අලුත උපන් දරුවෙකුට මනා පෙනීමක්, ශ්‍රවණය හැකියාවක් නැති වුණත් දරුවෙක් කොයි ආකාරයෙන් හෝ ලෝකය ග්‍රහණය කරගන්නවා. දරුවෙකුගේ පළමු සති දෙක තුන අත්හැර සැලකුවහොත් ඒ කාලය වන වන විටත් ඒ දරුවා තම මවගේ කටහඬ හෝ හඳුනා ගන්න දැනීමක් සහිත දරුවෙක්. එදා සිටම ඒ දරුවාත් ලෝකය සමග ගනුදෙනු කරනවා. මේ දරුවන්ට කියවීම කළ නොහැකි වුවත් මවට/පියාට දරුවාට ලස්සන කතාවක් කියවිය හැකිය. කතාන්දරයක් කියවද්දි තේරුම් ගන්නේ නැති වුවත් ඒ වයසේ දරුවෙක් කතාව වටහා නොගත්තට අපේ කටහඩ උස්පහත් වීම, සතුට යන හැගීම් අපේ කටහඬ තියෙන ප්‍රීතිමත් ස්වභාවය, ආස්වාදය ඒ විදිහටම දරුවාට ලබා දිය හැකියි. එය මේ මොහොතේ දරුවාට නොවැටහුණත් යම් කාලයකදී එය දරුවා එය විග්‍රහ කර ගනී.
කෙමෙන් වැඩෙන දරුවෙකුට වැඩිහිටියන් යම් යම් කතාන්දර කියා දෙනවා. ඒ වගේම පොත් කියා දෙනවා. ඕනෑම දරුවෙක් පොත කියවන්නා ලබා දෙන තෘප්තිය ඒ ආකාරයෙන්ම උකහා ගන්නා බව කිව්වොත් එය නිවැරදියි. ටිකෙන් ටික දරුවා තමා ආස කරන පොත් අතින් අල්ලන්න, පීන්තූර අතගාන්න, පුංචි ඇඟිලි වලින් රූප අතට ගන්න උත්සාහ කරන අවස්ථා ඕනෑ තරම් අපි දැක තිබෙනවා. දරුවෙකුට පොත් කියවීම තුළින් ඒ දරුවා බොහොම තෘප්තිමත් වෙනවා. තමන්ගේ අම්මා හෝ තාත්තා තමාව තුරුලු කරගනිමින් ලබා දෙන සෙනෙහස පිරුණු අත්දැකීම දරුවෙකුගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමට වගේම පෞරුෂ වර්ධනයටත් ඉතාම වැදගත් වෙනවා.
අපේ දරුවන් ටිකෙන් ටික වැඩෙත්ම නිවස තුළ කියවීම් පරිසරයක් ඇති කිරීම අපේ වගකීමක්. නිවසේ සාමාජිකයන් වගේම නිවසට යන එන අයත් පොත පත ඇසුරු කරන්නන් වීම ඉතාමත් වැදගත්. නිවසේ පුංචි පොත් අල්මාරියක් එහෙමත් නැත්නම් අපි සරලව කිව්වොත් reading corner එකක් තිබීම, නිවසේ පුස්තකාලයක් තිබෙනවාට වඩා වටිනාකමින් වැඩියි කිව්වොත් නිවැරදියි. නිවසේ කොනක පොත් කිහිපයක් තබා සකසන ස්ථානයක් බොහොම ප්‍රායෝගිකයි. එවැනි තත්ත්වයකදී දරුවෙක් අතගාන්නේ දකින්නේ පොත්පත්. දරුවෙක් ජීවත් වෙන්නේ පොත් එක්ක. පොත් එක්ක ලොකු පණිවිඩයක් දරුවෙකුට හිමි වෙනවා.
දරුවෙක් එක්ක පොත් ගැන කතා කරනවා නම්, දරුවාගේ පරිකල්පන ශක්තියට අනුව පොත ගැන කතා කිරීමේදී ඇතැම් විට කතුවරයා කිසිසේත්ම නොසිතූ කතාවක් දරුවාට දැනී තිබෙන්නට පුළුවන්. හැම දරුවෙකුටම කතාවක් තියෙනවා. ඇත්තටම අපිට වටින්නේ දරුවාගේ අන්න ඒ කතාව. මන්ද දරුවා එයාගේ කියවීම කියන ජීවිතයේ පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් තිබෙන නිසාම බොහොම සුන්දර කතාවක් ගොඩනගන්න හැකියාවක් දරුවාට ලැබී තියෙනවා.
මෙතැනදී මව්පියන් වැඩිහිටි අපිට ලොකු වගකීමක් පැවරෙනවා. අපේ දරුවන් පොත් සල්පිල්වලට වගේම පොත් හා සම්බන්ධ වෙනත් ප්‍රදර්ශනවලට රැගෙන යා යුතුයි. ඒ වගේම පොත් එළි දැක්වීම් වලට සම්බන්ධ කළ යුතුයි. පොත්පත් අතගාන්න දීලා, ඒ සුවඳ විඳින්න ඉඩ දිය යුතුයි. අන්න එවිටයි දරුවෙකුගේ මනස තුළ තමන්ගේ ආසාවට දෙමාපියන් උදව් කරනවා කියන හැඟීම ඇති වෙන්නේ. දරුවෙක් හොඳ පොත් කියවන්නෙක් කරන්න ඒ දේවල් බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඔන්න ඔය ටික අපිට දරුවාට දෙන්න පුළුවන් නං එතැනින් එහාට ඒ දරුවා පාසැලේ පොත පත වුවත් ආසාවකින් පරිශීලනය කරනවා විතරක් නෙවෙයි කියවීමෙන් කිසිම දිනක ඈත් වෙන්නේ නැහැ.
කතන්දරවලට ප්‍රිය කරන්නැති දරුවෙක් මේ ලෝකේ නැහැ. ඒත් ඒ දරුවා උස්මහත් වෙද්දී මේ කියවීම දරුවාගේ ජීවිතයෙන් ඈත් වී තිබෙනවා නම් ඒ දරුවාට කියවීම කියන එක හුරු කිරීමට දෙමව්පියෝ අපොහොසත් වී තිබෙනවා. පුංචි කාලේ කතන්දර අහන්න ආසා දරුවා අනිවාර්යෙන් කියවන්න කැමතියි. ඒත් ඒ වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම ඔබ ඔබේ දරුවාට වයස අවුරුදු තුන පමණ වන විටවත් යොදා තිබිය යුතුයි. එහි ප්‍රතිඵලයක් විදියට දරුවෙක් පොත් කියවන්න ආසා වෙනවා වගේම දරුවාගේ මුළු ජීවිතයටම එහි ප්‍රතිලාභ හිමි වෙනවා.
දරුවෙකුට ගැලපෙන පොතක් තෝරා ගන්නේ කොහොමද?
හොඳම දේ දරුවන්ට කියන එක තමයි දෙමව්පියන් විදියට අපේ සිත් තුළ මූලිකව තිබෙන්නේ. ඒක පොත් පත් සම්බන්ධයෙන් කියලා වෙනසක් නැහැ. දරුවෙක්ට සුදුසු පොතක් තෝරාගන්න දරුවාට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒත් දරුවාට හොඳ පොතක් තෝරගන්න දරුවාගේ දෙමාපියන්ට පුළුවන්. ඒ වෙනුවෙන් වැඩිහිටි අපිටත් ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.
අපි ළමා සාහිත්‍ය ගැන හතර ආකාරයකින් කතා කරනවා. එ්,
- දරුවන් ලියන පොත්
- දරුවන් වෙනුවෙන් ලියන පොත්
- දරුවන් තෝරා ගන්නා පොත්
- දරුවන් වෙනුවෙන් තෝරා ගන්නා පොත් ලෙසයි.
මේ වර්ග හතරෙන් කුමන වර්ගය වුණත් දරුවෙකු වෙනුවෙන් ඇති නිර්දේශවලට අනුව තෝරාගත යුතුයි.
- දරුවාගේ වයසට බුද්ධි මට්ටමට සහ කියවීමේ හැකියාවට ගැළපෙන පොතක් විය යුතුයි
කොයිතරම් සාහිත්‍ය රසයෙන් අනූන වුවත් කොයිතරම් පරමාදර්ශී කතාවක් ඇතුළත් වුවත් දරුවාගේ බුද්ධි මට්ටමට එය ග්‍රහණය කරගත නොහැකි නම් ඒ පොත දරුවාට ලබා දීම සුදුසු නැත. ඒ පණිවිඩය ඒ ආකාරයෙන්ම ලබා දිය හැකි පොත් වෙළඳ පොලේ ඕනෑ තරම් සොයාගත හැකියි. අපි සැලකිලිමත් විය යුත්තේ ඒ පොත් දරුවාට සුදුසු පරිදි සරලව (simplified version) සකස් වී තිබේද යන්න පිළිබඳවයි. දෙමව්පියන් ලෙස ඔබ කොතරම් විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක් වුවත් විශිෂ්ට ගණයේ කතා කියවන්නෙක් වුවත් දරුවාට සුදුසු, ගැලපෙන දේ ලබා දීමට ඔබ සැලකිලිමත් විය යුතුයි.
