අලුත් බබා කහ පැහැයට (Neonatal jaundice ) හැරුනොත්….?

දරුවෙක් මව් කුසයේ පිලිසිඳ ගත් අවස්ථාවේදී කළළය මගින් ඔක්සිජන් පරිවහනයට භාවිතා කළ  කළල හිමොග්ලෝබින් (fetal haemoglobin)  දරුවා උපත ලැබීමෙන් පසුව වැඩිහිටි හිමොග්ලෝබින් (adult haemoglobin බවට පත් වෙනවා. වැඩිහිටි හිමොග්ලෝබින් නිපදවා ගැනීමේදී  ඉවත් කරන කළල හිමෝග්ලෝබින් බිඳී ‘‘බිලිරුබින් “ නැමැති රසායනය ළදරුවාගේ රුධිරයට මුදා හැරෙනවා. නමුත් මේ නව ජන්ම ළදරුවාගේ අක්මාව මේ අවස්ථාව වෙන විට හොඳින් වර්ධනය වී නැති නිසා සමහර අවස්ථාවලදී බිලිරුබින් රුධිරයට එක් වී නව ජන්ම පැටියා කහ පැහැ ගැනීමට පුළුවනි. වෛද්‍ය විද්‍යාවේදී එවැනි තත්වයක් Neonatal jaundice යනුවෙන් හැඳින්වෙනවා. 

දරුවා කහ පැහැයට හැරුනොත් අවදානමක් තිබෙනවාද….?

දරුවා උපත ලබා  පළමු පැය 24 ක් තුළ මේ තත්වය ඇති වෙන්න පුළුවනි. ළදරුවාගේ රුධිරයේ ඇති ‘‘ බිලිරුබින් “  රසායන සංයුතිය ඉහළ යෑම නිසා සම සහ ඇසේ සුදු ඉඟිරියාව කහ පැහැයට හැරෙනවා. මේ විදිහට කහ පැහැයට හැරුනත් ඒ වෙනුවෙන් පැහැදිළි හේතුවක් හඳුනා ගැනීමට නොහැකි අවස්ථාවන්ද තිබෙනවා. එවැනි අවස්ථාවන් අපි ‘‘ ව්‍යාධි ජනක නොවන කහ පැහැ ගැන්වීම ‘‘  (physiological jaundice) යනුවෙන් හඳුන්වනවා. 

අවදානමක් ඇති තත්වයන් ගැන සඳහන් කළොත්…?

මම මුලින් සඳහන් කලේ අපට පැහැදිලි හේතුවක් හදුනා ගැනීමට නොහැකි අවදානම් නොවන තත්වයක්. ඒ වුනත් සමහර අවස්ථාවලදී ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන ලද හේතුවක් පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යාවේදී ඒ තත්වය ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීම (pathalogical jaundice)  යනුවෙන් හදුන්වනවා. 

ව්‍යාධි ජනක කහ පැහැ ගැන්වීමට බලපාන හේතු තිබෙනවාද..?මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • රතු රුධිර සෛල බිඳ වැටීම(Haemolytic jaundice)
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටලු සහ ආසාදන
  • පරිවෘත්තීය ගැටළු
  • තයිරොක්සින් හෝර්මෝන ඌනතාවය

මෙතැනදී රතු සෛල බිඳ වැටීම (Haemolytic jaundice) නිසා දරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • දෑකැති රතු සෛල රෝගය (Sickel cell disease )
  • Hereditary spherocytosis රෝග තත්වය
  • G6PD එන්සයිමය හිග වීම
  • රුධිර ගණ නොගැලපීම නිසා රතු රුධිර සෛල බිඳ වැටෙන haemolytic disease of newborn).
  • තත්වයක් ඇති වීම

මේ විදිහට රතු රුධිර සෛල බිඳ වැටීම නිසා ඇති වෙන කහ පැහැ ගැනීමේ තත්වයට වගේම රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරවත්දරුවා කහ පැහැ ගැනීමට පුළුවනි.අපි ඒ තත්වය (Non haemolytic jaundice) යනුවෙන් හදුන්වනවා.

 

රතු රුධිර සෛල බිඳ වැටීමකින් තොරව (Non haemolytic jaundice) ළදරුවා කහ පැහැ ගැනීමට බලපාන හේතු මොනවාද…?  

මේ තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • මව්කිරි දීමේදී ඇති වෙන ගැටළු
  • Forceps සහ vaccum උපත් වලදී ඇති වෙන රුධිරය එකතු විම්.(cephalhaematoma).
  • මුත්‍රා සහ බැක්ටීරියා ආසාදන
  • තයිරොක්සින් හෝර්මෝනයේ අඩු පාඩු(Hypothyroidism)
  • පරිවෘත්තිය එන්සයිම ආශ්‍රිත ගැටළු
  • අක්මාව සහ පිත්ත ප්‍රනාල ආශ්‍රිත ගැටළු(Crigler Najjar syndrome)

 

අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරෙනවා වගේම මෙවැනි රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවනි.

  • සම සහ ඇසේ සුදු කොටස කහ පැහැයට හැරීම.
  • අසාමාන්‍ය ලෙස නිදා ගැනීම.
  • මව්කිරි ප්‍රතික්ෂෙප කිරීම.
  • මළ වල වර්ණය අඩු වීම(pale colour).
  • මුත්‍රා තද කහ පැහැ ගැනීම

ළදරුවා කහ පැහැයට හැරීම Neonatal jaundice නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවාද..?

ඔව්…නව ජන්ම ළදරුවාගේ බිලිරුබින් රසායනය රුධිරයට දිගුකාලයක් පුරා එකතු වීම නිසා ඒවා මොලයේ තැන්පත් වී Kernicterus රෝග තත්වය ඇති වෙන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම ළදරුවාට වලිප්පු (seizers) තත්වය ඇති වීමටත් යම් අවදානමක් තිබෙනවා.

රෝග තත්වය හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවාද…?

ළදරුවාගේ රැධිරයේ ඇති බිලිරුබින් ප්‍රමාණය මැනීමෙන් ලබා ගත් (Serum bilirubin Direct and Indirect ) වාර්තාව අනුව ප්‍රතිකාර සිදු වෙනවා.ප්‍රතිකාර ආරම්භ කිරීමට දරුවාගේ වයස, රෝගී ස්වභාවය සහ බිලිරුබින් මට්ටම අනුව ප්‍රතිකාර විධි තීරණය වෙනවා.

ලබා දෙන ප්‍රතිකාර ගැන සදහන් කළොත්…?

ළදරුවාගේ දෑස ආවරණය කරලා නිල් පැහැති විශේෂ ආලෝකයක් වෙනුවෙන් දරුවා නිරාවරණය කරනවා. ඒ අනුව ළදරුවාගේ රුධිරයේ බිලිරැබින් ප්‍රමාණය යම් මට්ටමකින් ඉවත් කරන්න පුලුවනි.

සමහර විට නව ජන්ම ළදරුවාගේ රුධිරයේ බිලිරුබින් මට්ටම ඉතාම ඉහල නම් ක්‍රමානුකූලන ළදරුවාගේ රුධිරය ඉවත් කොට ගැලපෙන දායකයෙකුගේ රුධිරය පාරවියලනය (Exchange transfusion ) කරනවා.

හදිසියේවත් නව ජන්ම ළදරුවෙක් කහ පැහැයට හැරුනොත් ඔබ විසින් ලබා මව්පියන්ට ලබා දෙන අවවාදය..?

අද වෛද්‍ය විද්‍යාව වගේම ප්‍රතිකාර ක්‍රම ඉතාම දියුනුයි.ඒ නිසා හදිසියේවත් අලුත උපන් ළදරුවා කහ පැහැයට හැරුනොත් ප්‍රමාද වෙන්න එපා. හැකි ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වෙන්න.එහෙම වුනොත් දරුවාගේ ජීවිතය වගේම අනාගතයේ ඇති විය හැකි සංකුලතාවයන් පවා අවම කර ගන්න පුළුවනි. නිතරම දෙමව්පියන්ගේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන නිසා දරුවන් සම්බන්ධව ඇති වෙන රෝග තත්වයන් නොසලකා සිටින්න එපා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත් 

කෑගල්ල මහ රෝහල

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here