- Advertisement -

කිරි දෙන අම්මාට කටු මාළු හොඳ නෑ කියන්නේ ඇත්තද?

-

උත්තරීතර මව් පදවියේ සිහිනය සැබැ වූ සෑම මවකගේම මීලඟ අභිප‍්‍රාය දරුවාගේ පෝෂණය, ආරක්‍ෂාව, රැකවරණය ස්ථිර කිරීමයි. මේ සඳහා ගන්නා වූ පියවරයන් අතරේ එකක් මවගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වීම. ඒ සඳහා මවට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වැදගත් වෙනවා. ඒ ප‍්‍රසූතියේදී මවගේ වැයවූ ශක්තිය, රුධිර ප‍්‍රමාණය වගේම දරුවාගේ සත්කාර සේවාවේදී මවට වැයවන අමතර ශක්තිය වගේම පවුලේ කටයුතු වල යෙදීමට මවට අවශ්‍ය වන ශක්තිය ආදී ලෙසිනි. මේ සඳහා මවට සාමාන්‍ය ආහාර වේලට අමතරව පෝෂණය සැපයීමක් අවශ්‍ය වන්නේ මව විසින් අමතරව වැය කරන පෝෂණ ප‍්‍රමාණයන් ඇයට නැවත ලබාදීමටයි. 

මේ වේලාවේ සීග‍්‍ර වර්ධනයක් දක්වන බිළිඳා සඳහා ලැබෙන හොඳම ආහාරය මව්කිරි. ඒ වගේම මව් කුස සිටින කාලයේ සිටම දරුවාගේ පෝෂණයට අවශ්‍ය සියලු දේ සපිරුණේ මවගේ ශරීරය තුල තැන්පත්ව ඇති පෝෂණ කොටස් මගිනි. මේ සඳහා මව වැය කරන පෝෂණ කොටස් අතරේ ප්‍රෝටීන, යකඩ, කැල්සියම් වගේ පෝෂක කොටස් හරිම වැදගත්. පේශී හා අස්ථි විකසනයට වගේම වර්ධනයට මේ පෝෂක කොටස් මූලික වෙනවා. ඉතින් මේ ප්‍රෝටීන, යකඩ, කැල්සියම් වගේ මූලද්‍රව්‍ය බහුලව අඩංගු ආහාර තමයි මාළු. මාළු කටුවල හොඳ කැල්සියම් ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා කටු සහිත මාළු මගින් ප්‍රෝටීන අවශ්‍යතාවය වගේම යකඩ, කැල්සියම් අවශ්‍යතාවයත් හොඳින් ලබාදෙන්න පුළුවන්. මේ නිසා කිරි දෙන මවකට වඩාත් යෝග්‍ය ආහාරයක් මේ කටු සහිත මාළු. මාළු වල කටුව සමග ආහාරයට ගන්න පුළුවන් නම් කටු වල තිබෙන කැල්සියම් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙනවා. 

- Advertisement -

වේලකට අවශ්‍ය තරම් කැල්සියම් නොලැබෙනව නම් දරුවගේ ඒ අඩුව පිරවීමට මවගේ අස්ථි වල අඩංගු කැල්සියම් දරුවා වෙතට යන්නේ මවගේ අස්ථි සිහින් කරමින්. ඉතින් දරුවා වැඩෙනවත් එක්කම මවගේ මේ කැල්සියම් ඌනතාවය තදබල උනෝතින් මවගේ අස්ථි දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි කටු සහිත මා, කිරි දෙන අම්මා කෙනෙක්ට ඉතාමත්ම යෝග්‍යයයි. 

තත්ත්වය මෙහෙම උනාට ගෙවල් වල ඉන්න වැඩිහිටි අම්මලා කටු මාළු කිරි අම්මලාට දෙන්න එපා කියනවා. එයාලා කියන්නේ මාළු කටු බඬේ තියෙන තුවාලේ ඇනෙනවා කියලා. ඒ වගේම දරුවා කිරි බොනකොට කිරි එක්ක මාළු කටු යන්න පුළුවන් කියලා. මේක තමයි ඒ මතය. ඉතින් මේ ගැන විග‍්‍රහ කරාම අපි කන කෑම මුඛය හරහා ගලනාලය තුලින් ආමාශයට යන්නේ, එතැන් සිට දිගටම සිද්ධ වෙන්නේ ආහාර අඹරමින් ඒවායේ තියෙන පෝෂණ කොටස් උරා ගැනීම. ඒ වගේම මුඛයෙන් පටන් ගන්නා ආහාර මාර්ගය අතර මැදදී වෙනත් අවයව වලට විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ආහාරයක් ආහාර මාර්ගයෙන් පිටතට යන්නේ නෑ. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය මුඛයෙන් පටන් අරගෙන ගලනාලය, ආමාශය, කුඩා අන්ත‍්‍ර (කුඩා බඩවැල්) මහා අන්ත‍්‍ර හරහා ගිහින් ගුද මාර්ගයෙන් කෙලවර වෙනවා. ආහාර ජීර්න ක‍්‍රියාවලියේ අවසාන අපද්‍රව්‍ය කොටස් ශරීරයෙන්ම බැහැර වෙනව මිසක් ඇතුලත ඉන්ද්‍රියයන් වලට යන්න ඉඩක් නැහැ. මේ නිසා මාළු කටු ගර්භාෂයට වෙතට හෝ පියයුරු වලට යන්න ඉඩක් කොහෙත්ම නැහැ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ රුධිර නාල හා ස්නායු සෛල සම්බන්ධතා මගින්. ඒ නිසා සියලු ඉන්ද්‍රියයන්ට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය රුධිර නාල හරහා ගෙන යන අතර ස්නායු සෛල මගින් අවශ්‍ය කරන පණිවිඩ ගෙන යනු ලබනවා. 

ඒ නිසා කටු සහිත මාළු ආහාරයට ගන්න කිසිම කිරි දෙන මවක් බිය වෙන්න  ඕන නෑ. හැබැයි මේ අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය නොගෙන සිටීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය ඉන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය ලවණ හිඟ වීමෙන් මව්වරුන් ඉක්මණට වෙහෙසට පත්වීම, අවයව දුර්වල වීම නිසා කෙටි කාලීන වගේම දීර්ඝකාලීනව රෝගීතාවයන්ට (විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි) පත්විය හැකියි. 

මෙසේ පහසුවෙන් ලබාගත හැකි එහෙත් මිත්‍යා මත නිසා නොගෙන සිටින පෝෂණ ද්‍රව්‍ය ශරීරයට හිඟ වීමෙන් මවට වගේම මවගෙන් පෝෂණය ලබන දරුවාටද බරපතල වර්ධන ගැටළු ඇති විය හැකියි. මෙසේ හෙයින් විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීම් ලබාගත හැකිව තිබියදීත් මිත්‍යා මතයනට ඉඩ දෙන්නේ නම් එහි බලපෑම මත මවගේ ශක්තිය, පෝෂණය හීන වීම වගේම දරුවාගේ වර්ධනය ඇණ හිටීමෙන් නිරෝගී බව දරුවාට ද අහිමි වී යා හැකියි. එසේ හෙයින් මෙවන් මිත්‍යා මත පිළිබඳ පැහැදිලි ලෙසට නිරවුල් කරගැනීම ඔබට පුහුණු සෞඛ්‍ය සේවකයන් මගින් ගර්භනී පුහුණු සැසි, මව්කිරි සැසි ආදිය තුලදී අවකාශ ලැබනෙවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article