උපන් දා සිට තම තුරුලේ හුරතල් වෙමින් සිටි පුංචි පැටව් දවසින් දවස ලොකු වෙද්දි කොයි අම්මා තාත්තාගෙත් හිත ඇතුළේ පුංචි දුකක් ඇති වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. මෙහෙම වැඩිහිටි වෙන අපේ දරුවෝ වෙනදා වගේම අපේ තුරුල්ලේ ඉන්නේ නැහැ. ඒක දුකක් වුණත් දරුවෙකුගේ ජීවිතයේ එක් එක් අවධීන් ගැන අවබෝධයෙන් වැඩිහිටි අප ක්‍රියාත්මක වීම බොහොම වැදගත්. දෙමාපියන් වන අපි ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු අවධියක් විදියට නව යොවුන් විය හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසාම නව යොවුන් විය පිළිබඳව අවබෝධයක් වැඩිහිටි අප සතුව තිබිය යුතුමයි.
ළමා මනෝ විශේෂඥවරුන් විසින් පෙන්වා දෙන පරිදි වයස අවුරුදු 10 ත් අවුැරදු 21 දක්වා දිවෙන යොවුන් විය අවධීන් තුනක් යටතේ සාකච්ඡා කළ හැක. හර්ලොක් දක්වන ආකාරයට යොවුන් දරුවෙකු පහත දක්වන අවධීන් තුළ පරිණතිය කරා ගමන් කරයි (Hurlock, 1968).
- වැඩිවිය පැමිණීම හෙවත් මල්වර වීම (අවුරුදු 10 – 14 දක්වා)
- සංක්‍රාන්තික අවධිය (අවුරුදු 15 – 16)
- පශ්චාත් නව යොවුන් විය (අවුරුදු 16 – 21)
නව යොවුන් විය අවුරුදු 10 -14 ත් අතර කාලයෙන් ඇරඹෙන බවත්, එය අවුරුදු 16 – 20 ත් අතර පශ්චාත් යොවුන් විය දක්වා විහිදෙන බවත් තවත් පර්යේෂකයින් (Dixon,J, et al., 2015) පෙන්වා දී ඇත. ළමාවියේ සිට පැවත එන මනෝ චර්යා ලක්‍ෂණ ද යොවුන්වියේදී ද දැකිය හැකි අතර, යෞවනයා තුළ ළමා සහ වැඩිහිටි ආදී වශයෙන් ප්‍රතිවිරුද්ධ මනෝ විද්‍යාත්මක ලක්‍ෂණ විද්‍යාමාන වේ (අබේපාල, 2010).
යොවුන් වියේ වයස් පරතරය පිළිබඳව විවිධ විද්‍යාඥ ගුරුකුල අතර සුළු වෙනස් කම් පැවතියද යෞවන ගති ලක්ෂණ පිළිබඳව ඉදිරි පත් කරන ලද අදහස් සමානතාවයකින් යුතු වේ.
ඇනා ෆ්‍රොයිඩ් ට අනුව යොවුන් විය හඳුන්වන්නේ කුණාටුවලින් ගහන වූ සමයක් ලෙසට ය. තවද යොවුන් විය චිත්තවේගවල යුධ පිටියක් යනාදී ලෙස කර ඇති හැඳින්වීම්වලින් පවා පෙන්වන්නේ යොවුන් වියේ මානසික ව්‍යාකූලත්වයන්ගේ ස්වභාවයයි.
නව යොවුන් විය පිළිබඳ සංකල්පය සරල ජීව විද්‍යාත්මක සංසිද්ධියකට වඩා සංකීර්ණ මනෝ සමාජීය සංසිද්ධියක් වශයෙන් සැලකිය හැකිය. නිවසේ, පාසලේ හෝ සමාජයේ ගත කරන නව යෞවනයා පිළිබඳ සංස්කෘතියට සපයනු ලබන අර්ථකථන බහුවිධ ස්වරූපයක් දරයි.
“කිසිවෙකුටත් අයිති නැති භූමියක්, කුණාටුවලින් ගහන වු සමයක්, චිත්තවේගවල යුධ පිටියක්” ආදී වශයෙන් විවිධ අර්ථකථන සපයන නමුත් වේල්සි විසින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් නව යොවුන් සමය අර්බුදකාරී, දෙමාපියන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ පෙළඹීමක් සහිත වකවානුවක් ලෙස සැලකීම සාවද්‍ය බව පළ කළේය. (අබේපාල ආර්. 2010, පිටු 81)
චිත්තවේගීය, ශාරීරික ප්‍රජානන යන සියලු අංශයන්හි සිදුවන සීඝ්‍ර වර්ධනය හේතුවෙන් යෞවනයා ගැටලු රැසකට එකවිට මුහුණදීමට සිදු වෙන ආකාරය හර්ලොක් විසින් පෙන්වා දී ඇත. කායික ගැටලු පාසල හා විෂයාශ්‍රිත ගැටලු වෘත්තීය අපේක්ෂණ පිළිබඳ ගැටලු මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳ ගැටලු යන සියල්ල මීට අයත්ය.
නව යොවුන් විය නම් උපත ලද මානව ගති ලක්ෂණයන්ට නව උපතකි. එමගින් නව යෞවනයා තුල කායික, ලිංගික, මනෝ විද්‍යාත්මක හා බුද්ධිමය වෙනස්වීම් සිදුවන බව (Stanly Hall, 1924) පැවසේ. ජීව විද්‍යාත්මක අර්ථයට අනුව ළමාවිය පසුකරමින් වැඩිහිටි වියට සුදුසුකම් ලබන සංක්‍රාන්තික වකවානුවක් වශයෙන් නව යොවුන් විය සැලකිය හැකිය. යෞවනත්වය වේගවත් ලිංගික ක්‍රියාකාරිත්වයක් සඳහා ස්වයං පෙළඹවීම් ඇති කරවන ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පැහැදිලි කෙරේ. එසේම එය කායික ජීව බලයක් හා ප්‍රබෝධයක් ඇති කරවන යුගයක් වන අතර ජීවිතයේ නව පිබිදීමක් සමග වසන්තය අරඹන වකවානුවක් වශයෙන් ද සඳහන් වේ.
17 වන සිය වසේ විලියම් ශේකෂ්පියර් තම වින්ටර් ටේල් කෘතිය තුලින් යෞවනයා පිළිබඳව තම අදහස් තරමක් රළු ලෙස ඉදිරිපත්කර ඇත්තේ මෙසේය.
වයස අවුරුදු 10 ත් 24 ත් අතර සිටින්නවුන් එක්කෝ මේ කාලය පන්න ගත යුතුය, නැතිනම් මේ කාලය පුරා සම්පූර්ණයෙන්ම නිදාගෙන ගෙවා දැමිය යුතුය. විරුද්ධ ලිංගිකයාව කෙසේ හෝ නතුකර ගැනිමට මාන බලන ඔවුන් ගුටිකෙළ ගැනීම් හොරකම් කිරීම් සිදු කරයි. වයස අවුරුදු 19 -22 අතර සිටින අයගේ මොළේ කොලොප්පංය. ඔවුන්ට ඇබ්බැහිකම් වලට වඩා දෙයක් නැත. දඩයමට කැලේ පැන්න උන් සේ ඔවුහු හැසිරෙති’’
යොවුන් විය පිළිබඳව විලියම් ශේක්ෂ්පියර්ගේ දැක්ම මේ ආකාරයට තරමක් රළුවන්නට ඇත්තේ 17 වන සිය වස වන විට යෞවනයා යන පදය හෝ ව්‍යවහාරයට නොපැමිණිම මෙන්ම විද්‍යාත්මක ඇසින් යොවුන් හැසිරිම් සාධාරණිකරණයකට ලක් කළ නොහැකි අවධියක් වීම නිසාම වන්නට ඇත. කෙසේ වෙතත් මහා ගත්කරු ශේක්ස්පියර් යෞවන චිත්තවේගික ගැටලු වල වින්දිතයෙක් බවට පත්ව සිටි බවට නම් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ.
යෞවුන් වියේ නියුරෝන සම්ප්‍රේෂණ සහ හෝමෝන පද්ධතිය තුල විශාල වෙනස්කම් රැසක් සිදුවන අතරම ඒ පිළිබඳව දැනුවත් වීමද ඉතා වැදගත් වේ. යොවුන් වියට පා තැබීමත් සමඟම මොළයේ සුවිශේෂ කලාපයන්ගේ සිදුවන තවත් සුවිශේෂ ක්‍රියාවලියක් වන්නේ නව නියුරෝන නිෂ්පාදනයේ සිදුවන සීඝ්‍ර වර්ධනයයි. මෙසේ තවමත් ගොඩනැගෙමින් පවතින නියුරෝන පරිපත වැරදි තීරණ ගැනීම් හා අතාර්තික සිතුවිලි කෙරෙහි අවධානම් සාධකයක් ලෙස බලපාන බව පෙන්වා දෙයි.
නව නියුරෝන සැකසීමේ ක්‍රියාවලිය ඔස්සේ නියුරෝන ප්‍රගුණනය වීම නව රැහැන් ඇදීම අනුශාෂිකා පෑහීම යන වැදගත් සංරචක ඔස්සේ නියුරෝන ස්වකාර්යයතාවය සිදුවීම යෞවුන් වියේ සිදුවන වැදගත් ක්‍රියාවලියකි. මෙම සංවර්ධන ක්‍රියාවලිය වයස අවුරුදු 25 තෙක් සිදුවන බව පෙන්වා දෙයි. ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා මෙන්ම නව කුසලතා හා හැකියාවන් ස්ථාපිත වීම කෙරෙහි ද මෙය ප්‍රබලම සාධකයක් වේ. යෞවනයා තුල සීඝ්‍ර විකසිත විමක ආරම්භය ලෙස සිදුවන මෙම නව නියුරෝන පරිපත සැකැස්ම විද්‍යායින් හඳුන්වනුයේ නියුරෝන දෙවන රුල්ල ලෙසිණි. මෙම නව නියුරෝන පරිපත සැකැස්ම විශේෂයෙන් පූර්ව ලලාට ඛණ්ඩිකාව ආශ්‍රිතව සිදු වේ. මෙහිදි අනුශාමිකා හා මයලින වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවේ. මෙම දෙවන රුල්ල පාරිසරික උත්ත්ජනයන් මඟින් සකස් වීම ධනාත්මකව මෙන්ම සෘණාත්මකව සිදු වීමේ අවධානම යොවුන්විය තුල සිදු වේ. මෙය පසු කාලින පුරුදු හා ඇබ්බැහිවිම් කෙරෙහි බලපානු ලබයි.
සුභවාදී පාරිසරික උත්තේජනයන් නව කුසලතා හා හැකියාවන් ස්ථාපිත වීම කෙරෙහි බලපාන සේම රුචිඅරුචිකම් කෙරෙහිද බලපානු ලබයි. එමෙන්ම මේ කාලයේ සිදු වන මෙම සීඝ්‍ර නියුරෝන අනුශාශිකා හා උපාංග වර්ධනය මෙන්ම භාවිතයට නොගැනෙන ස්නායු සෛල කප්පාදුපවීම යන සියල්ල ස්නායු සෛල නියාමනය ලෙස හඳුන්වයි. මෙම නියුරෝන නියාමනයට සාපේක්ෂව සිදුවන මයලීන වර්ධනයන් ඔස්සේ ඇති වන නියුරෝන ස්වකාර්යයතා යන මේ සියල්ල සීඝ්‍ර වර්ධනීය තත්ත්වයක පැවතීම අභියෝගාත්මක මෙන්ම අවධානම් තත්ත්වයක් ලෙස ද ස්නායු විශේෂඥයින් විසින් පෙන්වා දෙයි. එනම් නියුරෝන විකෘතිතා ඇති විමේ තත්ත්වය හෙවත් නියුරෝන ටොක්සීන තත්ත්වය ඇතිවීමේ අවධානමයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, නිදන් ගත ආතතින් මෙන්ම සෘණාත්මක භාවයන් සමඟ දීර්ඝ කාලීනව සිටීම වැනි හේතු නිසා ඇති වන අනසි ප්‍රතිවිපාකයක් ලෙස නියුරෝන ටොක්සීනය හෙවත් නියුරෝන පරිපථ විකෘතීන් ඇති විම දැක්විය හැකියි.
නියුරෝටොක්සීන තත්ත්වය සඳහා බලපෑ හැකි වෙනත් සාධක
මෙම තත්ත්වය ඇතිවීමේ අවධානම ඇත්තේ යොවුන් වියේ පමනක්ම නොව පූර්ව හා පසු ප්‍රසව අවදීන් තුල ඇති වන සංකූලතාත් අනවශ්‍ය දේ වෙත නිරාවරණය වීම් නිසාත් අහිතකර පාරසරික තත්වයන් මෙන්ම ආරමය සාධකත් මෙසේ නියුරෝටොක්සීන තත්ත්වය සඳහා බලපායි. මෙසේ ඇතිවන නියුරෝන ටොක්සීන තත්ත්වය යොවුන්වියේ විවිධ මානසික හා බුද්ධිමය හැකියාවන් දුබල විමටත් (ප්‍රජානන විකෘතීන්) විවිධ මානසික රෝගී තත්ත්වයන් මෙන්ම හැසිරිමේ අක්‍රමතා ඇතිවීමටත් බලපායි.
යෞවනයාගේ චිත්තවේග හා හැසිරීමේ ගැටලු කෙරෙහි බලපානු ලබන තවත් ප්‍රබල සාධකයක් ලෙස පෙන්වා දෙනු ලබන්නේ මෙම අවධියේ මොළයේ සුවිශේෂ කලාප වල සිදුවන නියුරෝන සම්පේෂණයන්ගේ වෙනස්වීම්ය. විශේෂයෙන් මෙහිදි ඩොපමින් සෙරටොනින් යන නියුරෝන දෙකත් මෙලටොනින් යන හෝමෝනයත් සුවිශේෂ භූමිකාවක් ඉටුකරනු ලබයි. වැඩිහිටියකුට සාපේක්ෂව මොළයේ අදාල කලාප තුල යෞවනයින්ගේ ඩොපමින් හා සෙරටොනින් ක්‍රියාකාරිත්වය අවම බව පෙන්වා දෙයි. චිත්වේගාත්මක ප්‍රතිචාර සතුට උල්ලාසය ඉෂට විපාක අභිප්‍රෙරණය වැනි මනෝමූලික සාධක රුසක් සඳහා බලපානු ලබන්නේ මොළයේ ලිම්බික් පද්ධතිය ආශ්‍රිතව නිපද වී ක්‍රියා කරනු ලබන ඩොපමින් නියුරෝන සම්ප්‍රේෂණයයි.
විශේෂයෙන් පිරිමින්ගේ මොළයේ මෙම නියුරෝනය සම්ප්‍රෙෂණය අවම බව පැවසෙන අතරම විවිධ ඇබ්බැහිකම් වලට යොමුවීම අභියෝගාත්මක ක්‍රියාවන්ට පෙළඹීම ඩොපමින් අවම විමේ දී එය සපුරා ගැනීම වෙනුවෙන් සිදුවන පෙළඹවීම්ය. තරුණයින්ගේ බොහෝ ආන්තික හැසිරීම් සඳහා මොලයේ ඩොපමින් ඌනතාවය බල පාන බව පෙනේ.
ආවේගශීලි බව, උනන්දුව හිදීයාම, අමතක විමේ ස්වභාවය, නොඉවසිලිමත් බව, චිත්තවේග නියාමනයේ දුබලතා ඩොපමින් ඌනතාවයේ ලක්ෂණ කීපයකි. තවද අනවධානි අධික්‍රියාශීලි ලක්ෂණ සහිත ළමුන්ගේ පූර්ව ලලාට ඛණ්ඩිකාව ආශ්‍රිතව ඩොපමින් ක්‍රියාකාරිත්වය නිරෝගී පුද්ගලයෙකුට සාපේක්ෂව අවම බව පෙන්වා දි ඇත.
සෙරටොනින් මඟින් සුභවාදි බව, සතුට, සැහැල්ලුව, විවේකී බව ලබා දෙන අතර සෙරටොනින් අවම වීම මඟින් කාංසා ගති, මනොභාවයේ කැළඹිම්, ආවේග පාලනයේ දුබලතා ඇති වේ. තවද තරුණියන්ගේ මොළය තුල සෙරටොනින් අවම වීම කෙරෙහි වැඩි බලපෑමක් සිදුකරනු ලබන බව පැවසේ. විශාදි ලක්ෂණ කාන්තාවන් තුල බහුලව පවතින්නේ සෙරටොනින් ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
නව යොවුන් විය මව්පියන් වන ඔබට මෙන්ම නව යොවුන් දරුවන්ටද කෙතරම් අභියෝගාත්මකද යන්න වටහා ගැනීමට දැන් ඔබට අසීරු නොවනු ඇත. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවා වටහා ගනිමින් ඔවුන්ගේ ජීවිතයට පහසුවක් සහයෝගයක් වීම දෙමාපිය වැඩිහිටියන් ලෙස අපි කාගේත් යුතුකමක් වගකීමක් බව අමතක නොකළ යුතුය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක
Dr. Kumudu Ekanayaka
Creative Psychotherapist and Psychological Counselor