නිර්මානය නිසාම දරුවාගේ නිර්මානශීලී හැකියාවන් වර්ධනය වෙනවා. තව තවත් නිර්මාණ ගොඩ නැගීමේ උනන්දුවත් ඔවුන් තුළ ගොඩ නැගෙනවා.

ඉවසීම…

මෙවැනි කාර්යක නිරත වෙන විට සන්සුන් මානසිකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දරුවා බොහොම ඉවසීමෙන් ඒ නිර්මානය තුළ රැඳෙනවා. විනාඩි පහක් එක විදිහකට ඉන්න බැරි වුනත් යම් නිර්මානශීලී කාර්යක නිරත වෙන විට දරුවා තුළ නොදැනීම ඉවසීම ප්‍රගුණ වීමක් සිදු වෙනවා.

සතුට

අපිට වුනත් යම් නිර්මානයක් අවසානයේදී ඇති වෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. දරුවාගේ හිත ඊට දෙවැනි නැහැ. තමාගේ ස්වශක්තියෙන් ගොඩ නගන ප්‍රහෙලිකාව හෝ බිල්ඩින් බ්ලොක්ස් නිර්මානය දකින විට මහත් වූ සතුටක් හිතට ඇති වෙනවා. ඒ සතුට නිසාම ඔවුන් එතැනින් නවතින්නේ නැහැ.තව තවත් නිර්මාණ කිරීමට උනන්දු වෙනවා.

විවේකය යහපත් පරිදි ගෙවන්න

පර්යේෂකයන් පවා පෙන්වා දෙන අන්දමට ජිග්සෝ ප්‍රහෙලිකා විසඳන දරුවන්ගේ කුසලතාවයන් සංවර්ධනය කර ගැනීමට වැඩි ඉඩක් ලැබෙනවා. කොටින්ම බිල් ගේට්ස් වැනි බිලියනපතියන් පවා තවමත් විවේක වේලාවට ජිග්සෝ ප්‍රහෙලිකා සමග කාලය ගෙවන බැව් වාර්තා වෙනවා. ඒ නිසා ඔබේ දරුවාටත් විවේකය යහපත් ලෙසින් යොදවා ගැනීමට මෙවැනි ජිග්සෝ ප්‍රහෙලිකා හෝ බිල්ඩින් බ්ලොක්ස් සමග සිදු කරන ක්‍රිඩා වඩාත් හිතකර වීමට අවස්ථාව තිබෙනවා.

එකමුතුබවක්…

දැන් දරුවන්ට සෙල්ලම් කිරීමට බාහිර පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා පවුලේ සහෝදර සහෝදරියන් සමග එකතුව මෙවැනි ක්‍රිඩාවක යෙදීමට තිබෙන අවස්ථාව නිසා ඔවුන් අතර එකමුතු බව ඇති වෙනවා. අද බොහෝ දෙනා නගන චෝදනාවක් තිබෙනවා. අපේ කුඩා දරුවන් පවා ජංගම දුරකථනය සමග පවුලෙන් දුරස් වී සිටින බැව් කිව්වත් මෙවැනි ක්‍රිඩාවක් කරනවා නම් දරුවන් අතරත් යම් ආකාරයක එකතුවක් සහ එකමුතුබවක් ඇති වෙනවා.ජංගම දුරකථනයකින් සිදු වෙන පවුලේ විතැන් වීම වෙනුවට බිල්ඩින් බ්ලොක්ස් හෝ ජිග්සෝ ප්‍රහෙලිකාවක් මගින් ඔවුන් අතර  එකමුතුබව ගොඩ නගන්න  පුලුවනි.

මානසික ආතතිය දුරු වෙනවා..

අද කාලයේ පුංචි දරුවන්ටත් මානසික ආතතිය ඇති වෙන බැව් ඔබත් දන්නවා. ඒ නිසා ඔවුන්ට පවා හිතට සතුටක් ලැබෙන යම් කටයුත්තක නිරත වීම වැදගත්. ඒ නිසා දරුවන්ට මෙවැනි ක්‍රිඩා කිරීමට ලැබෙන කාලය නිසා ඔවුන්ගේ කාලය යම් කාර්යක් වෙනුවෙන් නොදැනීම යෙදවෙනවා. ඒ අවසානයේ යම් පසුපෝෂණයක් හෙවත් තමා විසින් සිදු කරන ලද නිර්මානය දැකීමෙන් හිතට සතුටක් ඇති වෙනවා. මේ මානසිකත්වය නිසාම දරුවාගේ මානසික ආතිතමය තත්වය පවා දුරු වෙන බව මෑතකදී සිදු කරන ලද විවිධ අධ්‍යනයන් මගින් හදුනා ගෙන තිබෙනවා.

ප්‍රහෙලිකා පුරවන්නත් දෙන්න..

ඒ වගේම ප්‍රහෙලිකා පුරවන විට මානසික උත්තේජනයක් ඇති වෙන බවත් දැන් විවිධ අධ්‍යනයන් මගින් සනාථ වී තිබෙනවා.ඒ නිසා දරුවාගේ ළමා පුවත්පත්වල තිබෙන හරස්පද ප්‍රහෙලිකා පුරවන්න උනන්දු කිරීමත් වැදගත්. හරස්පද ප්‍රහෙලිකා වගේම bridge , සුදොකු… Scrabble, වැනි ක්‍රිඩාවලින් දරුවාගේ මොළයට වයායාමයන් ලැබෙන බැව් අමතක කරන්න එපා. ”සුදොකු ” කියන්නේ මොළය තිරිහන් කරන ක්‍රිඩාවක්. තර්කනය මත පදනම් වුන ක්‍රීඩාව යන අර්ථය ඇති ”සුදොකු ” යන්නෙහි ජපන් යෙදුම ”සුජීවා දකුෂින් නි කහිරු ” යන්නයි. මෙහි අර්ථය වන්නේ සංඛ්‍යා  හුදෙකලා වීම බැව් කියැවෙනවා.

අකුරු යොදා ගෙන සිදු කරන Scrabble ක්‍රීඩාවෙන් දරුවාට ඉතා හසුරු ලෙසින් වචන පිළියෙළ කිරීමේ හැකියාව ලැබෙනවා. එක් අතකින් මෙය ක්‍රීඩාවක් වුනත් තවත් අතකින් වචන පිළිබඳව දැණුම සහ ව්‍යායාමක් ලබා ගැනීමට අවස්ථාවක්.

හරස්පද ප්‍රහෙලිකා ඔබට නිර්මානය කරන්නත් පුලුවනි.

පුංචි ඔබට හැකියාව තිබෙනවා.පැටියාගේ වයසට, මනසට ගැලපෙන හරස්පද ප්‍රහෙලිකා ඔබටත් නිර්මානය කරන්න පුලුවනි. ඒ වෙනුවෙන් විශාල කාලයක් අවශ්‍ය නැහැ.පුංචි මනසට ගැලපෙන විදිහට පුංචි හරස්පද කීපයක් හරහට සහ පහළට ගලපන්න දෙමව්පියන් විදිහට
ඩිමෙන්ෂියාවටත් හොඳ විසදුමක්..

වයසත් සමග ඇති වෙන ඩිමෙන්ෂියා රෝග තත්වයට ප්‍රහෙලිකා විසඳීම මගින් සහනයක් ලබා ගන්න පුලුවනි. නොටින්හැම් සරසවියේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙනී ගියේ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන් අතරින් විටමින් ලබා දුන් පුද්ගලයන්ට වඩා හරස්පද සහ සුදොකු ක්‍රිඩා කිරීමට යොදා ගත් පුද්ගලයින්ගේ මානසික මට්ටම සතුටුදායක තත්වයකින් පැවැති බවයි.ඒ නිසා පර්යේෂණවලින් පවා පෙනී ගොස් තිබෙන අන්දමට මෙවැනි මානසික ව්‍යායාම නිසා වියපත්වීම සමග ඇති වෙන ඩිමෙන්ෂියා සහ අල්සයිමර් වැනි රෝගවලටත් යම් ආකාරයක සහනශීලී විසඳුමක් ලැබෙන බවයි.

එහෙමනම් පුංචි පැටියන්ට සෙලල්ම් බඩු තෝරන විට පුංචි හිතට හතුට වගේම පුංචි මොළයටත් ව්‍යායාමයක් ලැබෙන ආකාරයේ ප්‍රයෝජනවත් දෙයක් තෝරා ගැනීම වැදගත් නේද…?

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article