සියලු දේ සූදානම් කරගෙන දහසක් බලාපොරොත්තු මැද්දේ ප‍්‍රසූතිය සිදු කර දරුවා නිවසට රැගෙන එන්නේ බිය සැක සමග මුහු වුණු පුදුමාකාර වූ සන්තෝෂයකින්. ඒ වගේම මේ අලුත උපන් දරුවා රැකබලා ගන්නා එක දෙමාපියන්ට පැවරුණු විශාල අභියෝගයක්. ඒ එක්කම නිවසේ, වටාපිටාවේ දෙමාපිය වැඩිහිටි වගේම අසල්වැසි සැමගේම ගුණදොස් විවේචන මතිමතාන්තර එළියට එන්නත් පටන් ගන්න වෙලාවක්. මේ වගේ වෙලාවට දෙමාපියන් විදියට නිවැරදි දේ දැනගෙන නොසිටියොත් ඔබ අසරණ වෙනවා. කම්පාවට පත්වෙනවා. මානසිකව වියවුල් බවට පත්වෙලා දරුවා රැකබලා ගන්න එකත් ඔබගෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ හින්දා පූර්ව ප‍්‍රසව සමයේ සිටම දරුවාගේ විකසනය වගේම වර්ධන පියවරයන් එක්ක දක්වන වෙනසක්ම් පිළිබඳව දැනුවත් වීම වැදගත්.
අලුත උපන් දරුවාගේ හිස
දින සම්පූර්ණ වෙලා ප‍්‍රසූතිය සිද්ධ වෙනකොට සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී දරුවගේ හිස ශ්‍රෝණි කුහරයේ ප‍්‍රමාණයට සරිලන ලෙස හැඩ ගැසෙනවා. එතකොට හිසේ හැඩය දික් හැඩයක් ගන්නවා. මෙහෙම වෙන්නේ ප‍්‍රසූතිය පහසු වෙන්න. ඒ එක්කම මේ හැඩය නිසා හිසේ අස්ථි පොඞ්ඩක් එහා මෙහා වෙලා තරල එක තැනකට එකතු වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ හැඩගැසීම් කියලා. ඒත් මේක දැකපු ගමන් වැඩිහිටියෝ කියන්න ගන්නේ ඔළුව දිගයි, අපලෙට, ඕව හදන්න ඕන වගේ කියමන්. ඒත් ඒක එහෙම අපලයක් නොවන බව වේලාසන දැනන් හිටියොත් ඔබ කලබල වෙන්නේ නෑ. ටික දිනකින් හිස සාමාන්‍ය විදියට හරියනවා.
අලුත උපන් දරුවාගේ අත පය
අලුත උපන් දරුවෙකුගේ අත පයත් තියෙන්නේ එයා කුස තුල හිටිය ඉරියව්වේ හිටියට. වැඩිහිටි අය හිතන්නේ අත පය ඇදයි කියල. ඒව හදන්න ඕන කියල. එහෙම හිතල සාමාන්‍ය වර්ධනයට ඉඩක් නොදී අතගාලා හදන්න ගියොත් ඒ ක‍්‍රියාව වැරදියට සිදු වුනොත් ඇත්තටම දරුවගේ අත පය වල ඇදයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දරුවා වර්ධනයත් එක්කම අතපය ක‍්‍රියාත්මක වෙනකොට ඒවා නිසි පරිදි හැඩගැසීමයි. දරුවා පය බිමට තබා සිරුරේ බර රඳා සිටින ඉරියව් වලට පැමිණෙන කාලයේදී ගුරුත්වාකර්ෂණයට අනුව සිදුවන ක‍්‍රියාවන් නිසා පාදයේ කෙණ්ඩා නිසි පරිදි චලනය වීම මගින් පාද වලට නියමිත හැඩය ලැබේ.
මුහුණ, නාසය
දරුවෙක් උපන් ආකාරයටම සිටින්නේ නැත. පැයෙන් පැය, දිනෙන් දින දරුවා වැඩෙන අතර ඔබේ පරම්පරාවේ ආරය අනුව ඒ අවයව නිසි පරිදි සැකසේ. හිසේ රවුම් හැඩයත් එසේමයි. එය ප‍්‍රසූතියත් සමග හැඩගැසේ. සීසර් ශල්‍යකර්මය මගින් ප‍්‍රසූතිය සිදු වූ දරුවන්ගේ හිස දිගටි හැඩයක් නොගන්නා අතර සාමාන්‍ය ප්‍රසූතියේදී දරුවාට බිහි වීමට පහසු වීමට හිස හැඩ ගැසීම නිසා දිගටි හැඩයක් ගනී. එය දරුවා වැඩෙත්ම මේ දිගටි හැඩය නැතිව යයි.
දරුවා හඬන්නේ කිරි මදි නිසා
පුංචි දරුවන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ එකම ක‍්‍රමය හැඬීමයි. දරුවෙක් හැඬීම මගින් මවගේ අවධානය යොමු කරගනිමින් සිය අවශ්‍යතා ඉටු කරගනී. දරුවෙකු හඬන්නේ කුසගිනි නිසා හෝ කිරි මදිකම නිසා හෝ කියා වැඩිහිටියන් කාන්තාවන් පැවසූ විට අලුත් අම්මාගේ හිත කඩා වැටෙනවා සේම ඇය කනස්සල්ලට පත් වෙනවා. මව්කිරි කියන්නේ හෝමෝනමය ක‍්‍රියාවලියක්. ඒ සඳහා මවගේ නිරවුල් මනස බොහෝ සෙයින් වැදගත් වෙනවා. දරුවා හොඳින් කිරි බොනවා නම් සතුටින් නිදියනවා නම් එය මවට සැනසීමක් වන අතරම ඒ සැනසීම කිරි නිෂ්පාදනයටත් රුකුලක් වනු ඇත. මව තුල ඇති වන වික්‍ෂිප්තභාවය කිරි එරීමේ යාන්ත‍්‍රනම මන්දගාමී කරනවා. ඒ නිසා දරුවා හඬන සෑම විටම කිරි මදි යැයි සිතන සිතුවිල්ල නැති කරගන්න. දරුවා වරකට විනාඩි 20 ක් පමණ කිරි උරනවා නම්, දිනකට 6, 7 වතාවක් මුත‍්‍රා පිටකරනවා නම් බිය විය යුතු නැත.
දරුවෙක් හඬන්නට එකම හේතු මව්කිරි නොවෙයි. දරුවටත් බඩගින්න පමණක් නොව උණුසුම/දහඩිය, මල/මුත‍්‍රා පහවීම නිසා ඇති වන අපහසුතාවය, නිදමත ඇති වීම, කලබලකාරී පරිසරය, නිවසේ පිරිස වැඩිකම, තෙහෙට්ටුව, නින්දෙන් අවදිවන විට සමීපයේ කිසිවකු නැති වීම නිසා ඇති වන බය හෝ සාංකාව, නෑවීම වගේම අම්මගේ ආදරය අවශ්‍ය බව පෙන්වීමටත් කල හැකි එකම දේ හැඬීමයි. මේ නිසා දරුවාගේ දින චරියාව හා අනුගත වීම තුලින් අවශ්‍යතා හඳුනාගැනීමට හැකි වේවී. ඒ නිසා දරුවා හඬන සෑම විටම එය කුසගින්නටම සීමා නොකළ යුතුය.
එසේම කිරි මදි කියා දරුවාට වෙනත් ආදේශක ආහාර වලට යොමු කිරීමෙන් වැළකීමද ඉතා වැදගත්. එසේම පිටිකිරි, බත් කැඳ, කොත්තමල්ලි වතුර හෝ වතුර දීමෙන් වැළකීමද ඉතා වැදගත්.
