- Advertisement -

යොවුන් දරුවන්ගේ කලහාකාරී හැසීරීම් රටා අවම කරන්නට ප්‍රතිකර්ම නැද්ද?

-

දරුවන්ගේ චර්යාබාධ සහ කලහකාරී හැසිරීම් පිළිබඳව බලපාන පාරිසරික සාධක සහ ජීව විද්‍යාත්මක සාධක පිළිබඳව පසුගිය ලිපි දෙකක් හරහා සාකච්ඡා කළා. මෙම ලිපිය තුළින් ඔබටව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇති වන චර්යාබාධ සඳහා සිදුකළ හැකි ප්‍රතිකර්ම පිළිබඳවයි. 

දරුවන්ට චර්යාබාධ ඇති කිරීම කෙරෙහි බලපාන සාධක පිළිබඳ සහ චර්යාබාධ ලක්ෂණ පිළිබඳ සලකා බලමින් මෙය වැලැක්වීම සඳහා වැඩිහිටියා මැදිහත් විය යුතු ආකාරය සහ ඒ සඳහා වන ප්‍රතිකර්ම විධික්‍රම පිළිබඳව අදාල විෂයයේ විශේෂඥවරුන් විසින් ප්‍රතිකර්ම ක්‍රම ශිල්ප කීපයක් හඳුන්වාදී ඇත. ඒ සියලු ප්‍රතිකර්ම සඳහා මීට පෙර සාකච්ඡා කරන ලද මනෝවිද්‍යාත්මක පසුබිම වැදගත් වන අතර ප්‍රතිකර්ම සැලසුම්කරණය කර ඇත්තේ එකී මනෝවිද්‍යා ප්‍රවේශයන්ගේ පදනම මත සිටයි. 

- Advertisement -

මෙම මාතෘකාව තුල අරමුණ වන්නේ චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදුවන ලොව පිළිගත් ප්‍රතිකාර විධි ක්‍රම කීපයක් හඳුනා ගැනීම සහ මෙකී මනෝවිද්‍යානු ප්‍රතිකර්මවලට අමතරව චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදු කර ඇති සෞන්දර්යාත්මක මැදිහත් වීම් පිළිබඳ විමර්ශනය කිරීමයි. 

ප්‍රසමාජ විරෝධී චර්යා හා චර්යාබාධා අවම කිරීම වෙනුවෙන් සිදුවන ප්‍රතිකාර 

  • පුද්ගල කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකාර
  • පවුල් කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකාර
  • බහුවිධි ප්‍රතිකාර 
  • විවිධ සෞන්දර්යාත්මක ප්‍රතිකර්ම 

පුද්ගල කේන්ද්‍රීය මැදිහත් වීම් ක්‍රම ශිල්ප

චර්යාබාධා සහිත යෞවනයා තුළ ප්‍රජානන ගැටලු හා සමාජීය ප්‍රජානන දුබල වීම දැකිය හැක. මේ අනුව චර්යාබාධ යෞවනයාගේ ආකල්පයමය වශයෙන් සෘණාත්මක මෙන්ම ආවේග පාලන ගැටලුවලින් යුතුවීම කැපී පෙනෙන ලක්ෂණයන්ය. මේ හේතුවෙන් මිතුරන් දිනා ගැනීමේ හා අන්තර් පුද්ගල සබඳතා ඇතිකර ගැනීමේ කුසලතාවය අවම මට්ටමක පවතී. තවද සාමාන්‍ය, සංසුන් අවස්ථාවන් හා පසුබිම් තුල මෙන්ම එවැනි පුද්ගලයන් ඉදිරියේ ප්‍රතිපක්‍ෂ හෝ විරෝධී චේතනාවන් ඇති කරගැනීම චර්යාබාධ සහිත  යෞවනයාගේ ස්වභාවයකි. මෙම ස්වාභාවය පදනම් කර ගනිමින් මෙකී සුවිශේෂ සමාජීය ප්‍රාජනන කුසලතා සහ ඒ ඔස්සේ චර්යා පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් ඒකල වශයෙන් ප්‍රජානන කුසලතා පුහුණු කිරීම වෙනුවෙන් ප්‍රජානන චර්යා කුසලතා පුහුණුව (CBSTCognitive Behavior Skill training) හඳුන්වා දී ඇත. 

චර්යාවාදි ප්‍රවේශය සහ ප්‍රජානන ප්‍රවේශයන්ගේ සංකලනයෙන් සැදුම්ලත් ප්‍රජානන චර්යා කුසලතා පුහුණුව (CBST) පුද්ගල මානසික ගැටළු නිරාකරණය සඳහා බහුලව භාවිත කෙරෙන ප්‍රජානන චර්යා ප්‍රතිකාරය (CBT Cognitive Behavior Therapy&  මත පදනම් ව ඇත. මේ දෙක අතර වෙනස්කම වන්නේ චර්යාබාධ සහිත යෞවනයා වෙනුවෙන් චිකිත්සකවරයාගේ මැදිහත් වීම තුල අවශ්‍ය පුහුණුව සිදු කිරීමට වැඩි ප්‍රබලතාවයක් ලබා දිය හැකි වීමයි. ප්‍රජානන චර්යා පුහුණුව ඔස්සේ ගැටළු විසඳුම් කුසලතා පුහුණුව (PSST problem salving skill training) ලබා දීම මෙම යෞවනයින් සඳහා තවත් ප්‍රතිඵල දායක ක්‍රමයක් වන අතරම චිකිත්සකවරයා, චර්යාබාධා සහිත යෞවනයා සමග ගොඩනගා ගන්නා විශ්වාසනීය උණුසුම් සබඳතාවය මෙවැනි පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර සාර්ථක කරගැනීමට බෙහෙවින් බලපාන බව මනෝ විශේෂඥවරුන්ගේ අදහසයි. මෙහිදී චිකත්සකවරයාගේ නිර්මාණශීලී කුසලතාවය සහ අත්දැකීම් මත විවිධාකාර ශිල්ප ක්‍රම මෙවලම් භාවිත කළ හැකි අතර ඒ සඳහා අකෘතිකරණයන් (modelling) භූමිකා රංගනය (role playing ) පෙර පුහුණුවීම් (practicing) සහ සෘජු මෙන් ප්‍රබල උපස්ථම්භනයන් භාවිත කෙරෙයි.‍

මෙම ප්‍රතිකාර ක්‍රම මගින් චර්යාබාධ යෞවනයාගේ ලක්‍ෂණ අතර මූලික ලක්ෂණ දෙකක් වන කලහකාරීත්වය සහ සමාජ විරෝධී හැසිරීම් අවම වු ආකාරය පිලිබඳව අනාවරණය වී ඇත. මෙම ප්‍රජානන චර්යා කුසලතා පුහුණුවේදී මේ සඳහා යම්තාක් පරිණත බවක් හා ප්‍රජානන හැකියාවක් චර්යාබාධා යෞවනයාට තිබිය යුතුයි. එම නිසාම  CBST හා PSST  වැනි ක්‍රම ශිල්ප ළමාවියේ චර්යාබාධ සහිත වුවන් සඳහා එතරම් ප්‍රතිඵල දායක නොවේ. 

පවුල් කේන්ද්‍රීය මැදිහත් වීම් ප්‍රතිකර්ම

චර්යාබාධ සඳහා මුල් වන හේතු සාධක පිළිබඳව පෙර ලිපි මගින් පෙන්වා දුන් පරිදි පාරිසරික සාධක මූලික වන අතර පවුල් පරිසරය ප්‍රබල බලපෑමක් එල්ල කරන ආකාරය පිළිබඳවද ඔබ මේ වන විට දැන්වත්ය. චර්යාබාධා සහ සමාජ විරෝධී හැසිරීම් ඇතිවීම කෙරෙහි බලපාන පවුල් පරිසරය මුල්කර ගත් සාධක වන,

  • බිදුණු පවුල,
  • සෙනෙහස අහිමිවීම
  • මව් පිය දැඩි විනය පාලන ක්‍රම
  • මව්පිය දැඩි ලිහිල් භාවය
  • සෙනෙහස අහිමි වීම
  • උපස්ථම්භන් හා ඇඟයීම් නොමැති වීම්
  • වැඩිහිටි දුෂ්චර්යා අභ්‍යන්තරීකරණය වීම 

යන අවදානම් සාධක පසුබිම් කොටගෙන පවුල් සාමාජිකයන් මුල්කර ගත් ප්‍රතිකර්ම කීපයක් හඳුන්වා දී ඇත. සමාජ ඉගෙනුම් න්‍යාය සහ පදනම් කොට ගනිමින් මෙම ප්‍රතිකාර ක්‍රම ගොඩනැගී ඇත.

මෙහිලා, ප්‍රබලම ප්‍රතිකාර ක්‍රමය ලෙස පවුල් කළමනාකර පුහුණුව (PMTparent Management Training) ප්‍රතිඵලදායකය. මේ සඳහා මව්පියන් හෝ භාරකරුවා සජීවීව මැදිහත් කරගනු ලැබේ.

චර්යාබාධා සහිත යෞවනයාට ප්‍රතිකර්ම සිදුකිරීමට ප්‍රථම පවුල් උපදේශනය (family therapy) මගින් වැඩිහිටියා හෝ මව්පියන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් චිකිත්සාමය පුහුණුව ලබාදීම සිදු කරනු ලැබේ. චර්යා න්‍යාය (behavior theory) පදනම් කොට ගත් පුහුණු වීම් රැසක් චිකිත්සකවරයා විසින් මව්පියන්ට දෙනු ලැබේ. මෙම පුහුණුව තුල වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ

  • ආදර්ශමත් මව්පිය හැසිරීම‍
  • යෞවනයා සමඟ සිදුවන මැදිහත් වීම
  • හැසිරිම් නිරික්‍ෂණය මෙන්ම ධන උපස්ථම්භයන් ලබා දෙන ආකාරය හා ඒ සඳහා පුහුණු කිරීම
  • timeout වැනි මධ්‍යස්ථ දඬුවම් ක්‍රම හඳුන්වා පුහුණු කිරීම
  • දරුවාගේ අහිතකර චර්යාව වෙත වැඩිදුර යොමු නොවී හිතකර චර්යාවන් ඇගයීම

වැනි ක්‍රම පවුලේ සාමාජිකයින්ට පුහුණු කර ඒ තුලින් සුභවාදී පවුල් පරිසරයක් හා ධනාත්මක අනුකරණ මෙන්ම ආදර්ශමත් ආකෘතිකරණයන් තුලින් චර්යාබාධා යෞවනයා හට බලපැම් එල්ල කිරීමත් මෙහි අරමුණ වේ. ඒ තුලින් කලහකාරීත්වය අවම කිරීමට යොමු කිරීම මෙහි දී සිදුවේ.

පවුල් තුළ මේ ආකාරයේ සුභවාදී කළමණාකරණයක් සිදු කිරිමට සමාගාමීව පාසල තුල ගුරුවරයා සහ සම වයස් කණ්ඩායම් තුලද මෙම ධනාත්මක උපස්ථානයන් ලබාදීමද වැදගත් වේ. මේ සඳහා පාසල හා ගුරුවරයා මැදිහත් කරගැනීම තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වන අතරම මනෝ විශේෂඥයින් පෙන්වා දෙන පරිදි  පවුල් කළමනාකර පුහුණු ක්‍රමවේදය වඩාත් සාර්ථකව භාවිත කල හැක්කේ නව යොවුන් වියේ පසුවන්ව සමඟයි.

වයස අවුරුදු 10 ත් 13 ත් අතර පසුවන කනිෂ්ඨයින් පවුල් කුටුම්භ තුල සිටීම මෙම ප්‍රතිකාර ක්‍රමය වාසි සහගත වීමට හේතුව වන අතර තරුණ වියේ පසු වන වයස අවුරුදු 14 18 අතර පසුවන චර්යාබාධ සහිත වුවන් පවුල් ග්‍රහණයෙන් මිදී සම වයස හෝ අපගාමී චර්යා සහිත කණ්ඩායම් තුල වැඩි කාලයක් ගත කිරීම මෙම ක්‍රම ශිල්පය වැඩිහිටි රෝගීන් කෙරෙහි සාර්ථක ව භාවිතය කිරීමට බාධවකි. තවද පවුල් කළමනාකර පුහුණු ක්‍රමවේදය ප්‍රතිකාර සාර්ථකව සිදු කිරීමට ඇති තවත් බාධාවක් ලෙස මව්පියන් හා පවුලේ වැඩිහිටියන් චි චිකිත්සා පිළිබඳව දැනුවත් කිරීමේ සැසිවලට සහභාගී කර ගැනීමට ඇති දුෂ්කරතාවය ද පෙන්වා දෙයි. වැඩිහිටියන්ට සැසි කීපයක් තුල මෙම මෙවලම් සහ ක්‍රම ශිල්ප පිලිබඳව පුහුණුව ලබා දිය යුතු අතර චර්යාබාධිත යෞවනයා අයත් පවුල්වල මව්පියන් බොහෝ විට ක්‍රමිකව සහභාගි වීම දුර්ලභය. පවුලේ සජීවී මැදිහත් වීම මත සිදුවන මෙම ක්‍රියාවලිය ක්‍රියාකාරී පවුල් චිකිත්සාව ලෙසද හඳුන්වන අතරම මෙහි මුලික පදනම වන්නේ චර්යාබාධිත යෞවනයා ඔහුගේ පවුල සමඟ ඇති සහසම්බන්ඳතාවය වර්ධනය කිරීමයි. පවුල් සමඟ පැහැදිලි සන්නිවේදනයක් ඇති කර ගැනීමේ මාර්ග විවර කරමින් තම අන්තර් පුද්ගල ගැටළු විසඳා ගැනීමට පවුලේ උපකාරය ලබාදීම කෙරෙහි මෙහිදී සලකා බැලේ.

බහු විධි මැදිහත් වීම්

චර්යාබාධා ඇතිවීම කෙරෙහි බලපානු ලබන සාධක තුල ඇති විවිධත්වය සහ සංකීර්ණත්වය පසුබිම් කොටගෙන ප්‍රතිකාරත්මක මැදිහත් වීම් තුළ ද වඩාත් විවිධත්වයෙන් යුතු පුළුල් ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. චර්යාබාධ සහිත ළමයා සහ යෞවනයා අරමුණු කොට ගනිමින් ඔහු/ඇය ජීවත්වන පාරිසරික සාධකයන්ට අනුරූප වන ලෙස විවිධාකර වු ප්‍රතිකාරත්මක මැදිහත් වීම් සිදු කිරීම බහුවිධි මැදිහත් වීම තුළ ද සිදු වේමේ සඳහා භාවිත වන ප්‍රතිකාර ශිල්ප ක්‍රම බහුවිධ ප්‍රතිකර්ම (Multi systematic therapy) ලෙස ප්‍රචලිත වේ. පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රම වන ප්‍රජානන චර්යා කුසලතා වර්ධන පුහුණුව (CBST) ගැටළු විසඳුම් කුසලතා පුහුණුව (PSST) මෙන්ම පවුල කේන්ද්‍ර කොට ගත් මව්පිය කළමණාකාරණ ප්‍රතිකාර (PMT) සහ ක්‍රියාකාරී පවුල් ප්‍රතිකාර (FFT) යන සියළු ප්‍රතිකාර වර්ග නියමිත ප්‍රතිකාර සැලැසුමක් තුල භාවිත කිරිම මෙහිදී සිදු වේ. මෙම ප්‍රතිකාර ක්‍රම සිදු කිරිම මාස 3 ත් 5 ත් අතර කාලයක් නොනවත්වා සිදු වන අතර චිකිත්සකවරයා චර්යාබාධ තම සේවාලාභියා සමඟ නිරන්තර සබඳතාවය පැය 24 පුරාම තබා ගත යුතු බවත් මුහුණට මුහුණලා හෝ සෑම විටම සේවාලාභියා සමඟ සබඳතාවය පවත්වා ගැනිම අවම වශයෙන් දින 07 ක් වත් පුරාවට සිදු කල යුතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම ජීව පරිසර විද්‍යාත්මක න්‍යාය තුල බ්‍රොන්ෆෙන් බ්‍රෙනර් විසින් අවධාරණය කරනු ලබන ළමයාගේ වර්ධනය කෙරෙහි බලපාන පරිසර හා සමාජ පද්ධති 5 ම යලි ධනාත්මක රාමුවක් තුල ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණු පෙරදැරිකොට ගෙන මෙම ක්‍රමවත් බහුවිධි ප්‍රතිකාර ක්‍රම ගොඩනගා ඇත. ජීව පරිසර න්‍යායට අනුව ළමයාගේ හැසිරීමේ අක්‍රමතා හා සමාජ විරෝධී හැසැරීම් සඳහා බලපානු ලැබු ක්‍ෂුද්‍ර පද්ධතිය වන පවුල්, පාසල, අසල්වැසියන්, සමවයස් කණඩායම් යන ඒකකයන්ගේ සිට මහා පද්ධතිය සහ ඓතිහාසික පද්ධතිය අයත්, සමාජීය, සංස්කෘතිය, විශ්වාස, ආකල්ප, අතීත උරුමයන්, අතීත අත්දැකීම් යනාදී සමස්ත පද්ධතීන් කෙරෙහි බල පැවැත්වෙන ආකාරයට ප්‍රතිකාර සංවිධායන කල යුතු බව අවධාරණය කරනු ලැබේ. තවද මේ අතර සිදුවන ඉතා වැදගත් ක්‍රියාවලියක් ලෙස ක්‍රීඩා හෝ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා යෞවනයාගේ රුචිකත්වය පරිදි නියැලීමට අවශ්‍ය මඟ විවර කිරීම වඩාත් ප්‍රතිඵලදායක බවද පෙන්වා දෙයි.  

ක්‍රමවත් බහුවිධි ප්‍රතිකාර ශිල්ප ක්‍රමය භාවිත කරනු ලබන චිකිත්සකවරයා සියලු ක්‍රම ශිල්ප පිළිබඳව මනා පුහුණුකරුවකු විම අනිවාර්ය වන අතරම ප්‍රතිකාරයේ ඵලදායීතාවය මුළුමනින්ම රදා පවතින්නේ චිකිත්සකවරයා සතු දක්‍ෂකම මතය. චර්යාබාධයේ බරපතල බව සහ ස්වාභාවය මත වඩාත් නම්‍යශීලීව භාවිතා කල හැකි ශිල්ප ක්‍රමයක් ලෙස බහුවිධි ශිල්ප ක්‍රමය හැඳින් විය හැකිය. 

දරුවන්ගේ මේ ගැටළු සඳහා මවුපියන්ට නිවසේදී භාවිතා කළ හැකි,නිර්මාණාත්මක ප්‍රතිකර්ම පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article