චිත්තවේග යනු මනසේ සමබරතාවය නැති වී ගොස් අකූල ස්වභාවයක් ඇතිවීමකි. යම් උත්තේජනයක් නිසා ඇති විය හැකි සංවිධානයෙන් තොර බලවත් ප්‍රතිචාරය චිත්තවේග ලෙස සරලව අර්ථ දැක්විය (මූර්ති, 2009) හැක. බිය, නිතර ඇතිවන කෝපය, කාංසාව, විශාදය, උදාසීනත්වය, ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා චිත්තවේග තත්ත්වයට නිදසුන්ය. ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ මනෝ විද්‍යා ශබ්දකෝෂය චිත්තවේග පිළිබඳව අර්ථ දක්වා ඇත්තේ යම් සිදුවීමකට හෝ අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පුද්ගලයකු තුළ සුවිශේෂ වශයෙන් නැගී එන ජීව විද්‍යාත්මකවූත්, හැඟීම් හා ප්‍රජානන ක්‍රියාවලියෙහිත්, චර්යාවෙහිත් සිදුවන වෙනස්වීමේ සංකීර්ණ රටාව ලෙසයි. පුද්ගලයන් තුළ පහළවන අවශ්‍යතා සන්තෘප්තියට පත් නොවීම හෝ අඩුවෙන් තෘප්තියට පත්වීම චිත්තවේග කැළඹීමකට හේතු විය හැකි බව සලකනු ලැබේ. චිත්තවේගයට සම්බන්ධ වේදනය ප්‍රසන්න වනුයේ අවශ්‍යතාවය තෘප්තිමත් වීමෙනි. එසේ නොවීම අප්‍රසන්න වේදනයකට හේතු වේ.
යොවුන් මොළයේ සියල්ල ඉන්ධනයි. තිරිංග නැත. සුක්කානම්, රෝද නැත (Bell & McBrid,2010)
යොවුන් අවධිය තුල නිසඟ ගුණයක් ලෙස ඇතිවන චිත්තවේගිය අසමබරතාවය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හැසිරීමේ වෙනස්කම් සඳහා බලපානු ලබන කරුණු රැසක් මෑතකාලීන ස්නායු ජිව විද්‍යාක්මක පර්යේෂණ ක්ෂේත්‍රය මඟින් අනාවරණය කරගනු ලැබිය.
යොවුන් වියේ පසුවන දරුවන්ගේත් යොවුන් වියේ දරුවන්ගේ ගැටලු වලින් පීඩා විදින දෙමාව්පියන්ගේත් දරුවන් සමඟ කටයුතු කරන ගුරුවරුන්ගේත් අනු දැනුම සඳහා යෞවන චිත්තවේග හා හැසිරීම් පිළිබඳව පර්යේෂණාත්මක අනාවරණයක් ගෙන ඒම මේ ලිපියේ අරමුණයි.
“”අපි කියන හැමදේම වැරදියටමයි පේන්නේ””
“”එයා වෙනුවෙන් අපි කරන කිසිදේක හොදක් පේනනේ නැහැ””
“”පුංචි දේකටත් එකට එක කියනවා කිසි දෙයක් පිළිගන්නේ නැහැ””
“”හරිම හිතුවක්කාරයි තමන්ට ඕන දේමයි කරගන්ඩ බලන්නේ””
“”ඉක්මනයටම කේන්ති යනවා””
“”කිසිදෙයක් අපිට කියන්නෙ නැහැ අදහසක් බෙදා ගන්නෙ නැහැ””
“”මුළු දවසම ෆෝන් එකේ තනියෙන්මයි ඉන්න හදන්නේ””
මේ වයස අවුරුදු 13 ත් 18 ත් අතර කාලය තුල පසු වන තම දුව/පුතා පිළිබඳව මව්පියන් නිතර නගන චෝදනා කිහිපයක්. මෙවැනි කතා පිටුපස ඇති ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක යථාර්තයන් පෙන්වා දී යොවුන් දරුවා නව මුහුණුවරකින් පිළිගැනීමටත් ඔවුන්ගේ ශක්ති ප්‍රවාහයන් නිසි කළමනාකරනයකින් භාවිත කිරිමට ඔවුන්ට උපකාර කිරිමටත් අවශ්‍ය අත්වැලක් සැපයීම වැඩිහිටි අපගේ වගකීමයි.
අන්න ඒ නිසාම දෙමාපිය ගුරුවර වැඩිහිටි පිරිසගේ දැනුවත් බව උදෙසා යොවුන් චිත්තවේග කෙරෙහි මූලිකව බලපෑම් කරනු ලබන මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන පරිනාමීය වෙනස්කම් මත ඇතිවන චිත්තවේගීය අසමබරතාවය හා හෝමෝන පද්ධතියේ වෙනස්කම් සහ යොවුන් චිත්තවේග යන ප්‍රධාන ක්ෂෙත්‍ර දෙක ඔස්සේ කරුණු සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වේ.
යොවුන් මොළයේ සුවිශේෂ කලාප තුල සිදුවන පරිණාමීය වෙනස්කම් මත ඇතිවන චිත්තවේගික ගැටලු
යෞවන චිත්තවේගික චර්යාවන් සඳහා වන හේතු ගවේෂණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කිරීම කෙරෙහි විද්‍යාඥයින්ගේ උනන්දුවක් මෑත යුගයේ කැපී පෙනුණි. මේ සඳහා නවීන ස්නායු මුර්තන ශිල්ප ක්‍රම (new neuroimaging Techniques), MRI ස්කෑන් මෙන්ම ඊට අමතරව fMRI (functioning magnetic resonance imaging) භාවිත කිරීම තුලින් වඩාත් විශ්වසනීය අනාවරණ රැසක් ලබා ගැනීමට හැකිව ඇත. යම් ක්‍රියාවලියක් තුල පුද්ගලයා නිරතව සිටීමට ඉඩ සළස්වා පංචේන්ද්‍රියන් තුලින් ලබන සංවේදනා වලට අනුව මොළයේ සුවිශේෂ කලාප තුල ස්නායු පරිපත උත්තේජනය වන ආකාරය නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදි පවති. මේ ආකාරයට නිරීක්ෂණය කිරීමේදී මොළයේ පරිනත භාවයට පත්වීමේ ක්‍රියාවලිය හා යොවුන් වියේ චිත්තවේගික හැසිරීම් අතර ඇති සබඳතාවය පිළිබඳව කරුණු අනාවරණය විය. ළමා සහ යොවුන් අවධින් තුල මොළය කලාප තුනක් මූලික කෘත්‍යන් තුනක් සිදු කිරීම වෙනුවෙන් ක්‍රමයෙන් පරිනතියට පත් වන ආකාරය විශේෂඥවරුන් විසින් පෙන්වා දෙයි. එසේ පරිණතියට පත්වීමේ අනුපිළිවළ නම්,
- මූලික කායික කෘත්‍යයන් සඳහා වන බලප්‍රදේශය (Physiological center)
- චිත්තවේගාත්මක බලප්‍රදේශය (Emotional center)
- ප්‍රජානනය සඳහා වන බල ප්‍රදේශය (Cognitive center)
සංවර්ධන අවධීන් වලට සාපේක්ෂව මොළය පරිණත භාවයට පත්වන්නේ පහළ සිට (අනුමස්තිෂ්යේ සිට) ඉහළට (පූර්ව ලලාටඛණ්ඩිව) හා ඊට සාපේක්ෂව මොළයේ අභ්‍යන්තරයේ හෙවත් ඇතුලතින් පිටතට (ලිම්බික් පද්ධතියේ සිට මස්තිෂ්ක කලාප දක්වා) විහිදී යන ලෙසටය.
පළමුවෙන්ම දරුවකුගේ ජීවිකාවේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක වන චලනයන් හෘද ස්පන්දනය මාංශ පේශීන් සම්බන්ධීකරණය, සමබරතාවය වැනි කායික කෘත්‍යන් සඳහා වගකියනු ලබන අනුමස්තිෂ්ක කලාපය ප්‍රථමයෙන් පරිණතියට පත් වන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දෙයි.
දෙවනුවට වර්ධනය වන්නේ චිත්තවේගාත්මක බල ප්‍රදේශයයි. එනම් මොළයේ අභ්‍යාන්තරයේ මැද කලාපය වන ලිම්බික් පද්ධතිය (Lymbic system) යි. මෙය තැලමසය, හයිපොතැලමසය, ඇමිග්ඩලා, හිපොකැම්පසය යන ඉන්ද්‍රීයන්ගෙන් සමන්විත වන අතර ච්ත්තවේග(බිය, දුක, කෝපය, කලහකාරීත්වය, මතකය, අභිප්‍රේරණය, උද්දීපපයන්, පිබිදීම්, බලගැන්වීම්) වැනි වැදගත් මානසික කෘත්‍යන් රැසක් සිදු කරනු ලබන කලාපය යි.
තෙවනුව පරිණතභාවයට පත් වන කලාපය වන්නේ පූර්ව ලලාට කණ්ඩිකාවයි. මෙය තර්කානුකූල සිතීම, හේතුවාදී චින්තනය, ඉදිරි සැළසුම් කිරීම්, අවේග පාලනය කිරීම, තීරණ ගැනිම් වැනි වැදගත් ප්‍රජානන (බුද්ධිමය) කෘත්‍යන් රැසක් සිදුකිරීම කෙරෙහි බලපානු ලබන කලාපයයි. වයස අවුරුදු 18 වන තුරුත් දරුවකුගේ පූර්ව ලලාට කණ්ඩිකාව නිසි ලෙස සංවර්ධනය වී නොමැත. මෙම කලාපය පූර්ණ වශයෙන් සංවර්ධනය වී අවසන් වන්නේ වයස අවුරුදු 25 වන විට බව මොළය පිළිබඳ විශේෂඥවරුන්ගේ අදහසයි.
යෞවනයාගේ ගැටලුකාරී හැසිරීම් හා හැඟීම්බර මනෝගති සඳහා හේතු
ඉහත සඳහන් ආකාරයට යොවුන් වියට පත් වූ දරුවාගේ චිත්තවේගාත්මක කලාපය මේ වන විට මැනවින් සංවර්ධනය වී ඇතිමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට, තර්කානුකූලව සිතීමට උපකාරීවන බුද්ධි මණ්ඩලය තවමත් පූර්ණ ලෙස සංවර්ධනය වී නොමැත. මේ අනුව ලිම්බික් පද්ධතිය මඟින් බල ගැන්වෙන ඉෂ්ඨ විපාක සඳහා හේතුවන අභියෝගාත්මක ක්‍රියාවන් සිදු කිරීමට යොවුන් දරුවා තුල නිසඟ පෙලඹීමක් ඇති බවත් එවැනි ක්‍රියාවන්ගේ අනිසි විපාක තර්කානුකූලව වටහා ගැනීමට ඇති හැකියාව අවම බවත් පෙන්වා දෙයි.
දෙබෝරා යෝගා (Deborah Yoga,2013) විසින් වයස අවුරුදු 11 – 17 වියේ පසු වන යෞවනයින් හා වැඩිහිටියන් චිත්තවේගික සංසන්දනාත්මකව මැන බැලීම වෙනුවෙන් පර්යේෂණය සිදුකරන ලදි. විවිධ හැඟීම් සහිත පින්තූර පෙන්වමින් ඒවා නරඹන අතර තුර ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව ප්‍රශ්න අසමින් මොළයේ ක්‍රියාකාරී වන කලාප fMRI ස්කෑන් ඔස්සේ නිරීක්ෂණය සිදු කිරීමේදී, යෞවනයින්ගේ පූර්ව ලලාට කණ්ඩිකා කලාපය වැඩිහිටියන්ට වඩා අඩුවෙන් ක්‍රියාකාරී වන ආකාරයත් මොළයේ පහළ කලාපය වැඩිහිටියන්ට වඩා වැඩියෙන් ක්‍රියාකාරීවන වන ආකාරයත් නිරීක්ෂණය විය. මේ අනුව අන් අයගේ චිත්තවේග පිළිබඳව හඳුනා ගැනීමේදි දුරවබෝධ අර්ථකතන සැපයීමේ නැඹුරුතාවයක් යෞවනයින් තුලින් විද්‍යමාන විය. ඔවුන් තීරණ ගැනීමේදී චිත්තවේගාත්මක භාවමය පාර්ශවය කෙරෙහි වග කියනු ලබන ලිම්බික් පද්ධතිය කෙරෙහි වැඩි යැපීමක් සිදු වන බවත් ප්‍රජානන පාර්ශවය කෙරෙහි බලපානු ලබන පුර්ව ලලාට ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය අවම වීමෙන් තර්කානුකූල සහේතුක තීරණ ගැනීමේ හැකියාව අවම බවත් නිගමනය විය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක
Dr. Kumudu Ekanayaka
Creative Psychotherapist and Psychological Counselor