උණුසුම් දින වලදී දරුවාට වතුර දිය යුතු යැයි පවතින මතයද මිත්‍යාවකි. මව්කිරි වල 80% ක්ම ඇත්තේ ජලයයි. මේ නිසා අමතරව ජලය ලබාදුනහොත් දරුවාගේ පෝෂණයට පාඩුවක් සිදු වීම නිසා වර්ධන වේගය අඩු වී දරුවාගේ සංවර්ධනයද ඇණ හිටිය හැකියි.
නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් වීමද වැදගත්. මව්කිරි පමණක් දරුවාගේ ප‍්‍රශස්ත වර්ධනයට මුල් මාස 6 ටම ප‍්‍රමාණවත් වන නිසා වැඩෙන විට කිරි මදියැයි පවසමින් බත් කැඳ හෝ වෙනත් පිටිකිරි ලබාදීම නොකළ යුත්තක්. මේ මිත්‍යා මත ඉවත් කිරීමට මවට/පියාට පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ එනම් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකගේ උපදෙස් ලබාගැනීම වැදගත්. ඒ වගේම ඇයට පුළුවන් මේවායේ විද්‍යාත්මක තහවුරු කිරීම් වැඩිහිටියන්ට පවා ඒ්ත්තු ගන්වන්න.
දරුවෙකුගේ මුල් මාස 6 තුල ජීර්ණ පද්ධතිය සැකසී ඇත්තේ කිරි දිරවීමට පමණක් වන නිසා වෙනත් ආහාර හෝ පාන වර්ග ලබාදීම අජීර්ණය වගේම ආසාත්මිකතාවයටත් හේතු විය හැකියි. කිරි පමණක් මදිද යන්න නොව අවශ්‍ය පමණට දරුවාට කිරි ලබාගැනීමට ඇති බාධක, මව හා දරුවා අතර සම්බන්ධය, දරුවා ස්ථාපිත කර ගැනීමේදී ඇති බලපෑම්, හඳුනා නොගත් පියයුරු ගැටළු, නොමේරු ළදරුවන් වීම යන මේ කිසිවක් ගැටලු නොවේ. දරුවා ලබන කිරි ප‍්‍රමාණය පිළිබඳ තක්සේරු කිරීමට මුත‍්‍රා කරන වාර ගණන වගේම දරුවාගේ බර කිරා බැලීමෙන්ද අදහසක් ලබාගත හැකියි.
අලුත උපන් දරුවන්ගේ ශරීරයේ බිබිලි
රතු බිබිලි/රතගාය නමින් වැඩිහිටියන් හඳුන්වනවා. ඒවාට ඖෂධ ප‍්‍රතිකාර කළ යුතු බවටත් ඒවාට හේතු වන රත් පැහැයට ඇති ආහාර හෝ උෂ්ණ අධික ආහාර මවට ලබා නොදිය යුතු බවටත් මතයක් පවතී. මවට ලබාදෙන ආහාර මවගේ ශරීරය තුලදී දිරවීමට ලක් වන අතර ඒවායේ අවශ්‍ය පෝෂක කොටස් මවගේ රුධිර සැපයුම මගින් මව පෝෂණය කරන අතරම දරුවාට බලපෑමක් ඇති නොකරයි. දරුවන්ගේ ශරීරය තුල කුඩා බිබිලි හටගැනීම සාමාන්‍ය සිදු වීමක්. එසේ සිදුවන්නේ කුස තුල සිටියදී දරුවා සිටි පරිසරයත් දැන් සිටින පරිසරයත් අතර ඇති වෙනසට අනුවර්තනය වීමක් ලෙසයි. එනම් බිබිලි පිට දැමීම මගින් දරුවාගේ සමේ ක්‍ෂෙත‍්‍රඵලය වැඩි වීමක් සිදුවන අතරම දරුවා දිනපතා නෑවීමේදී මේ බිබිලි පහව යයි. ඖෂධ ලබාදීමෙන් විය හැක්කේ වෙනත් ආසාධන තත්ත්ව දරුවාට ඇති වීමයි.
අලුත උපන් දරුවන්ගේ ඇඳුම්/රෙදි සේදීමේදී මිරිකන්න එපා
දරුවාගේ රෙදි මිරිකුවාම දරුවන් ඇඟ අඹරන බවට අදහසක් අප සමාජයේ පවතිනවා. එය අසත්‍යයක්. දරුවාගේ සෝදන රෙදි මිරිකීමත් දරුවා ඇඹරීමක් අතර සම්බන්ධයක් නැහැ. නමුත් විය හැක්කේ දරුවන් සඳහා තෝරා ගන්නා රෙදි සියුම් තුනී රෙදි බැවින් අනවශ්‍ය ලෙස මිරිකීම නිසා ඉක්මණින් ඉරීමට/දිරීමට හැකි නිසා භාවිත කල හැකි කාලය අඩුවීම, හැඩය වෙනස් වීම නිසා ඇන්දවීමට අපහසු වීම වැනි දේ සිදුවීමයි.
දරුවන්ගේ ඇඬීම හා බාලගිරි දෝෂය
දරුවෙක් හැඞීමට හේතුවිය හැකි කරුණු මීට පෙර ලිපිවලදී සාකච්ඡා කළා. නිවසක බාලගිරි දෝෂය අද නොව හෙට ලෙස දැන්වීම දුටු විට නිවසට පැමිණීම අඩු වීම හෝ පැමිණෙන්නන්ගේ උස් ශබ්ද වලින් කරන කතා බහ අඩු වීම තුලින් දරුවාට දැනෙන කලබලකාරී හෝ ඝෝෂාකාරී හැඟීම් අඩු වීම මගින් හිමිවන සහනදායී වටපිටාව මින බාලගිරි දෝෂය නමින් දෝෂයක් නොමැත.
පුංචි දරුවන්ගේ කොණ්ඩය කැපීම
දරුවාගේ කොණ්ඩය කැපීම නිසා කතා බහ කිරීම අඩු වෙනවා හෝ ගොත ගැසීම වැනි කථන ගැටළු ඇති වේ යැයි ඇති සැකය විද්‍යාත්මකව තහවුරු කර නැත. නමුත් කොණ්ඩය දිගට පවතින විට දහදිය දැමීම, දහදිය රැඳී තිබීම නිසා සිදුවන අපහසුතා නිසා සමේ ගැටළු ඇති විය හැකියි. ඒවා නිසා ඇති වන නොසන්සුන්තා මිස වෙනත් ගැටළු ඇති නොවේ. එහෙත් කුඩා කල සිට වරින් වර කොණ්ඩය කෙටි කිරීම දරුවාට අනතුරක් නොවන සේ ප්‍රවේසමෙන් සිදු කළ යුතුය. දිගු කෙස් ගස් නිසා දරුවාට ඇති වන අපහසුතා එවිට මග හරවා ගත හැකියි.
මෙසේ යම් යම් මිත්‍යා මත පැවතියද ඒවා පිළිබඳව නිවැරදි ලෙස විග‍්‍රහ කිරීම හා පුහුණු සෞඛ්‍ය සේවකයෙකු සමග සාකච්ඡා කොට නිවැරදි තීන්දු වලට එළඹීමට ඔබට හැකිවනවා සේම සමාජයට යහපතක් ලෙස ඒවා පිළිබඳව ඇති සත්‍ය අසත්‍යතාව හා විද්‍යාත්මකව ඇති හේතු පැහැදිලි කිරීමට ඔබ ලබාගන්නා දැනුම භාවිත කිරීමද වැදගත් වේ. ඒ මගින් ඔබට මෙන්ම අන් අයටද ඒ දැනුම ලැබීම තුලින් දරුවන්ගේ වර්ධනයට වගේම සංවර්ධනයටද ඇති බාධාවන් ඉවත්ව යයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල