- Advertisement -

බබාගේ බඩ පිපිලා… ඒකයි බබා අඬන්නේ .. දැන් මොකද කරන්නේ ?

-

චූටි බබා ගෙදරට එක්කගෙන ආවට පස්සේ අම්මලට දහසක් ප‍්‍රශ්න. ඒ චූටි පැටියගේ එදිනෙදා කටයුතුත් එක්ක අම්ම, තාත්තා, ගෙදර නිවැසියන් සේරගේම හිත එක තැනක. ඉතින් පුංචි වෙනසක් උනත් කට්ටිය බය වෙනවා. ඒ අතරේ එක එක්කෙනාගේ දන්න පමණින් ඒවට දහසක් හේතුත් තිබෙනවා. ඒව තේරුම් බේරුම් කරගන්න ගමන් දරුවගේ වෙනසටත් අපි උත්තර හොයන්න  ඕන.

ඒ අතර නිතරම ඇහෙන කතාවක් තමයි බඩ පිපුම. මේකට අම්මල හරියට බය වෙනවා. දරුවත් නොසන්සුන්. එයාවත් එයාගේ හැමදෙයක්ම ප‍්‍රකාශ කරන්න අඩනවා. ඉතින් දරුව අඬන්න ගත්තම හැමෝම කනස්සල්ලෙන්. මේ කනස්සල්ල නැති කරගන්න අපි මේ අපහසුතා වගේම ඒවට හේතුත් දැනගෙන ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

- Advertisement -

පුංචි පැටියගේ බඩ පිපුණේ කොහොමද? පැටියට දෙන්නේ මව්කිරි විතර නම් මෙහෙම වෙන්නේ කොහොමද?

අම්මට බබා ලැබුණම අම්මටත් අලුත් අත්දැකීමක්. හැම අම්ම කෙනෙකුටම හැම බබෙක් එක්කම ලැබෙන අත්දැකීම් විවිධාකාරයි. එකම අම්මට උනත් පළමු බබාට වඩා දෙවන බබාගෙන් ලැබෙන අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්ද හැම තිස්සෙම අපි ලබන හැම අවස්ථාවකදීම නිවැරදි දැනුම පාවිච්චි කරන්න  ඕන. 

දරුවගේ මුල්ම ආහාරය මව්කිරි. කුස තුලදී දරුවගේ පෝෂණය මවගෙන් ලැබෙන රුධිරය හරහා සිදු වුනාට ඉපදුනාට පස්සේ දරුවගේ පෝෂණය ලබාදෙීමේදී අපි මේ ගැන හුඟක්ම හිතන්න  ඕන. උපතත් එක්කම මව්කිරි එරුනට මේ මව්කිරි වලින් දරුවගේ කුස පුරවන්න නම්, දරුවගේ ඉරීමේ, ගිලීමේ ප‍්‍රතීකය වගේම මවගේත් ඒ සඳහා ලබාදෙන දායකත්වය වැදගත් වෙනවා. ඒ කියන්නේ දරුවට කිරි ටික උරාගන්න පුළුවන් විදියට ඉරියව් කරගන්න  ඕන. ඒක හරිම වැදගත්. 

මොකද දරුවගේ මුඛයට හරියට පියයුර සම්බන්ධ නොවුනහොත් කිරි නිෂ්පාදනය වගේම කිරි ගලා එ්ම සිද්ධ වෙන්නේ නෑ. නිෂ්පාදනය වෙච්ච කිරි උරාගන්න තුරු ගබඩා වෙලා තියෙන පියයුරේ කළු කොටසේ එනම් ඇරියෝලාව ප‍්‍රදේශයේ. දරුවා කිරි උරන විට මේ ඇරියෝලාවේ වැඩි කොටසක් දරුවාගේ මුඛයට යන ලෙස තිබිය යුතුයි. හොඳින් ”ආ” ස්වරයට මුඛය ඇරුනම තමයි මෙහෙම වෙන්නේ. එතකොට පියයුරයි මුඛයයි හොඳට සම්බන්ධ වෙනවා. එහෙම නොවුනම පියයුරයි මුඛයයි අතර ඇති වන හිදැස් තුලින් වාතය දරුවගේ මුඛයට ඇතුල් වුණාම දරුව කිරිත් එක්ක ඒ වාතය ගිලිනවා. එහෙම වුනාම දරුවගේ බඩට වාතය පිරෙන්න ගන්නවා. මේ විදියට හැම කිරි වේලකදීම සිද්ධ වෙන්නේ ගත්තොත් දරුවගේ උදරය වාතයෙන් පිරිලා තියෙනවා. එතකොට ඒක දරුවට දරාගන්න අමාරුයි. බඩ පිම්බිලා තියෙන කොට දරුව කරන්නේ අඬන එක. මේකට හොඳම විසදුම තමයි කිරි දෙන විට දරුවාට කිරි උරාබීමට පහසු ලෙස දරුවා අල්ලා ගැනීමත් නිවැරදි ලෙසින් පියයුරට සම්බන්ධ කරගැනීමත්. එහෙම වුනාම දරුවා පහසුවෙන් කිරි උරා බොන නිසා වාතය පෙවෙන්නේ නැහැ. 

ඊලඟ දේ තමයි හැම කිරි වේලකටම පස්සේ කිරි සමග පෙවෙන වාතය පිට වීමට ගුඩුස් යැවීම කරන එක. දරුවගේ උදරය තෙරපමින් රඳවා ගන්නා ඉරියව් කිහිපයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එසේ නැතිනම් දරුවාගේ උදරය තදවන සේ මුහුණු පැත්තට හරවා මුනින් තැබීමද කල හැකියි. එසේ තැබූ විට අවදියෙන් සිටී නම් දරුවා දණගාන ඉරියව්වෙන් සිටීමට දරන උත්සාහයේදී උදරය තෙරපීම නිසා ගුද මාර්ගයෙන් හෝ ඒ වාතය පිටවන නිසා දරුවාට සහනයක් ලැබෙනවා. 

එසේ නොවන විට සෑම කිරි වේලකදීම සිදුවන වාතය පෙවීම, බොහෝ විට දරුවාට වේදනාකාරී වන්නේ දිනයේ සවස් කායේදීයි. මෙය හඳුනාගත හැක්කේ දරුවා සවස් වන විට නුරුස්සනා ස්වභාවයෙන් නොනවත්වා අඬන්න, පටන් ගැනීමෙන්. මේ නිසා සෑම කිරි වේලකදීම නිවැරදි ලෙස කිරි උරා බීමට අවස්ථාව උදාකර දීමත්, සෑම කිරි වේලකටම පසුව ගුඩුස් යැවීමට උනන්දු වීමත් වැදගත්. 

මීට අමතරව කුඩාම දරුවනට බලපාන විශේෂිතම හේතු නොමැති වුවත් කලාතුරකින් කිරි දිරවා ගැනීමට අපහසු වීම මතින් ඇතිවන අජීර්ණය තත්ත්වයන් නිසා බඩ පිපුම ඇති විය හැකියි. එවැනි අවස්ථාවලදී දිගින් දිගටම ප‍්‍රශ්න පැන නැගේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. මන්ද දරුවාගේ මල රසායනාගාර පරීක්‍ෂාවකට ලක්වීමට එවැනි අවස්ථා වලදී සිදුවන අතරම ඒ සඳහා වෛද්‍ය ප‍්‍රතිකාරද ලබාදිය යුතු විය හැකිය. 

අමතර ආහාර ලබාදීමට පටන් ගත් පසු ආහාර සෞඛ්‍යයේ දුර්වලතා ඇති විය හැකි අජීර්ණ හේතු කොටගෙනද බඩ පිපුම ඇති විය හැකියි. ආහාර මාර්ගයට විෂබීජ ඇතුළු වීම හේතු කොටගෙන ඇති වන ආසාත්මිකතා හේතුවෙන් හටගන්නා උදරාබාධ වලදී බඩ පිපුම, උණ, වමනය, නිතර මල පහවීම හෙවත් පාචනය, ආහාර අරුචිය ඇති විය හැකියි. උණ, වමනය, නිතර මල පහවීම සමග බඩ පිපුම ඇති විට හොඳින් උපදෙස් ලබාගැනීම කල යුතුයි. 

තවද මල බද්ධය නිසාද බඩ පිපුම ඇති විය හැකියි. ආහාරයේ අඩුවීම මීට හේතුව විය හැකියි. මේ නිසා ආහාර ලබාදීමේදී හාල්, කෙඳි සහිත එළවළු, පලා වර්ග මෙන්ම පළතුරු ආහාරයට එක් කිරීමද වැදගත් වෙනවා. 

තවද මවගේ සෙඛ්‍ය පුරුදුද මීට දායක වේ. ආහාර පිළියෙල කිරීමේදී ආහාර පිළියෙල කිරීමට පෙරත් ආහාර ලබාදීමේදී ඊට පෙරත් මවගේ දෙ අත් හොඳින් සේදීම මගින්ම ආහාර වල සුරක්‍ෂිතතාව ආරක්‍ෂා කිරීමද වැදගත් වෙනවා. එසේම නිවැරදි වැසිකිලි භාවිතය, භාවිතයෙන් පසු සබන් යොදා දෑත් සේදීම ද විෂබීජ ශරීරගත වීම පාලනය කිරීමට හේතුවක් වනවා මෙන්ම පණු රෝග වලින් ආරක්‍ෂා වීමටද එය හේතුවක් වෙනවා. අනවශ්‍ය ලෙස පණු බෙහෙත් ලබාදීමට වඩා පණු රෝග වලින් වැළකෙන සෞඛ්‍ය පුරුදු වල ඇබ්බැහි වීම පවුලේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට ලැබෙන මහඟු අත්වැලකි. 

යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සුරැකෙන ආහාර සෞඛ්‍ය, ජීවිතයේ සියළු තැන්හිදී වඩාත් සෞඛ්‍යමත් ජීවිතයක් ඔබට ලබාදෙනවා. ඒ වගේම ගැබිනි සමයේදීම නිවැරදි දැනුම ලබාගත හැකි සියළු අවස්ථා වලදී සක‍්‍රීයව සහභාගී වීමෙන් බොහෝ ගැටළු නිරාකරණය කරුනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. 

ඒ නිසා අලුත උපන් දරුවා එක්ක වැඩ කරන්නේ කොහොමද කියන අභියෝගය වඩාත් හොඳින් ජය ගන්න පුළුවන් නිසා නිතර මුහුණ දීමට සිදුවන මෙවැනි කරුණු පිළිබඳව දැනුම ශක්තිමත් කර ගැනීම තුලින් දරුවාටද පවුලේ සියළු දෙනාටද ලැබෙන අස්වැසිල්ල, සැනසුම කියා නිමකල නොහැකියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article