- වැරදි ආදර්ශ දරුවෙක්ගේ මනසට ඇතුළු නොවන ආකාරයේ පොතක් විය යුතුයි
ජාතිවාදය,වර්ගවාදය, කෙනෙක්/ආගමක්/සංස්කෘතියක් පහත් කොට සැලකීමක් වැනි ආභාෂයක් දරුවෙක්ට ඇති විය හැකි කිසිදු පොතක් නිර්දේශ කළ නොහැකියි. මන්ද පොතක් මගින් සිදු කළ යුත්තේ ළමා මනසට එවැනි අදහස් එකතු කිරීම නොව හර පද්ධතියක් එක් කිරීමයි. හරපද්ධතියක වටිනාකම ගතහොත් නරක පරදිනවා, සමාජ සාධාරණත්වය ජය ගන්නවා, අනුන්ට උදව් කරන පුද්ගලයා බැබලෙනවා, ලෝකේ හැම වෙලාවෙම දිනන්නේ සත්‍යය වැනි පරමාදර්ශ පොත් හරහා දරුවන්ට ලැබෙනවා. හැම හොඳ පොතකම හොඳ ආදර්ශයක් තියෙනවා. ළමා සාහිත්‍ය තුළ හොඳ පොතක් ලෙස නිර්දේශ වීමට නම් එවැනි පරමාදර්ශි කතාවක් තිබිය යුතුයි.
- පරිකල්පන ශක්තිය වැඩි දියුණු වීමට සහය වන පොතක් විය යුතුයි
දරුවා වෙනුවෙන් තෝරාගන්නා පොත මගින් ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් (Thrilling Experience) දරුවාට ලැබෙනවා නම් ඒ හා සමානවම දරුවා යහපත් පැත්තට ගෙන යන්න පුළුවන් කම්පනයක් ලබාදිය හැකි නම්, දරුවා සිතන දේ පමණක් නොව තවත් දේ ලෝකය තුළ සිදු විය හැකියි යන හැඟීම දරුවා තුළ ඇති කළ හැකි නම් එවැනි පොත් තුළින් දරුවා ජීවිතේ වෙනස් කළ හැකියි.
- දරුවාගේ සිත් ඇද ගන්නා පිටකවරයක් ඇති පොතක් විය යුතුයි
සාමාන්‍යයෙන් කවරයෙන් පොත මනින්න එපා කියලා අපි අසා තිබුණත් දරුවෙකුට පොතක් දීමේදී දරුවාට පොත දුටු සැනින් ආසාවක් ඇති විය යුතුයි. අන්න ඒ නිසාම කතා පොතක වැඩි අවධානයක් මුද්‍රණ කටයුත්ත වෙනුවෙන් යොදවනවා. දරුවන් වෙනුවෙන් පොත් තේරීමේදී සිත් ඇදගන්නා පිටකවරයත් එක් නිර්දේශයක් නිසයි.
- නැවත නැවත කියවා රස විදිය හැකි පොතක් විය යුතුයි
A book is presents which can open again and again යන ඉංග්‍රීසි කියමනට අනුව පොතක් කියන්නේ අපි නැවත නැවතත් රස විඳින ත්‍යාගයක්. සාමාන්‍ය තෑග්ගක් අප විවෘත කරන්නේ එක්වරක් වුවත් කියවන සෑම වාරයක් පාසා තෘප්තිය, වින්දනය, අත්දැකීමට ඇති කැමැත්ත මත පොතක් යනු නැවත නැවත විවෘත කළ හැකි ත්‍යාගයකි.
ඔබ දරුවෙකුට පොතක් තෝරා ගැනීමේදී ඉහත නිර්දේශවලට අදාලව පොත් තෝරා ගැනීමට සැලකිලිමත් වීම වැදගත් වේ. ඉහත නිර්දේශවලට අනුව සකස් වුණු ඕනෑ තරම් පොත් අපගේ වෙළඳ පොළෙන් මිලදී ගත හැකියි. නිවැරදි නිර්දේශයට අනුව පොත්පත් තෝරා දීමෙන් ඔබේ නිවස තුළින් ඔබ බලාපොරොත්තු වන දරුවා ගොඩ නැගෙන බව මතක තබාගන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
රේණුකා තෙන්නකෝන් මහත්මිය
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය