මන්ද පෝෂණය, අද වන විට වටපිටාවෙන් නිතර ඇසෙන වචනයක් බවට පත් වී තිබෙන්නේ රට තුළ උද්ගතව ඇති තත්ත්වයන් හමුවේ ඇති වන ආහාර හිඟතාවයන් හේතුවෙන් මන්දපෝෂණ තත්ත්වයට පත් වුණු දරුවන් ගණන ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති නිසාය. සිරුරේ වර්ධන ක‍්‍රියාවලිය හා බැඳී ඇත්තේ පෝෂණයයි. එනම් ශරීර අවශ්‍යතා වලට අනුකූලව සියලුම පෝෂණාංගවලින් සමන්විත සමබර ආහාරයක් ලැබීම පෝෂණය ප‍්‍රශස්ත ලෙස වර්ධනය කරයි. එහෙත් ලැබෙන්නා වූ පෝෂකාංග අඩු වූ විට මන්ද පෝෂණ තත්ත්වය ඇති වීමට එය හේතුවක් වෙයි.
මන්ද පෝෂණය යනු ශරීරයේ උස, බර මගින් පමණක්ම නොව හෝමෝන, ඉන්‍ද්‍රියයන් ක‍්‍රියාකාරීත්වය සමග ද බැඳී ඇති තත්ත්වයකි. මෙසේ හෙයින් සෑම විටම මන්ද පෝෂණයේදී ඌන වූ පෝෂකාංග කුමක් ද යන්න සහ එය ලබාදීමට ක‍්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට වැදගත් වේ.
පෝෂක හිඟවීම මෙන්ම අධික වීමද දුර්වල සෞඛ්‍ය තත්ත්වයට හා විවිධ රෝග වලටද හේතුවක් වේ. පෝෂක ඌන වීම හෙවත් ඌනතාවය ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල උග‍්‍ර ප‍්‍රශ්නයක් හෙයින් ශරීර අවශ්‍යතා වලට අනුව සියලුම පෝෂකාංග හා ශක්තිය නිවැරදි ප‍්‍රමාණයෙන් හා නිවැරදි අනුපාතයෙන් ලබාගැනීම මන්ද පෝෂණය වළක්වා ගැනීමට හේතුවක් වේ.
ජීවිතයේ විවිධ වයස් හිදී පෝෂණ අවශ්‍යතා වෙනස් වේ. එසේ වෙනස් වන්නේ වර්ධන වේගයන් පවත්වා ගැනීමට විවිධ අවස්ථා වලදී අවශ්‍යතාවයන්ද වෙනස් වීම නිසයි. ළදරුවෙකුගේ වර්ධන වේගය වැඩිවන අතර ළමා කාලයේදී එය තරමක් අඩු වේ. එසේම වැඩිවිය පැමිණෙන කාලයේදී නැවතත් සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම කාල සීමා වලදී ඊට අනුරූප ලෙස පෝෂණය සැපයීම වැදගත් වේ. එසේම ජීවිතයේ වෙනස් වූ අවස්ථාවන් වලදී එනම් ගර්භනී මවක, කිරි මවක වැනි අවස්ථාවකදී සාමාන්‍ය කාන්තාවකට වඩා පෝෂණය අවශ්‍ය වේ. මීට අමතරව වයස, ස්ත‍්‍රී/පුරුෂ භාවය, නිරත වී ඇති කාර්යයන් හෝ රැකියාව අනුව ද අවශ්‍ය පෝෂණ අවශ්‍යතා වෙනස් වේ.
දරුවකු කුස දරා සිටින මවකගේ පෝෂණය දුර්වල වූ විට එම මවගෙන් පෝෂණය සැපයෙන දරුවාට ද සැපයෙන පෝෂණය දුර්වල වීම නිසා කුස තුලදීම දරුවාගේ වර්ධනය බාලවීමට ලක්වීය හැකියි. එසේම උපන් සිඟිත්තා නිසි පරිදි පෝෂණය නොකලහොත් ඔහුද මන්ද පෝෂණයට ලක් වෙයි. මෙම දරුවා විශේෂයෙන් ගැහැණු දරුවකු නම්, එම දරුවා මවක වන විට ඇයගේ දුර්වල පෝෂණය නිසා ඇය උපදවන දරුවාද මන්ද පෝෂණයට ලක් විය හැකියි. එය චක‍්‍රයක් ලෙසින් පරම්පරාගත වීමට වුවද හැකියාවක් ලබයි.
අපගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. මේ ශක්තිය ලබාගැනීම කාබෝහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන ආහාර මගින් සිදුවේ. මේ ආහාර අවශ්‍ය පමණ නොලැබීම නිසා කායික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය මුදා හැරීම සඳහා සිරුරේ තැන්පත්ව ඇති මේදය උපයෝගී කරගනී. මේ නිසා සිරුර කෘෂ වේ. එනම් වයසට සරිලන බරක් නොමැති වේ. මේ නිසා ශාරීරික ක‍්‍රියාවලි කරගැනීමට අපහසු වේ. එසේම අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ශක්තිජනක ආහාර ලැබුනහොත් ඒවා තෙල් ලෙස ශරීරයේ තැන්පත් වීම නිසා තරබාරුව ඇති වේ. මෙවිට පෙර ලෙස ශාරීරික ක‍්‍රියාවලි කිරීමට අපහසු වීම හේතුවෙන් මෙන්ම බර දරා සිටීමේ අපහසුව හේතුවෙන්, රෝග තත්ත්ව වලට ගොදුරු වේ. විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම මෙන්ම පිළිකාව වැනි බෝ නොවන රෝග වලට තරබාරුව හේතුවක් වේ.
ලවණ ඌණතාවය
මෙය තවත් මන්ද පෝෂණ ගැටළුවකි. ශරීරයේ සියළු අවයව ක‍්‍රියාකාරීත්වය සමබරව පවත්වා ගැනීමට ලවණ මගින් කෙරෙන මෙහෙය අති විශාලය. මෙසේ ශරීර ක‍්‍රියාකාරීත්වයට බලපාන ලවණ අතර යකඩ, කැල්සියම්, අයඩීන් මෙන්ම පොස්පරස්, සින්ක් ආදී ලෝහද වේ. මේවා සියල්ලක්ම ශරීර ක‍්‍රියාකාරීත්වයන් හා බැ`දී පවතී.
යකඩ ඌනතාවය
යකඩ ඌනතාවය නිසා ශරීරයේ ලේ හිඟ වීම සිදු වේ. සිරුරේ සියළු ඉන්‍ද්‍රියයන් සජීවීව පවත්වා ගෙන යාමට ඒ ඒ ඉන්‍ද්‍රියයන් වෙත හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වේ. එහෙත් ආහාරයේ යකඩ ඌන වූ විට රුධිරයේ ඇති රතු සෛල ප‍්‍රමාණය අඩු වීම නිසා සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමේ යාන්ත‍්‍රණය දුර්වල වේ. මේ නිසා අධික ලෙස මහන්සිය, තෙහෙට්ටුව ඇති වන අතරම මතක ශක්තිය පවා දුර්වල වේ. මොළයට අවශ්‍ය පමණ ඔක්සිජන් සැපයීමට රුධිරයේ රතු සෛල හොඳින් පැවතීම හේතුවක් වේ. එසේ නොවීම නිසා හෘදය වස්තුවටද දරන්න සිදුවන පීඩනය හේතුවෙන් හෘදය ක‍්‍රියාකාරීත්වය පවා දුර්වල විය හැකියි. එසේ හෙයින් යකඩ ඌනතාවය බරපතල මන්ද පෝෂණ ගැටළුවකි.
අයඩීන් ඌනතාවය
මෙයද ශරීරයේ සියළු කටයුතු හා බැඳී පවතී. තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රධාන ඛනිජය අයඩීන් වේ. මෙය මොළයේ වර්ධනය, සුවය මෙන්ම පරි වෘත්තිය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරයි. අයඩීන් ඌනතාවය නිසා තයිරොයිඩ් ග‍්‍රන්ථියට ශරීර ක‍්‍රියාකාරීත්වය ප‍්‍රමාණවත් තරම් තයිරොක්සීන් හෝමෝන නිෂ්පාදනයට නොහැකි වේ. මේ නිසා ගර්භනී මවක් නම් ඇගේ දරුවාට දරුණු සංකූලතා ඇති විය හැකියි. එසේම
- හිසකෙස් සහ සමේ ගැටළු
- අනපේක්‍ෂිත ලෙස බර වැඩිවීම
- තෙහෙට්ටුව හා දුර්වල බව
- මානසික අවපීඩනය හා කාංසාව
- බෙල්ලේ තයිරොයිඞ් ග‍්‍රන්ථියය ඉදිමුම
- හෘද ස්පන්දන වේගය මන්දගාමී බව
- ඉගෙනීමේ ගැටළු සහ මනස දුර්වල වීම
- මද සරු බව සහ ගැබ් ගැනීමේ ගැටළු
- හෘදයාබාධ හෝ පිළිකා වැනි දරුණු රෝග තත්ත්ව (ප‍්‍රතිකාර නොකලහොත්)
කැල්සියම් ඌනතාවය
කැල්සියම් යනු සැකිලි පද්ධතිය සම්බන්ධ වූ විශේෂිතම ලවණයයි. සිරුරේ සියලු බර දරා සිටීමට හැකි සේ ශක්තිමක් සැකිල්ලක් උරුම වීමට නම් කලල අවධියේ සිටම නිසි පරිදි කැල්සියම් ලවණය ලැබිය යුතුයි. මෙසේ නොවීම තුලින් අස්ථි කෙටි වීම හේතු කොටගෙන කුරු වීම සිදු විය හැකිවා සේම දත්, නිය ආදියට බලපෑම් එල්ල විය හැකියි. වයසට සරිලන දිගක්/ උසක් නොමැති වීම කැල්සියම් ඌනතාවයේ ලක්‍ෂණයක් ලෙසත් හඳුනාගත හැකි මන්ද පෝෂණ ගැටළුවකි.
විටමින්
විටමින් A,B,C,D,E,K ආදී ලෙසින් නම් කර ඇති අතර මේ විටමින් වර්ග මගින් ශරීර අවයව හොඳින් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය මග සාදයි.
විටමින් A – ප‍්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීම මගින් ලෙඩ රෝග වලින් ආරක්‍ෂා වීමට ඇති හැකියාව ඇති කරයි. එසේම ඇස්වල පෙනීමේ ක‍්‍රියාකාරීත්වය සඳහා ප‍්‍රබල ලෙස බලපෑම් එල්ල කරයි. පෙනහළු ආශ‍්‍රිත ශ්වසන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහාද විටමින් A බහුල ලෙස බලපායි. සමෙහි ගොරෝසු බව, කොරල සහිත වීම, රැලි වැටීම, කුරුලෑ ඇති වීම, දහදිය ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරීත්වය, දද, වණ, කුෂ්ඨ සුව වීමට කල් ගත වීම, නියපොතු පහසුවෙන් කැඩීම මෙන්ම රාත‍්‍රී අන්ධතාවය ඇති වීමටද විටමින් A ඌනතාවය බලපායි.
විටමින් B – B1, B2, B3, ආදී ලෙසින් B කාණ්ඩයේ විටමින් වර්ග බොහොමයක් වේ. මේවා ඌනතාවය හේතු කොටගෙන ශරීරයට සිදුවන බලපෑම් හේතුවෙන් ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මේ නිසා අලස බව, වෙහෙස, කෙණ්ඩ පෙරලීම, ක්ලාන්තය, හෘදය ක‍්‍රියාකාරීත්වයේ දුර්වලතා, හිසරදය, බෙරි වෙරි රෝගය, අවපීඩනය, අමතක වීම, කට දෙකොණ වන වීම, ආලෝකය දෙස බැලීමේ අපහසුව, ඇස් වල කැසීම දිවේ/තොල් වල තුවල, තොල් ඇලීම, සමේ සංවේදී බව අඩු වීම, අකලට හිසකෙස් යාම, වර්ධනය බාල වීම, ලේ ගමනාගමනය නිසි පරිදි සිදු නොවීම, පේශී දුර්වලතාවය, නින්ද දුර්වල වීමි, ඉක්මන් කේන්තිය, වලිප්පුව, මස්පි`ඩු පෙරලීම, ලේ හිඟකම (නීරක්තිය), ස්නායු ආබාධ, අඩු බර දරු උපත්, ස්නායු ආබාධ සහිත දරු උපත් ආදිය මෙන්ම පාචනය වැනි රෝග තත්ත්ව පවා ඇති විය හැකියි. විටමින් B ඌනතාවය හේතු කොටගෙන ඇති වන තත්ත්ව වළක්වා ගැනීමටද සියළු ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාකාරීත්වයට හේතුවක් වේ.
විටමින් K – ලේ කැටි ගැසීමේ ක‍්‍රියාවලිය සඳහා බෙහෙවින් වැදගත් වේ. ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි වල ඛනිජ ඝනත්වය අඩු තත්ත්ව වලදී එහි ඝනත්‍වය වැඩි කිරීම සඳහා ද මෙය හේතූ කාරක වේ. අවශ්‍ය පමණට විටමින් K නොමැති වීම නිසා එනම් විටමින් K ඌනතාවය නිසා අධික ලෙස ලේ ගැලීම් පාලනය අපහසු වේ.
මේ කෙසේ වුවද විටමින් වර්ග (B හා C) සමහරක් ජලයේ දියවේ. අනෙක් විටමින් වර්ග ජලයේ දිය නොවන අතර මේදයේ දියවේ. මෙසේ හෙයින් විටමින් B හා C සිරුරට වැඩිපුර ලැබුණු විට ඒවා මුත‍්‍රා මගින් පිටවන නමුදු ජලයේ දිය නොවන (A,D,E හා K) විටමින් වර්ග ශරීරයට වැඩිපුර ලැබුණු විට ඒවා ජලයේ දිය නොවන නිසා අක්මාව තුල තැන්පත් වීම සිදුවන අතර අතුරු ආබාධ ඇති විය හැකියි. එසේම පිත්තාශය, අක්මාව හා අග්න්‍යාශය කියන ඉන්‍ද්‍රියයන් වල නිසි ක‍්‍රියාකාරිත්වය නිසා මේදයේ දියවෙන විටමින් නිසි ලෙස ශරීර ගත වීමත් දීර්ඝ කාලීන ලෙස රඳා පැවතීමත් නිසා ඌනතාව දක්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් ජලයේ දියවෙන විටමින් B හා C සිරුරේ සෑම පටකයකටම පැතිරි යයි. එසේම ශරීරයේ සෛලවලට අවශ්‍ය වන ශක්තිය නිපදවීමේ ක‍්‍රියාවලියට ද දායක වේ. ඒ නිසාම නිරතුරුවම ආහාරය සමග විටමින් B හා C ලබාගත යුතුමයි. එසේම මීට අමතරව ආහාරයේ තන්තු බහුල නොවීමත් ආහාර ජීර්ණ ක‍්‍රියාවලියට බලපානු ලබයි.
විටමින් C – ප‍්‍රතිශක්ති පද්ධතියට බෙහෙවින් බලපාන විටමිනයකි. රුධිර වාහිනී පද්ධතිය ආරක්‍ෂා කිරීමට මෙන්ම රක්තහීනතාවය වැළක්වීමටද විටමින් C ප‍්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම සමේ සෞඛ්‍ය වෙනුවෙන්ද මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබයි. විටමින් C මගින් යකඩ උරාගැනීම පහසු කරන හෙයින් හා එය යකඩ උරාගැනීමට හැකි උත්ප්‍රේරකයක් ලෙස ක‍්‍රියාත්මක වන හෙයින් විටමින් C යකඩ ඌනතාවය වැළැක්වීමටද හේතුවක් වේ. සමෙහි වියලි ගතිය/රළු ගතිය මෙන්ම සන්ධි වේදනා සඳහාද හේතුවක් ලෙස විටමින් C ඌන වීම හඳුනාගත හැකියි.
විටමින් D – කොණ්ඩය, දත්, අස්ථි හා නියපොතු වල මෙන්ම සමේ සෞඛ්‍ය සඳහාද විටමින් D බලපානු ලබයි. කැල්සියම් ලවණයේ ක‍්‍රියාකාරීත්වයටද විටමින් D බලපෑමක් එල්ල කරනු ලබන හෙයින් විටමින් D ඌනතාවය අස්ථි රෝග ඇති කිරීමටද හේතුවක් වේ. ඔස්ටියෝපොරෝසිස් හා අධික රුධිර පීඩනය සමගද විටමින් D සම්බන්ධතාවක් පවතින හෙයින් විටමින් D ඌනතාව ඒ හා සම්බන්ධ රෝග වලදී වැදගත් වේ.
විටමින් E – සමේ නිරෝගීභාවයට වැදගත්ය. එම නිසා විටමින් E ඌනතාවය සමේ රෝග තත්ත්ව ඇති කරයි. ප‍්‍රමාණවත් තරම් විටමින් E සිරුරට ලැබෙන්නේ නම් රෝග නාශක ගුණයක් හෙවත් රෝගයනට එරෙහිව ප‍්‍රතිශක්තියක් ඇති කරයි. ලප කැලල් ඉක්මණින් සුවපත් කිරීමටත්, හිරු රැස් නිසා ඇති විය හැකි සමේ පිළිකා වළැක්වීමට විටමින් E බොහෝ සේ උපකාරී වේ. දද හා කුෂ්ඨ රෝග සුවපත් කිරීමටද හැකියාවක් ඇති අතරම සමේ පැහැපත්භාවයට විටමින් E උපකාරී වේ.
ඒ අනුව විවිධ පෝෂක කොටස් බහුලව අඩංගු ආහාර පිළිබඳව පහත වගුව මගින් හඳුනා ගනිමු.
පෝෂකාංග | අඩංගු ආහාර |
කාබෝහයිඩ්‍රේට් | බත්, ධාන්‍ය, ආප්ප, ඉඳි ආප්ප, අල වර්ග, කොස්, දෙල් (පිටි ආහාර) |
ප්‍රෝටීන | මස්, මාළු, බිත්තර, කිරි, පියලි ඇට වර්ග, |
තෙල් හා මේද | පොල්, පොල්තෙල්, බටර්, ඔලිව් තෙල්, එළවළු තෙල්, තල, කොට්ටම්බා මද, රටකජු, කජු |
යකඩ | මස්, මාළු, තද කොළ එළවළු, පලා වර්ග, ඇට වර්ග, අලි පේර, කජු, (රතු පැහැති ආහාර- මාළු, තම්පලා), මුරුංගා |
අයඩීන් | මුහුදු මාළු, මුහුදු පැලෑටි, මුහුදු ලූණු, ඉස්සන්, බෙල්ලන්, දැල්ලන්, පලා වර්ග, බිත්තර, හරක් මස්, කිරි, බටර්, ධාන්‍ය, තක්කාලි, නිවිති, සලාද කොළ, රාබු, කෙසෙල්, දොඩම්, ලෙමන්, අන්නාසි |
කැල්සියම් | කිරි හා කිරි නිෂ්පාදන, කුඩා මාළු, සැමන්, බෝංචි, පරිප්පු (රනිල කුලයේ ඇට වර්ග), තල, පොල් වතුර, දිවුල්, බිත්තර |
විටමින් A | තැඹිලි/කහපාට එළවළු, පළතුරු, තද කොල පළා වර්ග, බිත්තර කහ මද |
විටමින් B | හාල් නිවුඩ්ඩ, කව්පි, සෝයා වැනි රනිල් බෝග, පීකුදු, ගව මස්, මාළු, කිරි, බිත්තර, පලා වර්ග, අර්තාපල්, යීස්ට්, හතු, රටකජු, කජු (ඇට වර්ග පෑහීම මගින් මෙන්ම පැල වීමට සැලැස්වීමෙන් විටමින් B වැඩිපුර ලබාගත හැක) |
විටමින් C | නෙල්ලි, පේර, අඹ, දෙහි, දොඩම්, නාරං (ඇඹුල් රසැති පලතුරු), පලා වර්ග |
විටමින් D | මාළු, බිත්තර කහ මද, හතු, කිරි, කතුරුමුරුංගා |
විටමින් E | අලි පේර, රටකජු, කොල පැහැති එළවළු, ධාන්‍ය, ආමන්ඩ්, කොට්ටම්බ මද, මස්, මාළු, |
විටමින් K | වියලි පළතුරු, ලූණු, පලා වර්ග, ගෝවා කොල, ඔලිව් තෙල්, කුළු බඩු |
තන්තු බහුල | නිවුඩ්ඩ සහිත හාල්, නිවුඩ්ඩ සහිත ඇට වර්ග, පලා, එළවළු (වැටකොළු, කොහිල, කෙසෙල් මුව, කරවිල, කොස්), පළතුරු |
මෙසේ බලන කල ආහාර වල අඩංගු සියළුම පෝෂක කාණ්ඩ සියළු පද්ධතීන් හා සම්බන්ධව පවතින හෙයින් අඩු වීමක් වූ විට විවිධ ඉන්‍ද්‍රිය පද්ධතියකට බලපෑම හේතුවෙන් මන්ද පෝෂණ තත්ත්වයකට ලක්වීමට හේතු වන අතරම මන්ද පෝෂණය වළක්වා ගැනීමට දැනුවත්ව අවශ්‍ය ආහාර කාණ්ඩ තෝරා ගැනීම වැදගත් වේ. තවද ආහාර වර්ගයන්හි විවිධත්වය ආහාර වලින් අවශ්‍ය පෝෂකාංග බහුල ලෙස ලබාදීමට හේතුවක් වේ. එසේ හෙයින් මන්ද පෝෂණය වළක්වා ගැනීමට නම් ප‍්‍රධාන ආහාර කාණ්ඩ වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද අඩංගු ආහාර කාණ්ඩ මෙන්ම ඛනිජ ලවණ හා විටමින් අඩංගු ආහාර කාණ්ඩ ද දිනපතා ආහාරයට එකතු විය යුතුයි. ආහාරයේ විවිධත්වය තුල එකතු කිරීම් සිදු කල විට බොහෝ විට මන්ද පෝෂණය වළක්වා ගත හැකියි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල