- Advertisement -

බබා ලැබෙන්න ආවාම අම්මා කෙනෙක් ඒකට සූදානම් වෙන්නේ කොහොමද?

-

සෙනෙහසේ කිරුළු පැළදි සෑම කාන්තාවකගේම සිහිනය තම කුස තුල දරුවකු පිළිසිඳ ගැනීමයි. මෙය ඇත්තටම සොඳුරු අත්දැකීමක් ඒ එක්කම තිගැස්ම, පුදුමය, බිය, ආදරණීය බව වගේම තරමක හුදෙකලා බවකුත් හිතට ගෙන එනවා. ඒ ජීවිතයට අත්දකින පළමු අත්දැකීම ඔබට දැනෙන හැටි. 

තාරුණ්‍යයේ කෙලිදෙලෙන් ගත කළ ඔබට ඔබේ සිතට තරමක බර ගතියක් ගෙන එනවා සමඟම ඔබගේ ආදරණීයයා සමගින් මෙම හැඟුමන් හෙලි කරන්නටත් ඔබට ඇතිවන්නේ නොඉවසිලිමත් බවක්. ඒ සියල්ල දයාබරයාගේ කන වැකුණු සැණින් ඔබ දෙපලට ලැබෙනා දැනෙනා ආදරයේ නිරාමිස වූ සුවය, මතකයට නඟා ගත හැකි නේද මොහොතකට?

- Advertisement -

එහෙම නම්, ඔව් ඔබ දැන් අම්මා කෙනෙක්, මේ මොහොතේ පටන් තනිව හිතන්නට අපහසුයි. ඔව් හැම දෙයක්ම, එකම ශරීරයක් තුල ජීව දෙකක්. එහෙම ජීවිත දෙකක ක්‍රියාකාරීත්ව සිතුම්, පැතුම් මේ සියල්ලට සූදානම් වීමට ඔබට සිදුවේවී. 

ඉතින් මේ කටයුත්තේදී ඔබට සිදු වේවී කායික අපහසුතා, මානසිකව ඇති වන අපහසුතා සාමාජීය වශයෙන් සිදු වන අපහසුතා සියල්ල ජයගැනීමට. එයටයි ඔබ සූදානම් විය යුත්තේ. 

පිලිසිඳ ගත් මොහොතේ සිටම ශරීරය තුල ඇති වන හෝමෝන විපර්යාස හේතුවෙන් ඔබට සාමාන්‍ය දිනයන් වලදීට වඩා වෙනස් ලෙසින් හැඟීම් දැනීම් ඇති වේවී. ඒ මේ බව තහවුරු කරන්නට වගේම කුස තුල ඉන්න පුංචි පැටියට ඕන කරන සියළුම කායික, මානසික පෝෂණයන් ලබාගන්න අවශ්‍ය විධියට ඔබව වෙනස් කරන්න. ඒ නිසා තමයි ඔබට කටට කෙල උනන්නට පටන් ගන්නේ. ඒ වගේම වමනය, ඔක්කාරය වගේ සිදුවීම්. කොලපාට ඇඹුල් ගෙඩියක් එහෙමත් නැතිනම් පේර, වෙරළු, ජම්බු වගේ ඇඹුල් රසය ඇති දේවල්. 

මේ මොකක්ද? ඔබ හඳුන ගන්න. දරුවා සම්පූර්ණයෙන්ම පරපෝෂිතයි. ඒ නිසා එයාට ඒවයේ අවශ්‍යතාව වැඩිපුර පෙන්නන්න පුළුවන් ක්‍රමය තමයි ඔබේ සිතට මේ දැනෙන්නේ. මුල් මාස 3 දී සිදුවන්නේ දරුවගේ අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන් සෑදීම. ඒ වෙග්ම ඒ ඉන්‍ද්‍රියයන් සියල්ලගේ සමායෝජනය සිදු කරන ස්නායු පද්ධතිය සැකසීම. ඉතින් මේ කාර්යයට වැඩිපුරම බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙන්නේ ෆෝලික් අම්ලය හා ඛනිජ ලවණ විටමින් වර්ග වලට. ඒ හින්ද තමයි ඒව අඩංගු දේ වලට ඔබව වැඩිපුර ආස කරවන්නේ. ඒක හින්ද ඉතින්, වරදක් නැහැනේ ඔබ මේ දේ වලට ආස කලාට. ඒක ඔබේ දරුවගේ වර්ධනයට නිරෝගීභාවයටයි තියන එකම මාර්ගය. ඒ හින්ද ඔබට සිදු වෙනව මේ වගේ ආහාර වර්ග ආහාරයට ගන්න. 

ඒවගේ තමයි හෝමෝන ක්‍රියාවලි නිසා කටට කෙල උනනව නිතරම. මේ නිසා ඔබට වමනය, ඔක්කාරය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබේ ශරීරයෙන් පිටවන ජල ප්‍රමාණය හා ලවණ ප්‍රමාණයට සරිලන තරල ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම කලලය ගර්භාෂය තුල තැන්පත් වුණාම ගර්භාෂයේ පේශීන් හැකිලෙන්න හා එම කලලය තැන්පත් වීම නිසා සිදුවෙන ක්‍රියා හේතුවෙන් බඩේ කොරය කොන්දේ කැක්කුම ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා දැවිල්ල වැනි අපහසුතා ඇතිවෙන හින්දා, නිතරම දියර ආහාර වැඩිපුර ගන්නම ඕන. ඉතින් මේ සඳහා හොඳම විසඳුම ජලය පානය කිරීම, වතුර බොන්නත් අපහසු නම් ඔබට වතුරේ රස, පාට, සුවඳ වෙනස් කරල ගන්න පහසු විදියකට සකසා ගන්න වේවී. ඒ සඳහා බෙලි මල්, රණවරා මල්, පොකුරු වඳමල්, කැඳ වර්ග, සුප් වර්ග, පළතුරු යුෂ එකතු කිරීම ආදී ලෙසින් ඔබට ගන්නා වතුර ප්‍රමාණය වැඩි කරන්න ක්‍රමවේද හදාගන්න වේවී. 

ඒ එක්කම ඇති වන කම්මැලිකම හෝ ප්‍රබෝධය, නොරිස්සුම් බව, තනිකම සියල්ල බෙදාගන්න සහකරු සමඟ. එවිට ඔබට හැකියි මේ සිතුවිලි බෙදාගැනීම තුලින් සහනයක් ලබාගන්න. ඒ සමඟ පවුලේ, සමාජයේ අවධානය යොමු වේවී ඔබ වෙතට. එය ඔබට තවදුරටත් ඔබේ ශක්තියට හේතුවක් කරගන්න. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ යහපත් ආකල්ප රැකවරණය දරුවා සඳහාද ආරක්‍ෂාවක් හෙයින් පවුල තුල සමාජය තුල ඔබට සුරක්‍ෂිතභාවයක් හිමි වේවී. 

මාස 3 පසු වන විට දරුවාගේ ඉන්‍ද්‍රියයන් සෑදී අවසන්. මේ වන විට සිදුවන්නේ එම ඉන්‍ද්‍රියයන් වර්ධනය වී සවි වීමයි. මේ නිසා දරුවා උස් මහත් වනවා සේම ඔහුට ඉඩ හසර ලැබෙන සේ ඔබේ ගර්භාෂයේ බිත්තිද ඇදීමට ලක් වේ. එසේම දරුවා වැඩෙන විට මවගේ විශාල වන උදරය දරාගෙන සිටීමටද මවට සිදුවේ. එසේම ඒ සමඟම ඇතිවන කොන්දේ වේදනාවක්ද මවට දැනෙන අපහසුතාවේ මේ සඳහා ඔබ නිවැරදි ඉරියව් භාවිත කිරීම වැදගත්. එසේම දරුවා අතපය චලනය කරන හෙයින් ඔබට උදරයට යම් අපහසුවක් මෙන්ම සෙනෙහස මුසු වූ ආදරණීය හැඟීමක් ඇති වන්නටත් පුළුවන්. එසේම ක්‍රමයෙන් විශාල වන උදරය නිසා නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීමත් පාද වේදනා ඇති වීමත් විය හැකියි. මේවා ඔබට ඉවසා ගැනීමට සිදුවනවා සේම මෙතෙක් ඇඳි ඇදුම් ඇඳීමද අපහසු වේ. එසේ හෙයින් ඇඟට තද නොවන සේ ලිහිල් පහසු ඇඳුම් සකසා ගැනීමටද ඔබට සිදු වේ. 

මේ වන විට දරුවාගේ වර්ධනය ශීග්‍රව සිදුවන හෙයින් පෝෂණය සම්බන්ධවද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. දරුවාගේ වර්ධනයටද අවැසි වනසේ පෝෂ්‍යදායී ආහාර වේල් ලබාගැනීමටද ඔබ උනන්දු විය යුතුයි. උදරය විශාල වීමෙන් ආමාශය මත ඇති වන තෙරපුම නිසා ඔබට වරකට ගත හැකි ආහාර ප්‍රමාණය අඩු වන හෙයින් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර පොඩි ප්‍රමාණ වලින් වැඩි වේල් ගණනකින් හෝ ලබාගැනීමට ඔබට සිදුවෙනවා. එසේ හෙයින් ඔබගේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. 

 

සෑම ආහාර වේලකම

  • වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වීම 
  • විටමින් හා ලවණ (ස්නායු සමායෝජන කටයුතු හා ආහාර අවශෝෂණය පහසු කිරීමට) 
  • යකඩ (ශරීර ගත ලේ ප්‍රමාණය ප්‍රමාණවත් වීමට) 
  • කැල්සියම් (අස්ථි හා පේශි ශක්තිමත් කිරීමට)

මේ ආදී ලෙසින් කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ප්‍රභවයට අමතරව ලබාගත යුතු වනවා. මේ සඳහා ඔබගේ ආහාරය

  • බත්/ධාන්‍යමය ආහාරයක් – ශක්තිය සැපයීමට
  • ඇට වර්ගයක් – පරිප්පු, කව්පි, කඩල, මෑ, මුං ඇට 
  • සත්ව ආහාරයක් (මස්, මාළු, බිත්තර, කරවල)
  • එළවළු – විටමින් හා ඛනිජ ලවණ
  • පලා වර්ග – විටමින් හා ඛනිජ ලවණ
  • පලතුරු – විටමින් හා ඛනිජ ලවණ

එමෙන්ම ආහාරයේ අඩංගු කෙඳි ප්‍රමාණයද ආහාර ජීර්ණ ක්‍රියාවලියට මෙන්ම අවශෝෂණය ක්‍රියාවලිය නිසි පරිදි සිදු වීමට මෙන්ම බහිස්‍රාවීය කටයුතු සඳහා ද වැදගත් මෙහෙවරක් සපයනු ලබනවා. එසේ හෙයින් මෙසේ සියළු පෝෂක කොටස් පිළිබඳව සැලකිලිමත් වී ආහාර වේල් සකසා ගැනීම කළ යුතු වෙනවා. 

මවගේ හැඟීම් දැනීම්, සතුට, ප්‍රීතිය, ආදරය, සෙනෙහස, වේදනාව, කෝපය හෝ ක්‍රෝධය, වෛරය ඒ ලෙසින්ම දරුවාටද දැනෙන හෙයින් මවගේ මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත්. මවක විසින් විඳන හෝ විඳවන ලෙසින් වන පරස්පර හැඟීම් හේතු කොට ගෙන දරුවාද ඒවාට අනුගත විය හැකි හෙයින් සෑම විටම සහනදායී සිතුවිලි වලින් පිරිපුන් මවක් වීමට ඔබ උනන්දු විය යුතුයි. 

ලද දෙයින් තුටු වීමටත් ඉවසීම, කරුණාව ප්‍රගුණ කරමින් ආගම ධර්මයට අනුව ජීවත් වීම දරුවාටද යහපත් වූ ලොවක් උදා කරයි. මව්කුස තුලදී කයින් හැදෙනවා පමණක් නොවී ඇසීම, දැනීම ආදී ඉන්‍ද්‍රිය ක්‍රියාකාරීත්වයද ඇති වන හෙයින් ඒ සඳහා වන යහපත් ක්‍රියාවලීන් දරුවා සමඟ බෙදා හදා ගැනීමද සෞන්දර්ය රසය දනවන විනෝදාස්වාදයද වැදගත් මංපෙතක් වන හෙයින් කුස සිටින දරුවා සමඟ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් වේ නම් ඔවුන්ගේද ආදරණීය වචන හැඟීම් බෙදාහදා ගැනීම කළ යුතුයි. 

 

ඉගෙනීමේ ආරම්භක ක්‍රියාවලි මව් කුස තුලදීම සිදුවන හෙයින් ඊට අවශ්‍ය පසුබිම ගොඩනැඟීම වැදගත් වෙනවා. 

දරුවා කුස පිළිසිඳි දිනයේ පටන් එයාගේ වැඩිම පිළිබඳව දැනුවත් වීමත්, ඒ සමඟ සිදුවන ක්‍රියාවලි හරහා ඇති වන අපහසුතා/අමාරුකම් හඳුනා ගැනීමත් ඒවා සඳහා පහසු ලෙසින් සූදානම් වීමත් කළ යුතුම දෙයක්. ඒ වගේම මේ කාලය තුල ඔබට ඇති විය හැකි වෙනත් අවදානම් තත්ත්ව පිළිබඳවද ඔබ දැන සිටීම වැදගත්. ඒ අතර අධික රුධිර පීඩනය ඇති වීම, ලේ වල සීනි මට්ටම වැඩි වීම වගේ තත්ත්ව ඒ වගේම ලේ අඩුකම එහෙමත් නැත්නම් නීරක්තිය ඇති වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබ ගර්භනී බව දැනගත් විගස ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය දැනුවත් කර ලියාපදංචි වීමත් ඇගේ උපදෙස් මත අවශ්‍ය පරිදි සායන සඳහා සහභාගී වීමත්, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමාගේ අවවාද අනුව විශේෂඥ වෛද්‍ය සායනයට සහභාගි වීමත් ඉතාම වැදගත්.

ඔබට ඇති විය හැකි අවදානම් තත්ත්ව සඳහා මුහුණදෙන්නේ කෙසේද?

ඒවා පාලනය සඳහා කල යුතු දේ මෙන්ම අවශ්‍ය ඖෂධ ලබාදීම, ආහාර පාලනය හෝ අවශ්‍ය නම් රෝහල් ගතව අත්‍යවශ්‍ය පරීක්‍ෂණ වලට භාජනය වෙමින් වෛද්‍ය නිරීක්‍ෂණ, නිගමන මතින් ඔබටත් ඔබගේ දරුවාටත් අවශ්‍ය රැකවරණය ලබාගන්න පුළුවන්. සායනික පරීක්‍ෂාවන් වගේම සායන මඟින් ලබාදෙන ඖෂධ, විටමින්, අතිරේක ආහාර (ත්‍රිපෝෂ) මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන සැසි මඟින් ඔබට ලැබෙන්නේන් කිවනොහැකි අස්වැසිල්ලක් ලබන්නටත් මේ සියල්ල හේතුවක් වෙනවා. 

ඒ විතරක් නෙවෙයි දරුවා ලැබෙන්න යන රෝහල ඒ සඳහා සූදානම එනම් භාවිතා කරන ප්‍රවාහන ක්‍රමය, ඒ සඳහා වියදම වගේම ගත වන කාලය පිළිබඳවත් අවධානය යොමු කොට පූර්ව සූදානම ඉතාම වැදගත්. 

මේ සියල්ල සූදානම් කරන අතරතුර ඔබ විසින් වෙනස් වන ඔබේ සිරුරට සරිලන සේ ඇඳුම් සකස් කරනවා මෙන්ම දරුවා ලැබීමට රෝහල් ගත වීමට මෙන්ම දරුවා සමඟ නිවසට එන විට දරුවාට අවශ්‍ය කරන ඇඳුම් පැළදුම් සකස් කිරීමත් ඉතා වැදගත්. ඒ එක්කම සංවර්ධනය වන පංච ඉන්‍ද්‍රියයන් උත්තේජනය සඳහා අවකාශ සැලසෙන පරිදි සිඟිත්තාගේ ඇඳුම් පැළඳුම්, කාමරය, බිත්ති මේ ආදී ලෙසින් ඔබට සූදානමක් අත්‍යවශ්‍ය වන්නේ ඉගෙනීමේ ක්‍රියාවලියට මේ දරුවා දැන් සිටම අවතීර්ණ වී ඇති නිසයි. 

ඔබ ගර්භනියක්, ඔව් මේ නිසා ඔබට ඔබගේ දරුවාට නිරෝගී සුව දිවියකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගැනීම ඔබ විසින් කරනා විට ඉහත සියළු අවස්ථාවන් පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතුවා මෙන්ම රෝහල් ගත වන විට නිවසේ පරිසරය පිළිබඳව අවශ්‍ය කළමණාකරණයන්, මහත් බැරැරුම් කටයුත්තක්. නිවසේ සිටින අයඅගේ ආහාර, ඖෂධ, සනීපාරක්‍ෂක කටයුතු වගේම වැඩිමහල් දරුවන්ගේ අධ්‍යාපනය, ආහාර, රැකවරණය ආදී ලෙසින් කලමණාකරණය කිරීමත් මෙහිම එක් අංගයක්. 

මේ ලෙසින් ගර්භනී වීම, ගර්භනී කාලය පුරාවට ඔබට අත්විඳින්නට ලැබෙන කායික මානසික සාමාජීය වෙනස්කම් සඳහා සූදානම් වීම, නිවසේ පරිසරය, රැකියා ස්ථානයේ පරිසරය ආදී වූ සියළු ස්ථානයන්ට ඉහත විපර්යාසයන් සමඟ එක්වීම කිරීම සඳහා ඔබ විසින් සාදාගන්නා පූර්ව සූදානම සියළු අභියෝග ජයගන්නට ඔබට ලැබෙන ශක්තියයි. අභිමානයයි. 

ඒ අභිමානය, ආත්ම ශක්තිය පෙර දැරි කොටගෙන ආත්ම විශ්වාසය ඔබට ඔබේ ගර්භනී සමයටත් ඉන් පසු එළඹෙන අළුත් සිඟිත්තාගේ කටයුතු කිරීමටත් ඇති හැකියාව අත් වැලක්ම වේවී. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article